Tuesday, August 23, 2011

කථන්දර මාමා සහ අනෙකුත් අයට කියමි.......

http://kathandaramama.blogspot.com/2011/08/blog-post_23.html යන ලිපියට කමෙන්ටුවක් දැමීමට උත්සහ කලද එය පෝස්ට් එකක් තරම් දිගු විය....

කථන්දර මාමා සහ අනෙකුත් අයට කියමි....අපි සිංහලය ඒකේ ආයිත් හදන්න දෙයක් නැත.. ඔය ජාතිකත්වය හරි අපූරැය....අම්මාට වගේම අපි තාමත් රටට ආදරේය.... 
තම භාෂාවෙන් පමනක් වැඩකරන රටවල් ඇත යන කථාව ඇත්තය.. අදටත් ජපානය වැඩ කරන්නේ ඔවුන්ගේ භාෂාවෙනි... චීනයේ නිපදවන සෑම භාණ්ඩයකම ඇත්තේ ඔවුන්ගේ භාෂාවය... විශ්වාස කරන්න ඇමරිකාවේ ඉංග්‍රීසි බැරි සුද්දෝ සිටිති.. ඇත්තමට උන් සුද්දෝ කිව්වට උන්ගේ සුදු පාට විතරය.. උන් ස්පාඥ්ඤ ජාතිකයන්ය..නමුත් මේ හැම රටකම එසේ වී ඇත්තේ ඒ රටේ භාෂවට අදාල තැන ඒ රටවල් තුල තිබීමය.

අද අපේ රටේ ඉංග්‍රීසිය බැරිනම් රැකියාවක් සොයා ගත නොහැකිය.. ඇතත් ඒ ඉංග්‍රීසි දන්නා එකෙකුට කඩේ යන රැකියාවකි. රජයේ සේවයට බඳවා ගැනීම සඳහා ඇති සියළු විභාග පැවැත්වෙන්නේ ඉංග්‍රීසියෙනි.. රජයේ කාරියාලයකට වැඩක් කරගන්නට ගියොත් ඉංග්‍රීසිය නැත්නම් කුඩම්මගේ සැළකිලිය. පෞද්ගලික අංශයේ රැකියා ගැන කථාකරන්නට දෙයක් නැත. ඉංග්‍රීසිය නැත්නම් පියොන් කමක්වත් ලැබෙන්නේ නැත..බොහොමයක් පෝරම ඇත්තේ ඉංග්‍රීසියෙන්.. එක් අයදුම්කරැවෙක් Sex:- යනුවෙන් අසා තිබු ප්‍රශ්ණයකට සතියට දෙපාරයි යනුවෙන් ලියාතිබූ බවක් අසා ඇත.

අනිත් කාරණය නම් ගෝලීයකරණයයි... ඉංග්‍රීසිය යනු ජාත්‍යන්තරව ගණුදෙනු කල හැකි එකම මාධ්‍යයි.. අපිට ඉංග්‍රීසිය අවශ්‍යය. එය පිළිගත යුතුය. නැත්නම් වන්නේ අපිට හුදකලා වන්නටය..මේ ගැන වැඩිදුර කථාකරන්නම අවශ්‍යය නැත. 

පරිඝනක ඉතිහාසය හා සසඳන කල අන්තර්ජාලය තුල සිංහල වෙබ් අඩවියක් ආරම්භවුයේ බො‍හෝ මෑතකදීය.. එයද ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්ත සිංහලට ආදරය කරන උන් නිසාය.. රජයේ බොහෝ වෙබ් අඩවි සිංහලෙන් තිබුනද ඒවා වැඩකරන්නේ නැත... සමහර ඒවායේ ඉංග්‍රීසියෙන් තියෙන තොරතුරැ හා සසඳන කල ඉන් කාලක් වත් සිංහලෙන් නැත.. සමහරක් ඒවා යාවත්කාලීන වන්නේම නැත. යම් නීති රීති ගැන සිංහලෙන් අධ්‍යනය කරන්නන්ට සිංහල පිටපතක් හොයාගන්නට ඉමහත් වෙහෙසක් දැරිය යුතුය. අන්තර්ජාලයේ ඇත්තේම නැති තරම්ය.. මේ හෙළ බසේ ප්‍රායෝගික තත්වයයි.

අර සුද්දා‍හෝ වෙන අයෙක් කියා ඇති සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයාකථාව සහතික ඇත්තය.. එදා සිටම අප කලේ ගොන් තකතීරැ වැඩය.. බණ්ඩාරණායක මහතා සිංහල රාජ්‍ය භාෂාව කර රජයේ පාසැල් පද්ධතියෙන් ඉංග්‍රීසිය අයින් කරන විට අපි හුරේ දැම්මේමු... ඉතිහාසගත ජයක් බණ්ඩාරනායක මහතාට ලබා දුන්නෙමු. එතුමා ගමේ දරැවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම අත්හිටුවා තම දරැවන්ට උගන්නන්න එංගලන්තයට, ප්‍රංශයට යැවීය.... අපි හරි ආඩම්බර වුයෙමු... අපේ රාජ්‍ය භාෂාව සිංහලය.. පසුකාලීනව එතුමාගේ දියණිය රටේ රාජ්‍ය නායිකාව විය... පුතා කථානායක විය.. අපිට කෙළවිය... එදා සිට අද දක්වා පත්වු බොහෝ නායකයන් ‍‍කලේ තම පැලැන්තිය රැකීමය.. පොඩි මිනිහෙකුට එන්නට දුන්නේම නැත... "කෝටු මිටියේ" කථාව අප වැනි මෝඩයින් දන්නේම නැත....පාලකයින් හැමදාම එක එක බෙදීම් ගෙනාවෝය.. අපි මරාගතිමු... ආගමට මරා ගතිමු... ජාතියට මරා ගතිමු...පක්සෙට මරාගතිමු... උන් අපිට පේන්න මරාගෙන එක මේසයේ වට වී කති බොති... අපි තාමත් මරාගන්නෙමු... හොඳම උදාහරණය පසුගියදා පැවති එජාප සත්‍යග්‍රහයයි... මිනිස්සු නායකයාට බැන්නේ පොන්නයා... කොළුකාරයා... කියාය... සංවිධායක කට්ටියට මාර ආතල්ය... ටික වෙලාවකින් කට්ටියක් කට්ටියක් රැස්වීමට ගියාය... රෝසි, බුද්ධික ඇතුළු කිපදෙනෙකුට කෙලවිය... ජකතාවට දෙකෙලවිය..

