Tuesday, December 15, 2015

රැඩිකල් වීම් පහසු මග...




පුද්ගලයින් වශයෙන් අපි සමාජය තුල කැපීපෙනීමට කැමතිය. එය හුදෙක් මිනිස් සිතිවිල්ලකි. කැපී පෙනීම විවිධාකරය. අප එක් එක් පුද්ගලයින් සතු විවිධ හැකියාවන් සහ දක්ෂතා තම ‍මෙම කැපී පෙනීම නොහොත් සමාජය තුල ජනප්‍රිය පුද්ගලයින් වීම දැකිය හැකිය. බොහෝ විට මෙකී හැබෑ දක්ෂතා දක්ෂතා සහිත පුද්ගලයින් සමාජය විසින් ජනප්‍රිය පුද්ගලයින් බවට පත්කරයි. ඔවුනට ලොකුවට "මාකටින්" කිරීමට අවශ්‍යතාවයක් පැන ‍නොනගී. ඒ ඔවුන් සැබෑ ලෙසම දක්ෂයින් වන නිසාවෙනි.

මම මේ අද කථා කරන කොටස මීට හාත්පස වෙනස්ය. ඔවුන්ට මෙකී සමාජය  තුල කැපී පනෙීම හුදෙක් "පොරත්වයකි". ඔවුන් මේ "පොර" කෑල්ලට තවත් "රැඩිකල්" කොටසක් එකතු කර සමාජයේ අවධානය දීනාගන්නට උත්සහා කරනු දැකිය හැක. ඔවුන්ගේ එකම අරමුණ කුමන හෝ හේතුවක් මගින් තමන් "රැඩිකල් පොරක්ය" යන මතවාදය උලුප්පා පෙන්වීම පමනමය. ඒ සඳහා ‍මොනයම්ම හෝ පජාත වැඩක් කිරීමට ඔවුන් පසුබට නොවන බව පෙනීයයි.

මෙකී පොරවල් පොදු වශයෙන් මේ සඳහා බයිට් එකට ගන්නා කරනා කීපයක් ගැන මුහුණු පොත ඇතුලු අනෙකුත් සමාජ ජාල වල සැරිසැරීමේ දී පෙනී යය.

මෙකී "රැඩිකල් පොර" වල් වල පලවෙනිම බයිට් එක ජාතියයි. ඔවුන්ට "සිංහල" යනු නයාට අඳුකොල තරමටම ඇලජික් වචනයකි. "අපි සිංහල" යන්න දකින් ඕනෑම තැනක එයට එලව එලවා පහර දීමේ න්‍යායක් අනුගමනය කිරීම මොවුන්ගේ ක්‍රමවේදයයි. ඔවුන්ට අනිකාගේ අදහස් හෝ මතවාද වලින් පලක් නැත. හොඳ හෝ නරක වේවා ඔවුන් "සිංහල" කියන වචනයට විරුද්ධය. ඔවුනට අනුව ජාතියක් වශයෙන් අපි සිංහලය යයි කීම අනෙකා රිදවීමකි. එය දෙමළාට සහ මුසල්මානුවට එරෙහිව ආයුධ අතට ගැනීමක් ලෙස ඔවුන් අර්ථකතනය කරයි. ඔවුන්ගේ ජාතිය "ශ්‍රී ලාංකික" ය. එහි සියල්ලෝම එකම ජාතියක මිස වෙනසක් නැත.

