"නොදනී"...... මේ තමයි පොඩි කාලේ ඉඳන් බොහෝ දෙනා මට කථා කරපු නම... පොඩි දවස්වල නම් මට ඒ හැටි ගානක් නැහැ... ඒත් ටික ටික ලොකු වෙනකොට මට තේරැනා ඒ නමේ තේරැම... මම ඒදා ඉඳලා මාව මේ ලෝකෙට ජාතක කරපු තාත්තා කියන පාදඩයට වෛර කරන්න ගත්තා..අම්මට වෛර කරන්න මට හිත දුන්නේ නැහැ. අම්මා බඩ උනේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියලා කියන්න මම දන්නේ නැහැ. මට අහන්න තරම් කාලයක් උන්දෑ ජීවත් උනෙත් නැහැ. අම්මා ගැන තියෙන්නේ බොහොම පොඩි මතකයක්.. මම චුටි කාලේ උන්දෑ මාව ලොකු ගලක් උඩ තියන පංසලක් ලඟ පොඩි අගුවක තියාගෙන රටකජු වික්කා කියලා මතකයක් කියනවා... ලොකු බස් ආවාම මාවත් උස්සගෙන බස් එක වටේ කැරකෙනවා... මට හිතුනේ මට බස් එක පෙන්නවා කියලා.. ඒත් පස්සේ ඒ මතකයන් අවදිකරනකොට මම කොහොමද ඒ අම්මා කරපු දේ විග්රහ කරන්නේ.... අම්මා මාව විකුනගෙන කෑවා කියලද ? ඒත් මට එහෙම හිතන්න හිත ඉඩ දෙන්නේ නැහැ..
මගේ අම්මා අසරණ වෙච්ච ගැහැනියක්... අම්මත් මම වගේ ම "නොදනී" ගනයේ... අම්මා මට වැඩිය මේ සමාජෙන් බැට කන්න ඇති කියලා මට අද හිතෙනවා... අඩු ගානේ මගේ උප්පැන්නේ අම්මගේ නම තියනවා... ඒත් අම්මගේ උප්පැන්නේ අම්මා, තාත්තා දෙන්නගෙම නමට ඉස්සරහට තියෙන්න ඇත්තේ "නොදනී" කියලා වෙන්න ඇති.. ඒත් කවදාවත්ම මම අම්මගේ උප්පැන්නයක් දැකලා නැහැ... උප්පැන්න සහතිකේ කියන්නේ ඉපදුනු බවට දෙන සහතිකේට කියලයි මම අහලා තියෙන්නේ... අම්මා ඉපදිලා තියෙන්නේ කොහේද කියලාවත් අම්මා දැනගෙන ඉන්න නැතුව ඇති.. මගේ අම්මව එයාගේ අම්මා පාරේ දාලා ගිහිල්ලා.... පස්සේ අම්මා හැදිලා තියෙන්නේ ළමා නිවාසෙකලු... ටිකක් ලොකු වෙනකොට අම්මා එතනින් පැනලා ඇවිත් බදුල්ල පැත්තේ දී ගෑණු කෙනෙක් හම්බුවෙලා එයාගේ ගෙදර නැවතිලා... පස්සේ එයා අම්මව එක එකාට විකුනලා... කීදෙනෙක්ද කියන්න දන්නේ නැහැ... ඒත් උන්ගෙන් එකෙක් තමයි මගේ තාත්තා වෙන්න ඇත්තෙත්. ඊට පස්සේ තමයි අම්මා දඹුල්ලට පැනලා ගිහින් තියෙන්නේ...අම්මා බොහොම දුක් විඳලා තියනවා... බඩත් උස්සගෙන... අම්මට ඕනෙනම් මාව නැති කරලා දාන්නත් තිබුනා... ඒත් අම්මා එහෙම කලේ නැහැ. මට තියෙන ආදරේ හින්දද දන්නේ නැහැ. ඒත් එහෙම කලේ නැහැ...දඹුල්ලේ පොලීසියේ මහත්තුරැ අම්මට ගොඩක් උදව් කරලා තියනවා.... අම්මා ගොඩක් උත්සහ කරලා තියනවා ජීවිතේ ජයගන්න... ඒත් උන් අම්මට ඉන්නම දීලා නැහැ.. තනිවෙච්ච ගෑනියෙක් ගෙන් හැම එකාම ප්රයෝජනය ගන්න හදලා... අම්මා ගොඩක් උත්සහ කරලා තියනවා.. ඒත් දවසක් එක පාදඩයෙක් මගේ අසරණ අම්මව බෙල්ල කපලා මරලා... මට තේරැමක් නැහැ.... මම දැක්කා අම්මා වැටිලා ඉන්නවා... රතු පාට වතුර ගොඩක් උඩ... අම්මා ඉඳලා තියෙන්නේ ලේ ගොඩක් උඩ.. මම හිතුවා අම්මා තනියම නිදි කියලා... මම කොච්චර කථා කලත් අම්මා නැගිට්ටේ නැහැ....
