Showing posts with label පොලිස් කථා. Show all posts
Showing posts with label පොලිස් කථා. Show all posts

Sunday, October 23, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 7 (අත්අඩංගුවට පත්වෙන්නට පෙර කියවන්න)

ටික දවසක් මානව හිමිකම් ගැන කථා නොකරපු හින්දා අමතක වෙලාද මන්දා... ඔන්න අපි ආයිත් කථාකරනවා මානව හිමිකම් ගැන... අද කථා කරන්න යන්නේ අපිට ඉතාමත් වැදගත් වෙන තවත් අයිතිවාසිකමක් ගැන.. මේක හුඟක් වෙලාවට අපේ ජිවිත වලට සම්බන්ධයි.. අපිට අවශ්‍ය වෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 13 වන වගන්තිය ගැන අපි අද කථාකරමු.. 13 වැනි වගන්තිය උප වගන්තීන් 7 කින් සමන්විතවේ.. එයින් පලමු වගන්තිය ‍මෙයාකාරයෙන් දැක්වේ. 

1) නීතියෙන් නියමකරනු ලැබු කාර්ය පටිපාටියකට අනුව මිස කිසිම තැනැත්තෙකු සිරභාරයට ගැනීම නොකල යුත්තේය, යම් තැනැත්තෙකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මතද, එම හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේය.

මෙය වචන කීපයක උප වගන්තියක් වුවද මෙම 13 වැන් වගන්තිය මුලික හරය රැඳී පවතින්නේ මෙම උප වගන්තිය තුලයි. මෙහිදී අපට රමේ පවතින නීතිමය තත්වයන් ගැන දැනීමක් තිබීම වැදගත්වේ. අපි මුලින්ම  බලමු මේ වගන්තියෙන් කියැවෙන "නීතියෙන් නියමකරනු ලැබු කාර්ය පටිපාටිය" කුමක්ද යන්න අපි දැන විමසා බලමු. 

* අත්අඩංගුවට ගැනීමක් යනු කුමක්ද ?  පුද්ගලයෙකුගේ යාම් ඊම් සීමාකිරීමක් හෝ යාම් ඊම් සීමාකර ඇති බව හැඟවීම අත්අඩංගුවට ගැනීමක් ලෙස දැක්විය හැකිය.. මෙහිදී පුද‍්ගලයාට නොදන්වා යාම් ඊම් සීමාකරන්නේද එයද අත්අඩංගුවට ගැනීමක් ලෙස දැක්විය හැකිය.
 
 අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සාමාන්‍ය විධිවිධාන මෙසේය..

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය 

23 වැනි වගන්තිය 
මෙහි සඳහන් වන්නේ වරෙන්තුවක් සහිතව (සංඥය නොවන වැරදි සඳහා)  කරනු ලබන අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙනි. අත්අඩංගුවට ගතයුත් ආකාරය මෙසේය.
1. අත්අඩංගුවට ගැනීමට එකඟ වුවහොත් ශරීරය සැබැවින්ම ස්පර්ශ කර, වරද පහදා දී අත්අඩංගුවට ගතයුතුය. 
2. අත්අඩංගුවට ගැනීමට ප්‍රතිරෝධය පෑමකදී සාධාරණ ලෙස අවශ්‍ය උපක්‍රම (අවම බලය) යෙදිය යුතුය.  
3. මරණිය දඬුවම දිය නොහැකි වරදකට අත්අඩංගුවට ගැනීමේදී අදාල පුද්ගලයාගේ මරණය සිදුකිරීමේ අයිතිවාසිකම මෙම උපවගන්තියෙන් නොලැබේ. 

28 වැනි වගන්තිය
- අත්අඩංගුවට ගනු ලැබු තැනැත්තෙකු ඔහු පැනයාම වැලැක්වීමෙහි ලා අනවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි මැඩපැවැත්වීමක් නොකල යුතුය.