මෙම තර්කය උඩින් බලන විට ඉතා මානව හිතවාදී අදහසක් ලෙස පෙනුනනද එය එසේ නොවන බව මගේ මතයයි. මෙහිදී අප පිලිගත යුතු කාරනය වන්නේ අතීතයේ සිටම ශ්‍රී ලංකාව තුල ජාතින්මය වශයෙන් බෙදීමක් පැවති බවත් ඒ ඒ ජාතියට අනන්‍ය වු මතවාද සහ සිරිත් විරිත් පැවති බවත්ය.ජාතියක පැවැත්ම වනුයේ එකී ජාතිකත්වය මත පවතින සිරිත් විරිත් සහ හැදියාවන්ය. එය පුද්ගලමය වශයෙන් සහ සංස්කෘමය වශයෙන් පවතින බැඳීමකි. සිංහලයා සිංහලයා වන්නේද දෙමළා දෙමළා වන්නේද මුසල්මානුවා මුසල්මානුවා වන්නෙද එකී බැඳීම හේතුවෙනි. මොවුනට අනුව "ශ්‍රි ලාංකීය" ජාතිය යනු මේ සියළු දේ මිශ්‍ර වුනු කොත්තු රොටියකි. 

පහුගිය දින කීයපක් පුරා මුහුණු පොතේ ශෙයාර් වෙන "සිංහ ලේ" යනුවෙන් සඳහන් වැකිය මොවනුනේ අලුත්ම බයිට් එකය. කෙනෙකු එය ශෙයාර් කර ඇත්තේ "සිංහයා ගෙදරට ආව ද, අම්මා කැලේට ගියාද" යන හෙඩිම යටතේය. "දකුණු ඉන්දියාවෙන් ආපු විජය කියන පොර ලංකාවේ කපු කැට කැට හිටපු බඩුවකට හුකලා සිංහල ජාතිය බිහිවුන බව තවත් අයෙකු එයට අදහසක් පල අදහසකි. මීට ටික කලකට පෙර "අලුත් පරපුර" යයි කියාගන්නා කෙනෙකු "මද්දුම බණ්ඩා‍ර පොඩි කැරියෙකු" ලෙස හුවාදැක්වු බවද මතකය. තවත් අයෙකුට ජාතික කොඩිය කකුල් හතරේ සතෙකු සිටින රටක් ලෙස රෙදි කෑල්ලක් ලෙස අර්ථ ගැන්වීමට උත්සහා කල අවස්ථාවක්ද සිහිකරමි.

මේවා හුදෙක් විනෝදය හෝ පොරවීම උදෙසා පලකරන අදහස් හෝ මතවාද වුවද ජාතියක් ලෙස මෙවැනි දේ නිකම්ම බැහැර කිරීම යෝග්‍ය නොවේ. තමන් කැමති මතයක් දැරීම හෝ ප්‍රකාශ කිරීම ඔවුන් සතු අයිතියක් වුවුද මොවුන් මේ "පිස්සු කෙළින්නේ" රටක අභිමානය සහ ගෞරවය මත වීම කනගාමුවට කාරණයකි. ඕනෑම රටක පුරුවැසියෙකුට තමන් ඉපදුන රට පිළිබඳ අභිමානය ගෞරවයක් තිබිය යුතුය. එය තමන් දරන දේශපාලණික අරමුණ හේතුවෙන් ශුන්‍ය විය නොහැක. එමෙන්ම මේ කාරණය තුල ඔවුන් පොරවල් ලෙස උලුප්පා දැක්වීම තුලින් තවත් කෙනෙක් මේ තමන් දරන මතය කුමක් වුවද හුදෙක් පොරවී මඋදෙසා මෙවැනි ප්‍රකාශ කීරීමට පෙළඹීම නොවැලැක්විය හැකි කරැණකි. විශේෂයෙන්ම ඉතිහාසය පාසැල් කාලසටහනින් ඉවත් කල පසු බිහිවු පරපුර මේ සඳහා යොමුවීම නොවැලැක්විය හැකිය.