මං අර ඔබ හිටිය බස් එකේ හිටියානම් මං ඒ දෙමව්පියන් අනිවාර්යෙන්ම  සුභ  පතමි... ඒ මට බැරි වුන දේ ‍ඔවුන් තම දරැවන්ට දෙන නිසාය... අවංකවම මට හැකියාවක් තිබුනි නම් මං ඉතා සතුටින් මගේ දරැවන් ජාත්‍යන්තර පාසැලකට යවමි. මගේ දරැවන් යන්නේ රජයේ පාසැල් වලටය...  ඔවුනටද උගන්නනේ අපිට ඉගැන්වු ඉංග්‍රීසිය.... ඉංග්‍රීසි ගුරැවරිය පන්තියට එන විට අපි හැංගුනෙමු... කාළයත් සමග ලොකුවන විට අපිට ඉංග්‍රීසි එපා විය.. .එපා කරවන ලදී... පසුව අපි භාෂාප්‍රේමීන් වීමු.... ඉංග්‍රීසි කථාකරන්නවුන් ද්‍රෝහීන්ය..... ඉංග්‍රිසි උගන්වන්ට හදන දෙමව්පියන් ද්‍රෝහීන්ට උදව්නරන්නන්සේ දිස්විය.... "ජෙප්පෝ"ද එකල අපිට බොහෝ උදව් කලේය.... ඔවුන් පාසැල්වල උද්ගෝශණය කරන්න අපිව පාවිච්චි කලේය.... අපිද උන්ට ඕන විදියට පාවිච්චි උනෙමු... පළමුව මව්බිම දෙවනුව ඉගෙනුම කියා කෑගසන විට අපිට මාර ජොලිය... අපි නැවතත් හුරේ දැම්මෙමු... එවරද අපිටම කෙළවිය..

ඔබ ඔය කථාකරන දෙමළ රික්ෂෝකරැ සුළු චරිතයකි... උතුරේ යුද්ධය උග්‍රව පවතින කාල වල පවා ඔවුන් පාසැල් වැසුවේ නැත... යාපනය විශ්ව විද්‍යාලය වැසුවේ නැත... ඉල්ලීම් ඉල්ලා උද්ගෝෂණය කර විශ්ව විද්‍යාලය වසා දමන්නට වැඩ කලේ නැත. කොළඹින් ගොස් යාපනය පුස්ථකාලය ගිණි තියන තුරැ එය ඔවුනගේ දැනුමේ කේන්ද්‍රස්ථානය විය...ජනවර්ගයක් විනාශ කිරීමේ හොඳම ක්‍රමය අධ්‍යාපනික වශයෙන් ඔවුන්ව අඩපන කිරීම බව දේශපාලකයින් හොඳින් වටහා ගෙන ඇත..

ඔබගේ ඔය ජාත්‍යාලය, භාෂාවට වන හානිය පිළිබඳ ඇති කැක්කුම ඉතා අගය කරමි. මා තුලද ඔබට වැනිම කැක්කුමක් ඇත... දුකට කාරනය වන්නේ ඔය කැක්කුම කිසිම ආකාරයකියන් රටට වැඩදායි කරැණු සඳහා ස‍හය නොවීමයි... නිදහස ලැබී  වසර 50 ක් ගෙවුනද අප තාම ඇල්පෙනිත්තක් වත් හදන්නේ නැත... හැදුවත් ඒ හැදීමක් නොව එකලස් කිරීමකි... ෆඑම් නාලිකා ගැන මා කථා කරන්නට කැමති නැත....කඩ කාරයා විකුනන්නේ විකිනෙන දෙයකි..... මිනිස්සු ඉල්ලන දෙයකි.... මිනිස්සුන්ට අහිතකර දේ විකුනන්නංට එරෙහිව ක්‍රියාකරන යාංත්‍රනයක් අප රට තුල ඇති බව දනිමි..

ඔබ හරිය සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයාකථාව සහතික ඇත්තය...

Sunday, August 21, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 3 (ගුටි නොකා සිටීමේ අයිතිය)

අද කථාකරන්න යන අයිතිය සම්බන්ධයෙන් නම් ගොඩාක් කරැණු තියෙයි ඔයාලටත් කියන්න..මේ අයිතිය අපේ ජීවිතේට හරිම වැදගත්. මේ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න නම් මේ ගැන වැඩි වශයෙන් සාකඡ්ඡා කරන්න ඕනේ. බොහොමයක් අයිතිවාසිකම් ගැන පැහැදිලි වෙන්නේ ඒවා සාකඡ්ඡා කිරීමෙන්ම තමයි.