32 වැනි වගන්තිය
මෙහි සඳහන්වන්නේ මහේස්ත්‍රාත්වරයෙකුගේ ආඥාවක් නොමැතිව සහ වරෙන්තුවක් නොමැතිව සිදුකරනු ලබන අත්අඩංගුවට ගැනීම් (සංඥය වැරදි සඳහා) සම්බන්ධයෙනි. මෙහි සඳහන් උපවගන්තීන් මෙසේය..
අ.  තමා ඉදිරිපිට සාමය කඩකිරීමක යෙදෙන විට.
ආ.  සාධාරණ පැමිණිල්ලක්, විශ්වසදායී තොරතුරක් හෝ සාධාරණ සැකයක් මත.
ඇ. නීත්‍යානුකූල හේතුවක් නොමැතිව ගෙවල් බිඳින උපකරණයක් ලඟ තබාගැනීම.
ඈ. වරද කරන්නෙකු ලෙස ප්‍රකාශකොට ඇති යම් තැනැත්තෙක්.
ඉ. සොරකම් කරන ලද හෝ වංචනික ලෙස ලබාගන්නා ලදැයි සැක කල හැකි යමක් තමා සන්තකයෙහි තබාගන්නා තැනැත්තෙක්.
ඊ. රාජකාරියෙහි යෙදී සිටින යම් සාම නිළධාරියෙකුට බාධාකරන හෝ නීත්‍යානුකූල අත්අඩංගුවෙන් පැනගිය හෝ පැනයාමට තැත්කරන පුද්ගලයෙක්.
උ. ත්‍රිවිධ හමුදාවෙන් පලා ආ පුද්ගලයන්.
ඌ. තමා සංඥය වරදක් කිරීමේ අදහසින්සිටින බව සැඟවීමට පුර්වෝපාය යොදමින් සිටී යැයි වීශ්වාස කිරීමට හේතු කරවන අවස්ථා යටතේ සැඟවීසිටීමට පුර්වෝපාය යොදමින් සිට අසුවු යම් තැනැත්තෙකු.
එ. ශ්‍රී ලංකාවේදී කරනු ලැබුවහොත් වරදක් වන ක්‍රියාවක් ශ්‍රී ලංකාවෙන් පිටත දී කරන ලද බවට සාධාරණ සැකයක් හෝ පැමිණිල්ලක් ලැබී ඇති තැනැත්තෙක්.
   
තව ඉවර නැහැ.. ඒත් නීතිමය තත්වයන් ගැන කථා කිරීම අදට ‍‍‍අවසන්කරලා අපි බලමු මේ මේ සම්බන්ධයෙන් ප්‍රායොගික තත්වයන් කොහොමද කියලා.


මං අපුරැ කථාවක් කියන්නම්... මේ අපි උඩදී කථා කරපු 32 වැනි වගන්‍තියේ (ඇ) උපවගන්තිය සම්බන්ධ සිද්ධියක්...කථාව මෙහෙමයි... මගේ රාජකාරී කාලයේදී හමුවෙන පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පිටවුන බොහොම තරුණ නිළධාරීන් ඉන්නවා බොහොම දක්ෂයි... දණ්ඩ නිතී සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය...කට පාඩම්... ඔන්න මේ වගේ එස්අයි මහත්තයෙක් වැටුනා රාත්‍රී මුර සංචාරය වලට, ඉතිං මේ මහත්තයයි.. තව රාළහාමි කෙනෙකුයි පාන්දරජාමේ අවිදගෙන යනකොට දුරට දැක්කලු මනුස්සයෙක් බර යමක් උස්සගෙන ඒ පැත්තට එනවා... මේ එස්අයි මහත්තයා විගහට මුවා උනා කණුවකට... ලඟට එනකොටම ඉස්සහරට පැනලා අල්ලගත්තා... මෙහෙමයි දෙබස..


අද අහුවුනා... තෝ තමයි මෙච්චර දවසක් හොය හොය හිටියේ..


අ..අ...ඇ...ඇයි මහත්‍තයෝ.. .මොකද...


මොකද...තෝ හිතන්නේ අපි දන්නේ නැහැ කියලද ? තෝ මේ මහ රෑ අලවංගුවකුත් අරගෙන යන්නේ හොරකමේ කියලා අපි දන්නේ නැහැ කියලද තෝ හිතන්නේ..


අනේ මහත්තයො අද පාන්දර ගෙපැල කපන්න තියන නිසා මස්සිනාගෙන් මේක අරගෙන යන්නේ...


තෝ හිතුවා මදි මාව තම්බන්න... යමන් පොලිසියට...