ලෝකයේ ඕනෑම රටක් එකම ජාතියක් වශයෙන් පැවතීමක් නැත. අපට කිට්ටු ඉන්දියාව, පකිස්ථානය, මලයාසියාව ආදී දකුණු ආසියාතික රටවල් මෙන්ම යුරෝපයද උතුරු ඇමරිකාව දකු‍ණු ඇමරිකාවද ජාතීන් අනුව විශමතාවයන් පවතින බව උදාහරණ වශයෙන් පෙන්වා දිය හැකිය. එම රටවල් තුල ජාතිකත්වය මත බෙදුනද විවිධ මට්ටම් වලදී මෙය මේ ජාතිකත්ව පදනම වෙනස්  වනු දැකිය හැකිය. අප නිවස තුල ආම්මා තාත්තා දුව පුතා වශයෙන් ජීවත් වුවුද නිවසින් පිට දී අපි පවුලක් ලෙස හඳුන්වමු. ලංකාව උදාහරණයකට ගතහොත් රට තුල අප සිංහල දෙමළ මුස්ලිම් හෝ බර්ගර් ලෙස වෙන් වෙන් වශෙයෙන් කඳවුරු බැඳගත්තද රටින් බට අප ශ්‍රී ලා‍ංකිකයින් ලෙස පෙනී සිටීනු දැකිය හැකිය. බොහෝ විට මට හමුවන ද්‍රවිඩ සහෝදරයින් අපි ශ්‍රී ලංකාකික යනුවෙන් හඳුන්වා දෙනු මිස මම දෙමළ යනුවෙන් හඳුන්වා නොදෙන බව මගේ ආත්දැකීමයි. නමුත් ඇමරිකානුවන්ට අනුව එකම සම පාටකට හිමිකම් කියන අප සියළුු දෙනා ඔවුන්ට "ආසියාතිකයින්" ය.

මොවුන්ගේ අනෙක් බයිට් එක වනුයේ බුද්ධාගමයි. ඔවුන්ට අනුව බුදුදහම තුල පවතින ඇදහීම් සහ විශ්වාස පුහු ක්‍රියාකාරකම්ය. පන්සල් යාම හෝ බුදුන් වැඳීම "ස්ටයිල්" එකකි. ආගමික විශ්වාස මත පදනම් කුමන හෝ කටයුත්තක් "මැටි" වැඩක් ලෙස හැඳින්වීම මොවුන්ගේ සිරිතයි. බුද්ධ ධර්මය පිළිපැදීම මුලික කරගත් ඉගැන්වීමක් තිබුනද අතීතයේ සිට වන්ඳනාව සහ ඇදහීම ට ද මුලික කරගත් සිරිත් විරිත් එහි පදනමයි. වන්ඳනාව හා ඇදහීම වනාහී හුදෙක් විශ්වාසය මත පදනම් වු ක්‍රියාකාරකමකි. කෙනෙක් බුද්ධ වන්දානාවක් කරනුයේ බුදුන් වහන්සේට ඔහු හෝ ඇය තුල ඇති අති මහත් ගෞරවය මතය. යම් යම් අවස්ථාවලදී මෙය තමන්ගේ කරදරයකට යම් පිහිටක් බලාපොරොත්තුවෙන් හෝ තමන්ගේ හිතේ ඇති යම් කලකිරීමකින් නිදහස් වීමට අවස්ථාවක් බලාපොරොත්තු වෙන් කරනු ලබන ක්‍රියාවකි. මේ මොනයම් ම දේ හෝ වේවා ඒ ඔවුනට ඇති අයිතියයි. තමන් එසේ නොකරන බැවින් අන් යට එසේ නොකර සිටීමට බලපෑම් කිරීම හෝ එය විවේචනය කිරීම සුදුසු නොවේ. බොහෝ විට ආගමක් මගින් පුද්ගලයින් බලාපොරොත්තු වන්නේ මානසික සංහිඳියාවයි. 

මොවුන්ට අනුව "බුද්ධා" ට ගල් පෙරළුව "පොරක" සිටීම ද, සිදුහත් තමන්ගේ පවුල යි දරුවයි දාලා පැනලා ගිය පොරක් වීම ද  කණගාටුවට කාරණයකි. නමුත් කිසිම අවස්ථාවක මොවුන් අන්‍යාගම් විවේචනය නොකිරීමට වගබලාගනිති. ඒ ඒ ආගම් වල‍ට අයත් යම් ආකාරයක සමාජට හිතකර නොවන ඇදහීම් රටාවන් හෝ සිරිත් විරිත් පවා මොවුන් නොදැක්කා සේ සීටීම තුල ඔවුන්නේ "රැඩිකල්" චින්තනය එක් කොටසක් අරමුණු කරගෙන ක්‍රියාත්මක වීමක් දැකිය හැකිය.