අද කියන්න යන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 11 වන වගන්තිය ගැනයි. ‍ඉතා සරළවම කිව්වොත් “ගුටි නොකාසිටීමේ” අයිතිය ගැනයි. අපි බලමු මේ 11 වැනි වගන්තිය.. 11 වැනි වගන්තිය ‍ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ දැක්වෙන්නේ මේ විදියට..

“කිසිම තැනැත්තෙකු වධ හිංසා වලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැළකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකල යුත්තේය.” 

වධ හිංසාව කායික හිංසනය සහ මානසික හිංසනය වශයෙන් ප්‍රධාන කොටස් 2 කට බෙදිය හැකිය. අද ශ්‍රී ලංකාව තුල මේ දෙයාකාරයෙන්ම වධ හිංසාව සිද්ධවෙනවා. මේ වගන්තිය දැක්ක ගමන් අපිට මතකයට එන්නේ කවුද ? ....ඔව්..... ඔබ හරි...පොලිසිය... අද අපේ රටේ පොලිසියත් වධ හිංසාවත් ඒ තරමටම සම්බන්ධයි. අනිත් ආයතනත් නැතුව නෙමෙයි. ඒත් මේ  සම්බන්ධයෙන් වැඩියෙන්ම චෝදනා එල්ලවෙන්නේ පොලිසියට. ඒකට එක් හේතුවක් තමයි පොලිසිය වැඩිවශයෙන් සාමාන්‍ය ජනතාවත් එක්ක ගැටීම. අනිත් කාරනය තමයි දැනුවත්භාවය සහ පුහුණුව අඩුකම. මෙතනදී අපිට තව කාරනයක් බලන්න වෙනවා. ඒ තමයි මානසික හිංසනය ගැන. අපි ගනං නොගත්තට සමහරවිට අපි නොදන්නවා වුනාට අපි බොහෝ තැන්වලදී මානසික හිංසනයට ලක්වෙනවා. ඉතින් මේක ගැනත් අපි ටිකක් වැඩියෙන් කථා කරමු. අපි ඉහත වගන්තිය විග්‍රහ කරගමු.

මෙහි දී වධ හිංසාව කියන වචනය ගත්තොත් කිසිම තැනැත්තෙකුට ශාරීරිකව හෝ මානසිකව පීඩා අතිකරන ඕනෑම ක්‍රියාවක් වධහිංසාවක් කියන්න පුලුවන්. 

මොනාද මේ කෲර වධ හිංසා කියන්නේ... ඕන තරම් කියන්න පුලුවන්. ලංකාවේ හැම ජාතියකම වධහිංසාවන් ගැන ඇහිලා තියනවා. පහරදීමේ සිට නියපොතු ගලවන ඒවා.. අයන් වලින් පුච්චන ඒවා.. ඇස්වලට මිරිස් කුඩු දාන ඒවා... ඔයවගේ දේවල් ඕන තරම් ලංකාවේ වෙලා තියෙනවා. මේ හැම එකක්ම මේ අපි තියන කෲර වධහිංසාවන්ට අයත්වෙනවා. 

                    අපි පොලිසිට මේ සම්බන්ධ වැඩමුළු පවත්වනකොට මේ මාතෘකාව විවාදයට බඳුන්වෙනවා හැම අවස්ථාවකදිම. බොහෝවිට පොලිසිය කියන්නේ පහරදෙන්නේ ඇත්ත දැනගන්න කියලා. ඒත් ඒ ක්‍රමය වැරදියි. කිසිම අවස්ථාවක පාපොච්චාරනයක් සාක්ෂියක් විදියට භාවිතාකරන්න බැහැ. ඒක බොහොම පැහැදිලිව සාක්ෂි ආඥා පනතින් දක්වලා තියනවා.

1995 අංක 14 දරණ සාක්‍ෂි ආඥා පනත

25 වන වගන්තිය
"පොලිස් නිලධාරියෙකුට කරන ලද වරද කියා පැමක් චෝදනා ලැබ සිටින්නකුට විරුද්ධව ඔප්පු නොකල යුතුය."ඉන් අත් අඩංගුවට පත් පුද්ගලයෙකුට බලපැම් කර හෝ වධ හිංසා කර හෝ ප්‍රකාශ ලබා ගැනිම වලක්වා ඇත.


26(1) උප වගන්තිය
"පොලිස් නිලධාරියෙකුගේ ආරක්‍ෂාව යටතේ සිටින කාලය තුල යම් තැනැත්තකු විසින් කරනු ලබන වරද කියා පෑම ඔහුට විරුද්ධව ඔප්පු කල නොහැකිය." මෙහිදි මහේස්ත්‍රාත් ඉදිරියේ කරනු ලබන වරද කියා පෑමක් පමනක් ඔහුට විරුද්ධව ඔප්පු කිරිමේ හැකියාව ලබා දී ඇත්තේ ද ඔහුට වධ හිංසා කර ප්‍රකාශ ලබා ගැනීම වැලැක්වීම සදහාය.

මේ නිසා කොයිතරම් වධදීලා ප්‍රකාශ සටහන් තරගත්තත් ඒ ප්‍රකාශ අදාව පුද්ගලයට විරැද්ධව පාවිච්චි කරන්න බැහැ.
මේක කිව්වාම පොලිස් නිළධාරීන්ගේ අනිත් තර්කය තමයි “ඒ වුනාට අපිට නඩු භාණ්ඩ හොයාගන්න එහෙමත් නැත්නම් ඒවා තියන තැන් දැනගන්න පුළුවන්නේ” කියන එක. හරි කථාව ඇත්තනේ. මේක හුඟක්ම බලපාන්නේ හොරකම යටතනේ. හොඳයි අපි දැනට ඒක එහෙම තියමු. හැබැයි පොලිසිය පහරදෙන්නේ හොරැන්ට විතරමද කියන එකේ ගැටළුවක් තියනවානේ.  මේ උදාහරණය බලන්නකෝ.