දැන් මහත්තයා මොනාටද මාව පොලිසියට අර‍ගෙන යන්නේ...


ඇයි උඹ දන්නේ නැද්ද.... රාත්‍රී කාලයේ ගෙවල් බිඳින උපකරණයක් ලඟ තබා ගැනීම අත්අඩංගුවට ගත හැකි වරදක්...

දැන් එතකොට මාව පොලිසියට ගෙනියන්නේ ගෙවල් බිඳින උපකරණයක් ලඟ තියාගත්තටද ?

ඔව්.... ඇයි තෝ මොනා කරන්නද ?

එහෙනම් මහත්තයෝ මං ස්ත්‍රී දුෂණයකට තැත් කරා කියලත් ලියන්න...

හෑ...  තෝ හිතාගෙන හිටියේ ගේකුත් බිඳලා, ස්ත්‍රි දුෂණයකුත් කරන්නද ?

නැහැ මහත්තයෝ ඒ උපකරණයත් මගේ ලඟ තියනවා...

Sunday, October 16, 2011

මහජනතාව සහ කොස්තාපල්

ඔන්න එකමත් එක දවසක පොලෝසියේ රාළාමි කෙනෙක් ට්‍රැපික් රාජකාරියට වැටුනලු... කට්ට අව්වේ... දුවිලි කාගෙන පැය ගානක් හිටගෙන ඉඳලා... පොඩි වෙලාවක් වාඩිවුනා..වාඩිවෙන්න ලැබුනේ නැහැ...එතනට ආපු සාජන් මහත්තයා බැන්නා බල්ලෙකුට වගේ... ආ බුරැවො තෝව මෙතනට එව්වේ නිදි වදින්නද ? ඇමතිතුමා යනකොට පාර ක්ලියර් කරලා නොතිබුනොත් තෝව ගෙදර යවනවා... අනේ අසරණ රාළාමි... නැවතත් රාජකාරියට ආවා... කේන්තියයි මහන්සියයි අතරේ දෝලනය වෙමින් ඉන්න රාළාමිට මෙහෙම කල්පනාවක් එනවා... 

ෂික් මේ කොස්තාපල් රස්සාව හරියන්නේ නැහැ... අඩුගානේ සාජන් කෙනෙක්වත් වෙන්න ඕනේ... 

ඒත් වැඩක් නැහැ... සාජන් මහත්තයා ඕඅයිසීට බයයි නේ... රාළාමි හිතුවා... ඕඅයිසී උනත් වැඩක් නැහැ.. ඕඅයිසී මහත්තයා ඒඑස්පී මහත්තයට බයයිනේ... 

ඒ හින්දා ඒඑස්පී කෙනෙක් වෙන්න ඕනේ..ඒ වුනාට... ඒඑස්පී... එස්පී මහත්තයට බයයිනේ.... එස්පී කෙනෙක් වෙන්න ඕනේ....ඒත් වැඩක්වෙන්නේ නැහැ... එස්පී, එස්එස්පී ට බයයිනේ... 

ඩීඅයිජී කෙනෙක් වෙනවා එහෙනම්... එක හරියන්නේ නැහැ... එයා අයිජීපී ට බයයිනේ... අයිජීපී වුනොත් ආරක්සක‍ ලේකම්ට බයේ තමයි ඉන්න වෙන්නේ... ආරක්සක ලේකම් උනොත්... ඒක හරියන්නෙත් නැහැ... එයාට වැඩකරන්නේ ජනාධිපති කියන විදියටනේ.... 

රටේ ජනාධිපතිවෙන්න ඕනේ... ජනාධිපති... ඔව්... මම තමයි ජනාධිපති... එත් කොස්සක් තියනවා... ජනාධිපති මහජනතාවට බයයිනේ...මාත් ඒ මහජනතාවගෙන් එකෙක් වෙනවා...

"මුන්ගේ අම්මලට.....හු........යකෝ කොහෙද යන්නේ... පේන්නේ නැද්ද නවත්තන්න කියලා තියනවා"...... තුං විතරක්.... මුන්ගේ ඇස් පේන්නේ නැහැ....කාළකන්නි හැත්ත...."