සාරාංශයක් ලෙස ගත් කල ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාජදී ජනරජය තුල "සිංහල බෞද්ධ" පදනම විශයෙහිලා යම් "රැඩිකල් වි‍රෝධාකල්පයක්" ගොඩ ගැනීම මේ පොරවල් වල අරමුණයි. "රැඩිකල් පොරක්" වීම යනු මේ සියළු ජාතීන් එකතු කර "කොත්තු රොටි" සංස්කෘතියක් බිහිකිරීම හෝ සියළු ආගම් එකතු කර එක් ආගමක් නිර්මාණය කිරීම නොව සියළු ජාතීන්ට තමන් තමන්ගේ ජාතික අනන්‍යත‍ාව ආරක්ෂා වන පරිදි ආගමික නිදහස තහවුරු බුක්ති විඳිමින් ගෞරවාන්විතව ජීවත් වීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමය.

(සංවාදයට ඉඩ)

Tuesday, December 1, 2015

නොදුටු අඩ..


 (ඡායාරෑප අයිතිය ෂෙහාන් ගුනසේකර)

අතක් උස්සලා ගැහැව්වත් මම..
අරන් කුළු පොළු දිගුකරන්..
හිතුවේ නැහැ නුඹ හට පෙළන්නට..
ඇසට කඳුලක් එක්කරන්..
මටත් ඉන්නව දුවෙක් නුඹ වගේ..
මගේ දුව මට රත්තරං..
හිතක් තියනව දන්නවද මට..
කාකි නිල ඇඳුමට යටින්..

ලොක්කා කියනවා "පලා පිය ඔළු"..
මුන්ගේ "ලොකු උණ" බහින්න..
නොකෙරුවොත් මම උන්ගේ හැටියට..
වෙන්නේ කරදර විඳින්න...
හවස් වෙනකොට උන්ගේ පාටියේ..
වේටර්ගේ වැඩ කරන්න..
"බයිට්" ඇද ඇද "ඩ්‍රින්ක්ස්" වක්කර..
උන්ට කට රස කරන්න..

නිවාඩුත් නැති වැඩත් අඩු නැති..
පොලිස් වැඩ වල හිරවෙලා..
මාත් මගේ කෙස් හැලිලා යනකං මුංගේ..
විදියට වැඩ කලා..
තවත් අවුරුදු දෙක තුනයි මට..
යන්න මේකෙන් ගැලවිලා..
නොකෙරුවොත් මුන් කියන විදියට..
"පැන්සමට" යයි කෙලවිලා..

ගමෙන් ඇවිදින් කොළඹ රස්නෙට...
පාරවල් වල ඇවිදලා..
මහපොලේ සොච්චචමත් අරගෙන..
වේල දෙක මග හරවලා..
කොහු මෙට්ටේ උඩ කීන් සද්දෙට..
කෑගහන උන් එළවලා...
මමත් දන්නවා විඳින දහදුක..
ඉගෙන ගන්නට වෙහෙසිලා..

උඹලා ඉල්ලුවේ  "ලේ" නොවේ දුව...
ඉගෙන ගන්නට නිදහස...
මුන්ට ඒ ගැන කිසි වගක් නැහැ...
උන්ගේ බලයේ ඝනකම...
මගේ දුවටත් යන්න පාරක්..
හදන්නට මම ලඟදීම..
මේක ගලවලා එන්න හිතනවා..
මැරෙමු අපි මුන් මත්තෙම..

ආයිත් ලියමුද..?