මේ සිද්ධිය මිනීමැරැමකට සම්බන්ධ එකක්. පොලිසියට ලැබුනු තොරතුරකට අනුව මිනිමැරැමට සම්බන්ධව මේ පුද්ගලයව අත්අඩංගුවට ගත්ත. මේ පුද්ගලයට පහරදීලා විවිධ වධ දීලා "උඹ නේද මැරැවේ ? උඹ මේකට සම්බන්ධයි ‍නේද ? කියන ප්‍රශ්ණ අහලා තියෙන්නේ.  එක දවසක් පොලිසියේ තියාගෙන පහරදීලා. පස්සේ තමයි පොලිසිය අදාල පුද්ගලයා මොහු නෙමෙයි කියලා දැනගෙන තියෙන්නේ. එතකොම ඔහුට වෙන්න ඕන ටික වෙලා ඉවරයි. මේ සිද්ධිය තමයි දැනට ලංකාවේ වැඩිම වන්දියක් ගෙවන්න නියම වුනු මූලික අයිතිවාසිකම් පෙත්සම. පොඩ්ඩක් ඉන්න තාම ඉවර නැහැ. මේ සිද්ධියට අදාල ‍ජෙරල්ඩ් මර්වින් පෙරේරා මහතා ශ්‍රි ලංකාවේ මුලික අයිතිවාසිකම් ක්ෂේත්‍රයේ ලොකු පෙරලියක් කලා. අවසානයේ වත්තල පොලිසියේ නිළධාරීන්ගේ කොන්ත්‍රාත්තුවකට ඒකාලේ රාගම (මට මතක හැටියට රංග වගේ නමක්) පැත්තේ හිටපු චන්ඩියෙක් ගෙන් වෙඩි කෑවා. පස්සේ මේ සිද්ධිය මතුවේගන එනකොට මේ චන්ඩියා පොලිසියෙන් වෙඩි කාලා මලා. අර සිද්ධිය එහෙම්ම යට ගියා.
මේ ලිපිය ඉතිරිය ඉක්මනටම දෙන්නම්. අවසානයේ මෙන්න මේ වගේ සටහනකුත් තියලම යන්න හිතුනා.

එදා ජර්මනියේ නාසිවාදීහු..
පලමුව ඝාතනය කලේ යුදෙව්වෝය..
මම නිහඬව සිටියෙමි..
මන්ද මම යුදෙව්වෙකු නොවන නිසාය..
ඉන්පසු ඔවුන් කොමියුනිස්ට්වාදීහු සොයා පැමිනියහ..
මා කුමක් කියම්ද..
මා කොමියුනිස්ට්වාදියෙකු නොවන නිසා..
ඊලඟට ඔවුන් සොයා පැමිනියේ වෘත්තීය සංගම් නියෝජිතයන්ය..
මා නිකං බලා සිටියෙමි..
මා වෘත්තීය සමිතියකට අයිති නැහැ නොවැ..
ඉන්පසු ඔවුන් කතෝලිකයන් සොයා පැමිනියේය..
මා බිය නොවුයේ මා පොතෙස්තන්ත්‍රයෙකු වූ නිසාය..
ඔවුන් අවසානයේදී..
මා සොයා පැමිනියේය...
එවිම මා‍ වෙනුවෙන් කථාකරන්නට කිසිවෙකු සිටියේ නැත..

 (මාටින් තිමලෝර් පියතුමා - ජර්මනියේ සිරගෙදරකදී)

Monday, August 15, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 2


ඔබට මතකයි නේ පළමු ලිපියෙන් අපි මානව හිමිකම් සම්බන්ධයන් කථාකරන කොට භාවිතා කරන වචන කීපයක තේරැම දැනගත්තා... ඒක බැළුවේ නැත්නම් ඒක බලලම එන එක හොඳයි... මේ ලිපියේ පටන් අපි කෙලින්ම වැ‍ඩේට බහින්න යන්නේ.. හැබැයි මෙතනදී මං කෙලින්ම අපේ රටේ අපිට බලපාන කරැණු ගැන තමයි කථා කරන්නේ. මං කැමතියි කියවන අයගෙන් පොඩි ඉල්ලීමක් කරන්න. මේ දේවල් ගැන සංවාදයක් ගොඩනගන්න. තමන්ගේ අත්දැකීම් ගැටළු බෙදාගන්න වේදිකාවක් කරගන්න කියලා.  එහෙමනම් අපි දැන් වැඩට බහිමු. 

අපි බලමු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අපිට තියෙන අයිතිවාසිකම් මොනවාද ? ඒවා දිනාගතහැකි එහෙමත් නැත්නම් ආරක්ෂාකරගත හැක්කේ කොහොමද කියලා. 

ලොකයේ මානව අයිතිවාසිකම් සමිබන්ධ සම්මුතීන්, ප්‍රඥ්ඥප්ති, ගිවිසුම් කොයිතරම් තිබුනත් අපේ රට ඒවාට එකඟව අත්සන් කර ඇතත් අපේ රටේ නීතිමය රාමුවට ඒවා අදාල වන්නේ නැත. (ඔය හේතුව හින්ඳා තමයි පහුගිය කාලේ එක එක අය ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානයට එහෙම පැමිණිලි කරන්න ගියේ). 

අපේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් වඩාත්ම වැදගත් ‍ලේඛණය වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවයි. එහි 3 වන පරිඡ්ඡේදයේ 10 වන වගන්තියේ සිට 14 වන වගන්තිය දක්වා කොටස “මූලික අයිතිවාසිකම්” ලෙස ශ්‍රී ලාංකික පුරවැසියෙකුට අදාල වෙන අයිතිවාසිම් දක්වා ඇත.  

මෙහි මුලික අයිතිවාසිකම් 13 ක් සහන්ව ඇති අතර 15 වැනි වගන්තියෙන් මෙම අයිතිවාසිකම් හී සීමාවන්ද 16 වන වගන්තියෙන් ලිඛිත හෝ ලිඛිත නොවන නීතීන්හී බලපෑමද, 17 වන වගන්තියෙන් විධායක ක්‍රියා මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයන්ට ප්‍රතිකර්මද, 126 වන වගන්තියෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයන් මුලික අයිතිවාසිනම් පිළිබඳව අධිකරණ බලය සහ ඒ බලය ක්‍රියාත්මක කිරීමද පෙන්වා දෙනු ලැබේ. හරියටම තේරැනේ නැහැ වගේ නම් ඒච්චරම ඒ ගැන හිතන්න එපා. ඒකේ හැටි එහෙම තමයි. මේ ලිපි පෙළ මගින් ඔය හැම දෙයක්ම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. 

අපි මුලින්ම ගමු 10 වැනි වගන්තිය.. 10 වැනි වගන්තිය ‍ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ දැක්වෙන්නේ මේ විදියට..

“සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳගැනීමේ නිදහසද, ලබ්දියක්‍ හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතී‍මේ නිදහසටද, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය”


අපි මේ වගන්‍තිය කොටසින් කොටස සරළව තේරැම් ගන්න උත්සහ කරමු. මේකේ පළමු කොටස ගත්තොත් මේකෙන් කියන්නේ ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ආගමක් අදහන්න එහෙමත් මතයක් දරන්න අයිතියක් තියෙනවා කි‍යන එකයි. ඒක ලෝකය පිළිගත්, ජනප්‍රිය එකක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, පුද්ගලිකව විශ්වාස කරන මතයක් වෙන්නත් පුළුවන්.  ඒ විශ්වාසය අන් ආගමකට‍, මතයකට, පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හානියක් නොවෙනවා නම් ඒ සඳහා සීමාවන් පනවන්න බැරි බව තමයි මෙයින් කියන්නේ. සරළවම කිව්වොත් හිතන්නකෝ මනුස්සයෙකුට හිතෙනවා කියලා ප්‍රසිද්ධ ස්ථානයක ඔළුවෙන් හිටගෙන හිටියාම විමුක්තිය ලබාගන්න පුළුවන් කියලා. ඒකේ කිසිම වරදක් නැහැ. ඒක ඒ මනුස්සයගේ අයිතිය. හැබැයි ඔහුට සරමක් ඇඳගෙන ඔය වැඩේ කරන්න බැහැ.

මේ සම්බන්ධයෙන් අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවස්ථා ගනනාවකදී විවිධ නඩු තීන්දු දීලා තියෙනවා. මීට ටික කාලෙකට උඩදී එක්තරා නඩු තීන්දුවක් දුන්නා විමලගු‍ණේ එදිරිව ස්ථානාධිපති වාරියපොළ පොලිසිය යන නඩුවෙදි. සිද්ධිය කෙටියෙන් කියන්නම්. ඔය විමලගුණේ කියන පුද්ගලයා වාරියපොළ පැත්තේ “විමුක්තියට යන මග” වගේ Theme එකක් දාගෙන භාවනා මධ්‍යස්ථානයක් පවත්වගෙන ගිහින් තියෙනවා. හැබැයි ඉතින් මේකෙන් කාටවත් කරදරයක් තිබිලා නැහැ. යන අය යනවා. හැබැයි මේ ගැන ඒ අවට තියෙන පංසලක ලොකු හාමුදුරැවන්ට ආරංචි වුනාට පස්සේ උන්වහන්සේ මේ ගැන පොලිසියට දැනුම්දීලා තියෙනවා. මේ ගැන විභාග කරන්න ගිය ‍ඕඅයිසී මහත්තයා ගියාළු අර කියපු පුද්ගලයගේ ස්ථානයට. පුද්ගලයා හිටියේ නැහැ. මේ මහත්තයා මොකද කලේ අර ස්ථනයේ තිබුන මඩුව පෙරලලා දාලා, එතන තිබුන අනෙකුත් බඩු භාණ්ඩ ටික පොලිසියට අරගෙන ඇවිල්ලා. ඔන්න ඉතිං අර පුද්ගලයා නැවත තමන්ගේ ස්ථානයට යනකොට වෙලා තියෙන දේ දැකලා කෙලින්ම ගියාළු පොලිසියට. ඕඅයිසී මහත්තයා හම්බවෙලා විස්තර අහැව්වළු. ඕඅයිසී මහත්තයා මේ මනුස්සයට කිව්වළු මෙහෙම. “ මේ උන්නැහේ අපි ඔය වගේ ආගමක් ඇදහීමක් ගැන අහලා නැහැ.. මේ වැඩේ හරියන්නේ නැහැ.. මෙහෙම තමුන්ට ඕන ඕන විදියට ආගම් ඇතිකරන්න බැහැ. කරැණාකරලා ආපු අතක් බලාගෙන යන්න කියලා.” මේ පුද්ගලයා මේ සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරා තමන්ගේ මුලික අයිතිවාසිතම් උල්ලංඝනය වුනා කියලා. පෙත්සම විභාගයට ගත්ත ගරැ ශ්‍රේෂ්ඨාධිකරණය  තීරණය කලා විමලගුණේගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවටත් ඒ සඳහා වන්දි වශයෙන් රැ 25,000 ක් අගතියට පත් පාර්ශවයට ගෙවන්න සිද්ධ උනා ඕඅයි සී මහත්තයට. 