මහජනතාව.... උන් කොස්තාපල්ට බයයිනේ.... බලාගෙන ගියාම ජනාධිපති පවා බය උන් මට බයයිනේ... ඔන්න ඔහේ රාළාමි විදියටම ඉන්නවා.....

Friday, September 2, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 4 (ගුටි නොකා සිටීමේ අයිතිය)

දින කීපයක් ලියන්න බැරි උනේ ටිකක් වැඩ වැඩි උන නිසා. ඔන්න මං නැවතත් ලියනවා. මානව හිමිකම් සම්බන්ධයෙන් ලියන සිව්වැනි ලිපිය මේක. මීට ඉහත ලිපි නොබැලුවානම් ඒවත් බලලම එන්න. හැබැයි මං මේ ලිපි වලින් බලාපොරොත්තු වෙන අරමුණ ඉටුනොවෙනවා වගේ හැඟීමක් තිබුනත් තව දුරටත් ලියන්න හිතුවා. මට අවශ්‍ය මේ සම්බන්ධයෙන් සංවාදයක් එහෙමත් නැත්නම් කතිකාවක් ගොඩනගන්න... ඒත් එහෙම දෙයක් වෙනවා කියලා පේන්න නැහැ. මොකද මානව හිමිකම් සම්බන්ධයෙන් පත්තර වල නිතරම ලිපි පලවෙනවා. පොත් පත් ලියවෙනවා. මම කැමති නැහැ මේ ලිපි පෙල ඒ ගනයටම වැටෙනවට. මොකද බ්ලොග් එක සජීවී මාධ්‍යක්. අපි පොතක් කියවලා වහලා දාන එකට වඩා වැඩි යමක් බ්ලොගයක් හරහා කරන්න පුලුවන්. මං බලාපොරොත්තු වෙන්නේ ලිපිය හොඳද නරකද කියලා කමෙන්ටු දාන එක නෙමෙයි. ගොඩ නගන්න උත්සහ කරන්න සංවාදයක්. මේ ගැන අත්දැකීම් තියන අය ඒවා බෙදාගන්න කියන එක. 


හරි දැන් කථා ඇති. බහිමු මාතෘකාවට. අපි කථාකරමින් හිටියේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිඡ්චේදයේ 11 වැනි වගන්තිය නොහොත් “ගුටි නොකා සිටීමේ අයිතිය“ සම්බන්ධයෙන්. එතනදි අපි එහි අඩංගුවෙන වචන එකින් එක විග්‍රහ කරමින් තමයි හිටියේ. මෙහි සදහන් අනෙත් වචනය තමයි අමානුෂික කියන එක. වචනයේ තේරැමෙන් කියවෙනවානේ මේ කියන්නේ මොකක් ගැනද කියලා. ඒත් මේ සම්බන්ධයෙන් නීතිපොත්වල පැහැදිලි නිර්වචනයක් නැහැ. බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ විවිධ නඩු තීන්දු උදාහරණයට අරගෙන පැහැදිලි කරන එක. ඇත්තටම මොකක්ද අමානුෂික කියන්නේ. අ...මානුෂික. එහෙමත් නැත්නම් මනුෂ්‍යත්වයට නොගැලපෙන යන්නයි. දැන් නැවතත් ඔබේ මතකයට එන්නේ විවිධ ආකාරයේ ශාරීරික වධ දීම් ගැන. ඒත් ශරීරයට කිසිම පීඩාවක් නොකරත් අමානුෂික සැලකීම් සිද්ධ වෙන්න පුලුවන්. 

මං පොඩි උදාහරණයක් කියන්නම්. මං වවුනියාව පැත්තේ වැඩකරන කාලේ අත්දැකපු දෙයක්. අපි සමහර අවස්ථාවල ඒ පැත්තේ ඉන්න යම් මට්ටමක් උසස් නිළධාරීන්ව හමුවෙන්න යනවා. අත්‍යාවශ්‍ය කාරනා වලට නොවුනත් පොඩි පොඩි “චැට්“ දාන්න. ඔවුන් නොදන්නවා උනාට මේක අපේ රාජකාරියේම කොටසක්. (නැහැ බොන්න නෙමෙයි... මං මගේ සේවා කාළයේදී පොලිසියෙන් හෝ කිසිම රජයේ ආයතනයකින් තේ එකක් වත් බීලා නැහැ) මේ එක්තරා අපරාධ අංශ ස්ථානාධිපති කෙනෙක් කියපු කථාවක්. ඇත්තටම මොහු හොද දැනුමක් තියෙන පරිනත නිළධාරියෙක්. නීතිය ගැන හැම දෙයක්ම දන්නවා. කිසිම අවස්ථාවක් කථා කරලා බේරෙන්න අමාරැයි. මං බොහෝ දේ මේ නිළධාරියාගෙන් ඉගෙනගත්තා. දවසක් මං ඔහු හමුවුන අවස්ථාවක අපි අතර වෙච්ච සංවාදයක් මේක. 