ද වෙනකොට බ්ලොග් ලිවිල්ල නතර කරලා හරියටම අවුරුද්දකුත් මාස 5 ක් වෙනවා. පටන් ගත්ත දවස් වල ඉඳලා අවුරුදු 2 කට වැඩිය වැඩි කාලයක් යනකන් දිගට ලිව්වා. සමහර දවස් වලා එක දවසට ලිපි දෙකක් තුනක් ලියපු අවස්ථාත් තිබුනා. නින්දට යන අතර හිතේ යම් අදහසක් ඇතිවුනාම ආයිමත් නැගිටලා ඒක ලියලා තමයි නින්දට ගියේ. ඒ වගේම කියවන්නත් ප්‍රතිචාර දක්වන්නත් ඒ වගේම පිරිසක් හිටියා. ඒත් අහම්බෙන් වගේ අවුරුදු 4 කට විතර කලින් පටන් ගන්නකොට කිසිම වෙලාවක හිතුවේ නැහැ අවුරුදු ගානක් ලියයි කියලා. ඇත්තටම ලියන්නන්ට ගොඩක් වැදගත් වෙන්නේ කියවන්න පිරිසක් ඉන්න එක. ඒ අය තමයි ලියන්නන්ව දිරිමත් කරන්නේ. ‍හොඳ සහ නරක වශයෙන් පෙන්වලා දීම තුලින් ලියන්නා ගේ ලිවීමේ හැකියාව වැඩි වෙනවා වගේම වෙනත් මානයන් ඔස්සේ හිතන්නත් පෙළ‍ෙඔනවා. 

ලිවිල්ල පටන් ගන්නකොට යම් නිශ්චිත අරමුණක් තිබුනේ නැහැ මොන වගේ දේවල් ලියනවද කියලා. ඇත්තනේම ආරම්භය අහම්බයක්.  අරමුණක් නැතිව අන්තර්ජාලේ සැරිසරනකොට අහම්බෙන් වගේ අපේ "බනී" මල්ලිගේ (ඔව් දැන් අර ‍ඩ්‍රොන් වලින් වැඩ දාන බනියා තමා) බ්ලොගේ කියවලා තමයි ලියන්න ඕනේ කියන හැඟීම ආවේ. එතනින් පටන් අරගත්ත වැඩේ පලවෙනි දෙවැනි ලිපිය ලියද්දී උනන්දුව වැඩි වුනා. පලවෙන හැම සහටහනකට "හොඳ" හෝ "නරක" පෙන්නලා ‍‍දෙන්න ඉදිරිපත් වුනේ "සොඳුරැ සිත" ලියන වත්සලා ටීචර් සහ "සිත් ආර" ලියන නලිනි චන්දිමා දොස්තර නෝනා. ඒ වගේම දුකා, ඕනයා වගේ කාලේ බ්ලොග් ලොකේ ජනප්‍රිය චරිත කීපයක්ම ඇවිත් සහය දුන්නා. මේ අතරට බ්ලොග් නොලියන කෙනක් හිටියා නිතරම ඇවිත් සහයෝගය දෙන. ඒ තමයි අපේ හිතවත් ගිම්හානී නංගි. ඒ වගේම "පංසල් හංදිය" "පොකූ නොහොත් පොඩි කුමාරිහාමී" ඇතුලු බොහෝ දෙනෙක් මේ ලැයිස්තු වේ ඉන්නවා.