දැන් අපි ‍ඉහත වගන්තියේ අනිත් කොටස ගමු. සිතීමේ සහ හෘදය සාක්ෂියේ නිදහස කියන කොටස. ඹබ හිතන විදියට මේවා සීමාකරන්න පුළුවන්ද? උදාහරණයක් ගමු... මතකද එක්තරා කාලෙකදී විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ කණ්ඩායමක් ඉල්ලීම් කලා තමන්ට හෘදය සාක්ෂියට එකඟව ඡන්දය පාවිචිචි කරන්න අවස්ථාව දෙන්න කියලා (ඒ කියන්නේ එච්චර කල් ඒ උන්නැහේලා ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ ඕකට එකඟව නෙමෙයිද කියන එක වෙනම ප්‍රශ්ණයක්) ඒකෙන් කියවෙන්නේ කිසියම් තීරණයකදී නායකත්වය හෝ යම් කණ්ඩායමක් ගන්න තීරනයට අත උස්සනවා වෙනුවට තමන්ගේ හිතට එකඟව ඡන්දය පාවිච්චි  අවස්ථාව දෙන්න කියලා. 

මේ වගන්තිය සම්බන්ධයෙන් නිශ්චිත අර්ථකතනයක් නැති වුනත් විවිධ අවස්ථාවන්හීදී ගරැ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ ඒ අවස්ථාවන්හී දී මෙම වගන්තිය සඳහා අර්ථකතන ලබා දී තියෙනවා. මේ මෙම 10 වන වගන්තිය උල්ලංඝනය සම්බන්ධයෙන් ‍ගරැ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු වෙච්ච පෙත්සම් කීපයක් සම්බන්ධයෙන් පුවත් වර්ථා කීපයක් මේ ලිපියට අමුනලා තියෙනවා.

Wednesday, August 10, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 1

මං මීට කලිනුත් කියලා තියෙනවානේ මං මානව හිමිකම් සම්බන්ධ ආයතනයක කාලයක් වැඩ කලා කියලා. ඒක බලපු කීප දෙනෙක්ම කිව්වා මානව හිම්කම් සම්බන්ධව දැනුවත් කරන්න යමක් ලියන්න කියලා.  ඔන්න ඉතිං අද ඉඳලා ලිපි කීපයක් ලියන්න බලා පොරොත්තු වෙනවා මානව හිමිකම් සම්බන්ධයෙන්. 

මේ මානව අයිතීන් සම්බන්ධයෙන් කථාකරනකොට යම් යම් වචන එහෙමත් නැත්නම් භාවිතා කරන යෙදුම්වල තේරැම් දැනගෙන සිටීම වැදගත්. බලමු මොනාද මේ වචන / යෙදුම් කියලා. 

මානව හිමිකම් යනු කුමක් ද? බොහොම සරළව කිව්වොත් මානව හිමිකම් එහෙමත් නැත්නම් මානව අයිතිවාසිකම් කියන්නේ මානවයෙකු වීම එහෙමත් නැත්නම් මේ ලෝකෙට ඉපදීම පදනම කරගෙන අපට උරැම වෙන හිමිකම්. උදාහරණ විදියට ගත්තොත් ඉපදීමේ, හුස්ම ගැනීමේ සිට මරණය දක්වා ගතකරන්නාවු කාළය තුල නිදහස්ව, ගරැත්වයකින් ජීවත් වීම සඳහා ප්‍රමිතීන් මානව හිමිකම් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

මේක ඉතාමත් පුළුල් අදහසක්. මේ තුලට ඕනෑම ක්‍රියාවලියක්, එහෙමත් නැත්නම් ඕනෑම අවශ්‍යතාවයක් අතුලත් කරන්න පුළුවන්. 

ඔව්..... මේ මානව හිමිකම් හී මුල මානව අවශ්‍යතා තමයි. කොහොමද අවශ්‍යතා හිමිකම් වෙන්නේ. අවශ්‍යතාවය හිමිකමක් වෙන්න බලපාන්නේ අවශ්‍යතාවය ඉටුකරගැනීමට එහෙමත් නැත්නම් ඉටුකරදීමට තියෙන බැඳිම, තවත් විදියකට කිව්වොත් වගකීම මතයි. මොකද උනේ ? ටිකක් අඤ්ඤකොරොස් වගේද ? සරළව බලමු.  . 

1.       අපි කර්යාලයක් ගමු. අපිට ඕනේ නිවාඩුවක් ගන්න. අපි කාගෙන්ද ඉල්ලන්නේ. පිරිස් කළමණාකරැගෙන්. ඇයි ඒ. කාර්යාලයේ තියෙන නීති රීති අනුව ඒ වගකීම පැවරිලා තියෙන්නේ පිරිස් කළමණාකරැට වීම.
2.       ඔබගේ බිරිඳට සාරියක් ගන්න අවශ්‍යයි. කාගෙන්ද මුදල් ඉල්ලන්නේ. ඔබගෙන්. ඒ ඔබ සහ බිරිඳ අතර තියෙන නිතීමය සහ අන්න්‍යෝය බැඳීම මත.
3.       උපාධිධාරීන්ට රැකියා අවශ්‍යයි. කාගෙන්ද ඉල්ලන්නේ. ආණ්ඩුවෙන්. ඒක ඔවුන් දුන්න පොරොන්දු වෙන්න පුළුවන්. එහෙමත් නැනම් යම් නීතිමය රාමුවක් යටතට වැටෙන්නත් පුළුවන්. (හැබැයි මං අහලානම් නැහැ කිසිම උද්ගෝශණයක දී කියනවා අහවල් නීතිය නිසා රැකියා ලබාදියව් කියලා.)