නිළධාරී - මිස්ටර්ට කියන්න මං ඔය ප්‍රශ්ණ කරන්න මිනිස්සුන්ට ගහන්නේ නැහැනේ. නීතිය දන්න කෙනෙක් විදියට මං කවදාවත් නීතිය කඩන්නේ නැහැ. 

මම - එතකොට මහත්තයා කොයිවගේ ක්‍රමයක්ද අනුගමනය කරන්නේ.. 

 නිළධාරී - මං කරන්නේ ඉස්සල්ලම හොඳින් අහනවා... කියන්නේ නැත්තන් තමයි මගේ වැඩේ පටන් ගන්නේ.. කොහොම හරි ඩීඕ (Dentation Order/ රඳවා ගැනීමේ නියෝග) ගහලා  කොහොම හරි දවස් දෙක තුනක් තියාගන්නවා.. අතක්වත් තියන්නේ නැහැ... හැබැයි කන්න දෙන්නේ නැහැ.. දෙවැනි දවසේ විතර හොඳට කොච්චි මිරිස් එහෙම දාපු කොත්තු රොටියක් දෙනවා කාපං කියලා... මුත් එලෝ මෙලෝ නැතුව කනවා... වේල් දෙක තුනක් නොකා හිටිය නිසා උන්ට කටට දැවිල්ල දැනෙන්න ටික වෙලාවක් යනවා... 

මම - ඉතිං.. ඉතිං... 

නිළධාරී - මිස්ටර් හිතන විදියට දැන් මොනාද මුට ඕනේ... 

මම - වතුර 
නිළධාරී - ඔව්... වතුර.. හැබැයි වතුර දෙන්නෙ නැහැ... වීදුරැව පෙන්න පෙන්න ප්‍රශ්ණ කරනවා... අනිවාර්යෙන්ම ඌ දන්න දෙයක් තියනවා නම් කියනවා.. ඒකේ දෙකක් නැහැ.. අත්දුටුයි.. ප්‍රත්‍යක්ෂයි... 

මෙය ඉතා දරැණු තත්වයකි.. භාහිර ශරීරයට වන හානියට වඩා අභ්‍යන්තරික වශයෙන් වන හානියේ බලපෑම වීශාලය. මෙවැනිම තවත් සිද්ධියක් සම්බන්ධයෙන් පලවුන පුවත් පත් වාර්ථාවක් මේ තියෙන්නේ. 


සිද්ධිය සරළව කිව්වොත් මෙසේය... ඔහු ආබාධිත රණවිරැවෙකි.. හිසේ ආබාධයකින් පලෙයි. එක් පාදයක් අහිමිව ඇත. කෘතිම පාදයක් භාවිතා කරයි.. ඔහු සිය සොහොයුරා සමග වැලිසර නාවුක හමුදා කඳවුරට ගොස් මෝටර් සයිකලයකින් නැවත පැමිනෙමින් සිටියදී කඳාන පොලිසියේ නිළධාරීන් විසින් නවතා තිබේ. හමුදා නිළධාරියා තම ආබාධය හේතුවෙන් හෙල්මට් නොපැලඳ සිටි අතර ඒ ගැන අදාළ පොලිස් නිළධාරීන්ට පැහැදිලි කලද ඔවුන් එය පිළිගෙන නොමැත. පසුව ඇතිවු බහින් බස් වීමේ දී මේ පුද්‍ගලයාට සහ ඔහුගේ සහෝදරයාට පහර දී අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ගෙන ගොස් ඇත. පසුව ඔහුගේ සහෝදරයාව කූඩුවට දමා "උඹ අපිට නේවි පාට් දානවා" දැයි කියා මේ නිළධාරියාට පහර දී ඇත. තවද ඔහුගේ ‍කෘතිම පාදය ඉවත්කර පොලිස් ස්ථානයේ කොරිඩෝවේ "බට්ටා" පනින්නට නියෝග කර ඇත. මොහු ‍ලුතිනන් වරයෙකි. ලුතිනන් වරයෙකු යනු නාවික හමුදාවේ උසස් නිලයකි. මොහුගේ පාදය අහිමිවුනේ හොර‍ පොල් කැඩීමට ගොස් නොවේ. මේ නිළධාරියාට සිදුවු මානසික බලපෑම කෙතරම් විය හැකිද ? තවත් මෙවැනි සිද්ධීන් කොතෙකුත් සිදුවිය හැකිය.