මුලින්ම ලියන්න ගත්ත තවමත් ඉවර කරපු නැති "ජීවිතය හැරී බලමී කියලා ලියපු දිග කෙටි කථාවට බොහෝ දෙනෙක් ගේ ප්‍රතිචාර ලැබුනා. එතනදී තමයි බ්ලොග් ලිවීම ගැන ලොකු අදහසක් දුන්නේ වත්සලා ටීචර්. තමන්ගේ අදහස දැනෙන්න ලියන්නේ කොහොමද. ඡේද වෙන් කරන්නේ කොහොමද වගේ දේවලට උපදෙස් නොමිලේම ලැබුනා ඇයගෙන්. ඒ වගේම මුලින්ම අරමුණක් නැතිව ලියන්න ගත්තත් ලිවීම යම් දිශාවකට යොමුකලේ නලිනි චන්දිමා දොස්තර නෝන. එයා තමයි "මානව හිමිකම්" ගැන යමක් ලියන්න කියලා අදහසක් දුන්නේ. ඒ හේතුව නිසා තමයි "ඔබේ අයිතිය සහ වගකීම" කියලා මුලික අයිතිවාසිකම් ගැන ලිපි පෙළ ලියන්න පෙලඹුනේ. ඒ ලිපි පෙළට කමනෙට් වලින් ලොකු ප්‍රතිචාරයක් නොලැබුනත් බොහෝ දෙනා කියවනවා කියලා දැනුන නිසා දිගටම ලිව්වා. විවිධාකාරයෙන් තර්ජන නොතිබුනා නෙමෙයි. සමහරැ ඒක දැක්කේ ලංකාවේ පොලිසියට විරුද්ධව ලියන ලිපි පෙලක් විදියට. (මානව හිමිකම් කිව්වාම විරැද්ධ පදේ පොලිසිය කියන එක මම දැනගෙන හිටියේ නැහැ ඊට කලින්). ඒ ලියන අතර පොඩි විවිධත්වයටත් එක්ක දේශපානය ගැන ලිව්වා. උපහාසාත්මක විවේචන. සමහරැන්ට නම් රිදිලා තිබුන බව ලැබුනු ප්‍රතිචාර වලින්ම පේනවා. පස්සේ කවි (වල් සහ වල් නොවන), නිදැඳැස්, විචාර වගේ ඒවා ලියන්න පෙළඹුනා. මේ හැම දේටම බලපෑවේ කියනවන අයගේ දිරිගැන්වීම් සහ ප්‍රතිචාර. පස්සේ ජීවිතයට බලපාන බොහොම සංවේදී කරුණු ගැන ලියන්න ගත්තා. ආදරය රාගය නිරැවත වගේ දේවල් ගැන ගියපු ලිපි බොහොම සංවාදයට ලක්වුනා වගේම බොහෝ විවේඡනත් එල්ල වුනා.

‍ඔය වගේ අවුරුදු දෙකකුත් මාස ගානක් එක දිගට ලියපු ලිවිල්ල නතර වුනේ හදිසියේම රස්සාව වෙනස් වුන හින්දා. පරන රස්සාවේ තිබුන නිදහස අලුත් රස්සාවට එනකොට අහිමි වුනා. කාරයභහුලත්වය වැඩි වුනා. වාහනයක් ගත්තා. කැමරාවක් ගත්තා. ඒකට ඕන තව තව උපංග මිලට ගත්තා. ගෙවන්න ගත්ත නිසා ඒවා ගෙවන්න සල්ලි හොයන්න වැඩියෙන් වැඩ කරන්න වුනා. එක රස්සාව මදි වුනා. අමතර රස්සාවක් හොයාගන්න වුනා. ඔය පැටලිච්ච පඹ ගාල නිසා බොහොම ඉක්මනටම බ්ලොගේ වහන තැනටම ආවා. ඒත් ඉඩක් ලැබුනු වෙලාවට ඇවිත් බලන හැම වෙලාවකම කීප දෙනෙක් කියවන බව පෙනුනා. කමෙන්ට් කරන බව දැනුනා. කොටින්ම කාලෙකට පස්සේ ඇවිල්ලා මම අවුරුදු දෙක තුනකට කලින් මේ වගේ දේවල් ලියලා තියනවා නේද කියලා හිතන එකත් හිතට සතුටක් ගෙනවා. 

දැන් ඔයාලා බලනවා ඇති "මෙච්චර දේවල් ලියලා දැන් මොකාටද එන්න හදන්නේ කියලා".

ඔව් තිබුන කාර්යභහුලත්වයෙන් ටිකක් ඈත් වෙලා ආයිත් මම ලියන්න යන්නේ...

එන්න අපි කථා කරමු. හොඳ නරක, දැනෙන දේවල්, අදහස් බෙදාගන්න..

නැවතත් අපි පටන් ගමු..

නවත්තපු තැන ඉඳන්..

මම

- බස්සා -