පොඩි සමීකරණයකින් කිව්වොත්..
අවශ්‍යතාවය + ඉටුකිරීමට ඇති වගකීම = අයිතිවාසිකම්

ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අපි තවත් පැත්තකින් බලමු. කලින් අපි කිව්ව "ඉටුකිරීමට ඇති වගකීම" එන්නේ එහෙමත් නැත්නම් ඇතිවෙන්නේ කොහොමද කියලා. මේ අයිතිවාසිකම් ලැබෙන එහෙමත් නැත්නම් ඉටුකිරීමේ වගකීම පැවරෙන ක්‍රම තුනක් අපිට හඳුන්වන් පුළුවන්. 

1.       පාරම්පරිකව  (කාලයක් සිට පැවතීම)
බලමු කොහොමද පාරම්පරිකව අයිතිවාසිකම් අපට ලබෙන්නේ. සරළව කිව්වොත් අපේ බනියලැ (දකු‍ණේ) පලාතේ මහ ගේ අයිතියේ උරැමය තියෙන්නේ පවුලේ බාලයටනේ. ඒක නොලැබුනොත් ඒ අයිතිය ඉල්ලලා සටන් කිරීමේ අයිතිය ඇතිවෙන්නේ පාරම්පරිකව අපට ඒ අයිතිය ලැබෙන නිසයි.
මේවා කොහේවත් නීති විදියට සඳහනක් නැති වුනත් අයිතියක් විදියට පිලිගන්නවා.

2.       නීති මගින්
කෙලින්ම නීතිමය වශයෙන් පැවරෙන එහෙමත් නැත්නම් ලැබෙන අයිතිවාසිකම්. උදහරණයක් විදියට ගත්තොත් අපි වාහනයක් මිලට ගන්නවා. එතැනදී සිදුවෙන ගණුදෙනුව මත අපිට ඒ වාහනයේ පරම අයිතිය ලැබෙනවා. ඔය වගේ නීතිමය වශයෙන් තියෙන බැඳීම් මගිනුත් අපිට අයිතිවාසිකම් ලැබෙනවා. සමහර අවස්ථාවලදී මුලින් උගේ පවුල පස්සේ මගේ පවුල‍ වෙන්නෙත් ඔය කියන නීතිමය පැවරීම මත තමයි.
3.       එකඟතා/ ගිවිසුම් මගින්
දෙදෙනෙකු එහෙමත් නැත්නම් දෙපාර්ශවයක් විසින් ඇති කරගන්නා එකඟත්වයක් ගිවිසුමක් මගිනුත් අපිට අයිතිවාසිකම් ලැබෙනවා.  උදාහරණයකි විදියට අපි ගමු ලීසින් පයසුකමකට වාහනයක් මිලට ගැනීමක්. වාහනයේ පරම අයිතිය නැතිවුනත් ආයතනය සහ අපි අතර ඇති කරගන්නා ගිවිසුම මගින් වාහනයේ අයිතිය අපට ලැබෙනවා.
තවත් පැහැදිලි කලොත් ආණ්ඩුව කියනවා අපිට ඡන්දේ දුන්නොත් අපි උපාධිධාරීන් අච්චරකට රැකියා දෙනවා කියලා. උපාධිධාරීන් එකඟවෙලා ඡන්දේ ‍දීලා ආණ්ඩුව පත්කරනවා. ආණ්ඩුව එකඟත්වමට අනුව රැකියා දීම පැහැර හරිනකොට උපාධිධාරීන් තමන්ගේ අයිතිය ඉල්ලා පාරට බහිනවා.

තාමත් අපි වටේ යන්නේ, තාම හරියටම වැඩේට බැස්සේ නැහැ. තව කාරනා කිපයක් තියෙනවා, පොඩ්ඩක් දැනගෙනම යමු. මානව අයිතිවාසිකම් ගැන කථාකරනකොට, ඉටුකිරීමේ ප්‍රධානතම වගකීම පැවරෙන්නේ රජය. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව දැනගන්න කලින් අපි බලමු රජය එහෙමත් නැත්නම් රාජ්‍යක් කියන්නේ මොකක්ද කියලා. අපි රාජ්‍ය සංකල්පය කියන්නේ මොකක්ද කියලා බලමු. රාජ්‍යයක් බිහිවෙන්න ප්‍රධාන කාරනා හතරක් සම්පුර්ණ වෙන්න ඕනේ.

1.       ජනතාව
2.       පාලන තන්ත්‍රයක්
3.       දේශසීමාවන්
4.       පිළිගැනිමක්.

මේ කාරණාව ගැන වැඩිය කථානොකර අපි බලමු අයිතිවාසිකම් ඉටුකිරීමේ වගකීම කොහොමද රජයකට එහෙමත් නැත්නම් ආණ්ඩුවකට පැවරෙන්නේ කියලා. මේක වෙන්න ප්‍රධානතම හේතුව වෙන්නේ රජය සහ ජනතාව අතර පවතින්නා වු ගිවිසුම එහෙම නැත්තන් එකඟතාවය. දැන් බලන්න එපා අපි කවදද රජයන් එක්ක ගිවිසුම ගැහැව්වේ කියලා. 