පසුගිය වක වානු‍වේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයින් බොහෝ දෙනා සඟවා තිබු අයුධ ‍සොයාදෙන්නට ගොස් වෙඩි කෑවෝය. අපි හිත යටින් සිනාසිමු. "පාතාලයන්ට හොඳ වැඩේ".. අපි සිතිමු... බළධාරීන්.. නිහඬව සිටියහ... පසුව එය තමන්ගේ "හොර ගෑනි" ට විහිළු කල තරැණයින් උස්සාගෙන ගොස් වධ දී මරා දමන්නට තරම් වර්ධනය විය... එම සිද්ධියේ අපරාධකාරයින්ට දඬුවම් ලැබුන බව සැබෑවකි.. ඒත් අර තරැණයින්ට නැවතත් ජීවිතය ලැබුනේ නැත. ඒ දෙමව්පියනට දරැවන් ලැබුනේ නැත.

මෙය ඔබට.. මට ඕනෑම මොහොතක සිදුවිය හැකිය... ...මෙය අවසානය නොවනු ඇත... ටික කලකදී මෙය අපට අමතකය.... ඒත් අනතුර තවමත් අප වටා කරකකෙමින් සිටියි...

ඊලඟ ගොදුර ඔබ විය හැකිය...

Friday, June 17, 2011

පොලිස් කථා 1

කාලයක් මම මානව හිමිකම් සම්බන්ධ ආයතනයක වැඩකලා. සේවය කලේ වව්නියාව කාර්යාලයේ. ඒ කාලේ අපිට මානව හිමිකම් සම්බන්ධයෙන් පුදුමාකාර උණක් තිබුනේ. ඒ කාලේ නිතරම පොලිසිය, යුධ හමුදාව සමග වැඩ කලා. ඔය කාලේ මං වව්නියාවේ පොලිස් අධිකාරී කාර්යාල‍යෙන් පොලිස් නිලධාරීන් සඳහා පවත්වන පුහුණු වැඩසටහන් වල මානව හිමිකම් සම්බන්ධ භාහිර දේශකයෙක් විදියට සම්බන්ධවෙලා හිටියා. මේ අවස්ථා වලදී මං ගොඩක් වෙලාව උදාහරණ විදියට පාවිච්චි කරන්නේත් පොලිසිය සම්බන්ධ කථා තමයි. ඒවා ඉතාම රසවත් වගේම පස්සේ කල්පනා කරන්න දේ ගොඩක් ඉතිරි කරනවා.
මං හිතුවා ඒ පොලිස් කථා කීපයක් පල කරන්න..
මේක මීට අවුරැදු ගානකට කලින් මඩකලපුව පැත්තේ රාජකාරී කරපු පොලිස් අධිකාරීවරයෙකුට වෙච්ච සිද්ධියක්. දවසක් උදේ මෙතුමා රියදුරා එක්ක රාජකාරී සඳහා වාහනේ යනවලු. රියදුරා බොහොම මෑතකදි පොලිසියට බැඳුනු තරැණයෙක්ලු. මෙතුමා දැක්කලු රියදුරාගේ මුණ වැඩිය හොඳනැති ගතියක්. එතන ඉඳලා කථාව වෙච්ච විදියටම ලියන්නම්.
අධිකාරී - මොකද අයිසේ මූණේ හැටි.. ටිකක් හිනාවෙලා ඉන්නවකෝ උදේ පාන්දර.
රියදුරැ - නැහැ සර්..මේ ..මේ...
අධිකාරී - මොක්කද අයිසේ ගොත ගහන්නේ.. තමාසෙට මොනහරි ප්‍රශ්ණයක් තියෙනවද ?
රියදුරැ - පොඩි ප්‍රශ්ණයක් නම් තියනවා සර්.. ඒත් මේ...
අධිකාරී - කියනවා අයිසේ... කියනවා.. මොකක් ද?
රියදුරැ - මං ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියනවා සර්.. දැන් ඒ ගෑණු ළමයා කියනවා අම්මලා   තාත්තලා වෙන කෙනෙක්ව හොයනවළු බන්ඳලා දෙන්න.
අධිකාරී - අපෝ ඕක මොකක්ද අයිසේ... තමුසේ මහ බය ගුල්ලේක්නේ.. කෙලින්ම ගිහින් අහනවා.
රියදුරැ -  අනේ බයයි සර්.. ඒගොල්ලෝ හරි සල්ලිකරයෝ.. තාත්තා හරිම වසයිළු..
අධිකාරී - අනේ ඕයි.. තමුසේ පොලිසියේ කියලා කියන්නත් ලැජ්ජයි. එහෙම මොනාහරි උනොත් කේස් එකක් දාලා තාත්තව ගන්නවා ඇතුලට.. දෙක තුනක් දෙනකොට නිකම්ම කැමති වෙයි.. තමුසේ බය නැතිව ඉන්නවා.. මොනාහරි උනොත් මං ඉන්නවානේ..
රියදුරැ - අනේ බොහොම ස්තූතියි සර්.. මං ගෑණු ළමයට කියන්නම් සර්..
අධිකාරී - හරි.. හරි.. දැන් ඉස්සරහා බලාගෙන එළවනවා.