පොලිසියේ මාමලා මාව අනාථ නිවාසෙට ගෙනාවා.... මගේ පොඩිකාලේ ගෙවුනේ අනාථ නිවාසේ.... එතන ලොකු අයියලා මට එක එක් දේවල් කියලා දුන්නා... රෑට මාව අයියලා මාව තුරැල් කරගෙන නිදයනවා.... අම්මගේ උණුහුම නැති මම තවත් ඒ උණුහුමට ගුලි වුනා...සැරින් සරේ එක එක අයියලා.. .ඒත් මට ඒ උණුහුමට නින්ද යනවා... ඒත් දවසක් මට හරියට රිදුනා.... උදේ උණ ගත්තත් එක්ක...ඊට පස්සේ මාව ඉස්පිරිතාලේ නැවැත්තුවා..මම ගෙදර එනකොට අර අයියලා එතන හිටියේ නැහැ... මට පුදුමාකාර පාළුවක් දැනුනා... මට ආයිත් සැරයක් අම්මගේ උණුහුම නැති උනාවගේ දැනුනා.. අලුත් නැන්දා කෙනෙකුත් හිටියා... එත් එයා හරි වසයි... මම නිසාලු එයාට මෙහෙට එන්න සිද්ධ උනේ කියලා හැම තිස්සේම මට ගැහැව්වා.. ඇයි කියන්න මම දැනේ නැහැ.. හැම තිසසේම මට වද දුන්නා... ඒ නැන්දා තමයි ඉස්ඉස්සල්ලම මට මගේ නම කියලා කථා කලේ..
ඒයි..."නොදනී" මෙහෙ වරෙන්...
මම ඉස්කෝලේ යන්න ගත්තා...ළමා නිවසේ අනිත් අයියලා අක්කලා වගේ... ටීචර් මට වෙනම පුටුවක් මේසයක් දුන්නා වාඩිවෙන්න....මම හිතුවේ මට ආදරේ හින්දා කියලා... පස්සේ තමයි තේරැනේ පන්තියේ ළමයි මගේත් එක්ක වාඩි වෙන්න කැමති නැති නිසා තමයි එහෙම කලේ කියලා.. ළමා නිවාසේ ළමයි මට කථා කලේ "නොදනී" කියලා... ඒක නිසා ඉස්කොලෙත් මට කථා කලේ ඒ නමින්ම තමයි.... මට ඒක ලොකු වෙනසක් තිබුනේ නැහැ... දෙමව්පිය රැස්වීම වලදී අනිත් අම්මලා තාත්තලා ඒ ළමයි එක්ක ඉන්නවා දැක්කාම මට අම්මව මතක් වෙනවා... එ දවසට මම මුලු දවසම පිට්ටනියට වෙලා ඉන්නවා.... අපේ ඉස්කෝලේ පිට්ටනිය පිටිපස්සේ කැළෑව... මම ඒ කැළෑවට පුරැදු උනා.... උදේම ගිහින් කුරැල්ලන්ගේ "කිචි බිචි" සද්දේ අහන්න...ලේන්නු දිහා බලන්න.. මම පුරුදු වුනා.... මම අනිත් ළමයින්ගෙන් අයින්වෙලා හිටියේ... එයාලා මාව කවදාවත් සෙල්ලම් කරන්න ගත්තේ නැහැ... මම එයාලත් එක්ක හිනා උනොත් එයාලා මට රවනවා... මම එයාලගේ ඉස්සරහින් ගියොත් මට "නොදනී" කියලා හිනා වෙනවා... මට මේ දේවල් හුරැ වුනත් ටික ටික ලොකු වෙනකොට මම උන්ට වෛර කරන්න පටන් ගත්තා... උන් මට රැව්වොත් මමත් රවනවා... මට ගැහැව්වොත් මමත් ගැහැව්වා.... මම ඉස්කෝලෙ යන එක අතැරියා.... මම මුලු දවසම හිටියේ කැළෑවේ.... මම සත්තුන්ට ආදරේ කලා... උන් අහිංසකයි.... උන්ගෙන් මට කරදරයක් තිබුනේ නැහැ..මම ඉස්කෝලේ යෑම අතැරියා.... මම පාරට බැස්සා....පාදඩයෙක් උනා...රස්තියාදුකාරයෙක්.. පොකට්කාරයෙක්...ගංජාකරෙයෙක්... කුඩුකාරයෙක්...පස්සේ මංකොල්ලකාරයෙක්......ඒත් අද මම හිරකාරයෙක් වෙලා ජීවිතේ මෙනෙහි කරනවා....
මම මේ මුලු සමාජෙටම වෛර කරනවා... මේ මුලු සමාජ ක්රමයටම... හිරේ දී මම ජිවිතේ ඉගෙනගත්තා... ඇයි මට මෙහෙට උනේ...කොතනද මට වැරදුනේ කියලා...කව්ද වැරදි කියලා... ඔබම කියන්න... මම වැරදිදි... මගේ අම්මා... පාදඩ තාත්තා...මට කියලා දෙන්න...
(මේ ලියවිල්ලට මුලික උන පහත ලිංකුවට අදාල සිද්ධිය ඔබගේ අවධානයට යොමුකරමි, මෙහි තෙවැනි ප්රවෘත්තිය මෙම ලිපිය හා බැඳේ)
http://www.col3negoriginal.org/watch.php?id=13841