මේක ගැන කථාකරන්න ටිකක් මානව ඉතිහාසය ගැනත් කථාකරන්න වෙනවා. සරළවම කිව්වොත් මානව පරිනාමයේ දී නායකයන් පත්කරගන්න එහෙමත් නැත්නම් බිහිවෙන්න හේතු වුනේ ජනගහනය වැඩිවීමත් වැඩිවෙන ජනගහනයට අනුව අවශ්‍යතා අසීමිත වීමත්, සම්පත් සීමාවීමත් මත අසීමිත අවශ්‍යතා සාධාරනව බෙදීමේ ඇති අවශ්‍යතාවත් මතයි.  මෙහිදී බොහෝවිට ප්‍රබලයා (ශාරීරික වශයෙන්) පාලකයා විදියට පත්වුනා. මෙහිදී ඇතිකරගන්නා එකඟතාවය වුනේ “අපි නුඹව අපේ පාලකයා කරනවා... නුඹ අපිව අරක්ෂාකර අපේ අවශ්‍යතා ඉටුකරදිය යුතුයි” වැනි සංකල්පයක් නැත්නම් එකඟත්වයක්. 

මෙය වර්ධනය ‍වීමෙන් අද රජය සහ ජනතාව අතර වන එකඟතාවය බිහිවෙලා තියෙන්නේ. එය නම් ජනතාව විසින් පාලකයාට විධායකය, ව්‍යවස්ථාධායකය සහ අධිකරණය බාරදෙනු ලබන අතර පාලකයා  විසින් ජනතාවට ඡන්ද බලය සහ අයිතිවාසිකම් ලබා දියයුතුය කියන එකඟතාව ඇතිවෙන්නේ. මේ අතර ඇතිකරගන්නා එතඟත්වය  “ව්‍යංග භාරය” කියලත් හඳුන්වනවා.

ඔන්න අපි ‍බොහොම ‍කෙටියෙන් සරළව ‍මානව අයිතිවාසිකම් ගැන කථාකරන්න අවශ්‍ය පසුබිම සකස් කරගත්තා. අපි බලමු මේ මානව අයිතීන් අපිට එහෙමත් නැ‍තනම් අපේ රටේ ජනතාවට බලපාන අකාරය මීලඟ ලිපියෙන්.

Sunday, August 7, 2011

මා මළ පසු..........


ඊයේ රෑ අපුරැ හීනයක් දැක්කා... මගේ මළගම.... මං වීශ්වාස කරන විදියට හීන කියන්නේ ඇවිදින යටි හිත. ඒ හීනෙත් එක්ක ඇතිවුන හැගීමත් එක්ක ආපු කවි සිතුවිල්ලක්.... 


මා මළ පසු කටයුතු  කලයුතු කෙලෙස
කල යුතු නොකල යුතු දෑ වෙන වෙන විගස
කවි කර කියමි සැමටම දැනගනු පිණිස
මෙය පිළ පදිනු  මසිතට ගෙන එයි සතොස

මා මළ බව දැනගත්පසු පළමුකොට
ගලවා දෙනු දෙ‍නෙත් නෙත් අඳ දරැවෙකුට
වකුගඩු දෙන්න හැකිනම් පෙර නවතින්ට
ගලවා දෙනු එපා  කිසිවිට පැකිලෙන්ට

වලළන, පුච්චන්න වගේ වැඩ කරනු එපා
එක් දිනකට වැඩිය නිවසෙහි තබනු එපා
වෙද විදුහලට දෙනු සිත කිසි දුකාක් නොපා
වෙදැදුරැ සිසුන් ඉන් දැනුමක් ලබති කපා 

කොඩි වැල් මල් වඩම් බොරැ සැරසිළි අන්දා
නොකරනු මගේ මළ කඳට බොරැවට නින්දා
පොල් තෙල් පහන පමනක් හිස ලඟ රන්දා,
තබනු ජීවිතේ අනියත බව හිතමින් දා

ඇත් දල වටා පත් මුතු කුඩ නෙක පාට
නැතුවට කමක් නැහැ බොරැ ආටෝපයට
"අඩියක්" දෙකක් කීප දෙනෙක් ගැහුවාට
"බුරැවා" ගහන්නට ඉඩ නොම දෙනු රෑට

හත් දොහෙ දානේ පංසලකට ගෙනියන්න
ගිහි ආරාධනා කිසිවෙකුටත් නොකරන්න
එනමුත් ඕන කෙනෙකුට හැක එක්වෙන්න
බුදු ගුණ ගායනා කර මට පිං දෙන්න

ඇති විට යාන වාහන රැකියා ජයට
සිටි අය  හැර ගියේ කිසිවක් නැති දාට
අවොත් මරණයට මා හට සමු‍දෙන්ට
ගෙනියන දෙයක් නැත මා, එය තේරැම් ගන්ට

පත්තර දැන්වීම්, කවි කොළ, ගුණ කථන
කිසිවක් එපා මළ මිණියට බොරැ සොබන
මෙහි ඇති දැන්වීම අරගෙන මගේ මරණ
අලවනු ගම අවට ඇති එය දැකගනු පිනිස

ජිවිතේ අනියතයි එය තේරැම් ගතිමි
කාලය ලඟයි යන්නට වන බව දනිමී
නැතිවන කිසි දෙයින් කම්පා නොවී ඉමී
කවියෙක් වෙලා යලි ඉපදෙන්නට පතමී