සති කීපයකට පසු..
අධිකාරී - මොකද තමුසේ අදත් මූණ එල්ලගෙන.. කෙල්ල මොකද කියන්නේ.
රියදුරැ - වැඩක් නැහැ සර්..මාගේ ජීවිතෙත් එපා වෙලා තියෙන්නේ දැන්.. කෙල්ල කියනවා ඉක්මනට මොනාහරි නොකොලොත් එයා ගැන අදහස අතඇරගන්න වෙයිළු.
අධිකාරී - ඉතිං තමුසේ මොකද කිව්වේ..
රියදුරැ - මං මොනවා කියන්න ද සර් ?
අධිකාරී - කොන්ඳ කෙලින් වැඩකරනවා.. පිරිමියෙක් වගේ.. කෙල්ල අඩු වයසද ? , කෙල්ල තමුසෙට ආදරේද ?
රියදුරැ - වයස හරි සර්, ඕව් සර්...එයා මට ගොඩක් ආදරෙයි...
අධිකාරී - තමුසේ...?
රියදුරැ - ඔව් සර්... එයා මගේ පන... මං මගේ ජීවිතේටත් වැඩිය එයාට ආදරෙයි..
අධිකාරී - එහෙනම් මොන් මගුලද ඕයි තවත් බලාගෙන ඉනනේ.. තාත්තටයි අම්මටයි බමිබු ගහගන්න කියලා උස්සගෙන යනවා ඕයි... මොනාහරි උනොත් මං බලාගන්නම්.. තමුසෙට ඕනේ නම් මං ට්‍රාන්සර් එකකුත් හදලා දෙන්නම්.
රියදුරැ - කමක් නැද්ද සර්..
අධිකාරී - කමක් නැයැ ඕයි ... උස්සගෙන යනවා... තමුසේ වගේ පොලිස් කාරයෙක්..
දින කීපයකට පසු පොලිස් අධිකාරීවරයාගේ විසි දෙහැවිරිදි දියණිය අතුරැදහන් වී ඇති අතර ඇය විසින් ලියා තබන ලද ලිපියක සඳහන් තමා සිය පියා විසින් තම පෙම්වතාට දෙන ලද උපදෙස් මත මෙම තිරණය ගත් බවයි. අදාල පොලිස් අධිකාරීවරයා විශ්‍රම යනතෙක්ම රියදුරෙකු යොදා නොගන්නා ලදී.