Thursday, June 16, 2011

මාතෘකාවක් නැත......

පොලිස් රෝහල,
නාරාහේන්පිට.

මද්දු නංගිට  ලියමි,

දැන් උඹට කොහොමද? මට නම් ඒ හැටි සුවයක් නැහැ තාම. දොස්තරලා කියනවා කළු ඉංගිරියාව පුපුරලා කියලා. ඒක හොඳටම සනීප වෙන්න තව අවුරැද්දක්වත් යයිලු. සමහර විට ඊටත් වඩා වැඩි කාලයක්. මට අවුරැද්දක කාළයකට පඩි රහිත නිවාඩු අනුමත කලා කියලා ඕඅයිසී මහත්තයා පණිවිඩයක් එවලා තිබුනා.
උඹගේ කකුල තාම රිදෙනවද ? ලොක්කයියා උඹව බලලා කෙලින්ම ආවේ මාව බලන්න. ඌ මට විස්තරේ කිව්වා. උඹගෙත් දනිස් පොල්කට්ට පුපුරලලු. මාස හය හතක් යනකම් ඉතින් මැසින් පාගලා ඉවරයි තියලා කිවිවා. උඹලටත් කටවල් පුකවල් වහගෙන ඉන්න බැහැනේ. ගියා දෑවැද්ද ආරස්සා කරගන්න. දැන් හොදෙයි වෙච්ච දේ.
උඹලාගේ එකෙක් ගහපු  ගල්පාර කෙලින්ම වැදුනේ වම් ඇහැට. මාව තුංකුදුරැස් වෙලා ගියා බං. මට ආරංචියි උඹට ගහපු එක ටීවී එකේ ගියාට පස්සේ ඒ ගහපු එකාව ඇල්ලුවලු. බලනකොට ඌ අල්ලපු ගමේ එකෙක්. මාත් එක්කමයි ගාමාරක්ෂකේට ට්‍රේනින් ගියේ. ඌ මෙලෝ මගුලක් දන්නේ නැහැලු. දවස් තුනක් ඕඅයිසී මහත්තයාගේ වත්ත මුරකරලා ඇවිත් නිදියං ඉදලා තියෙන්නේ.  එක පාරටම සාජන් මහත්තයෙක් බැරැක්කෙට ඇවිල්ලා කෑගැහැව්වලු.. පොන්න වේ... ගේ පුතාලා නිදිවදිනවා..අරෙහෙ අපේ එව්වන්ට ගහනවා කියලා. ඒ කේන්තියට තමයි ඌ අහුවෙන ඔක්කොටම නෙලලා තියෙන්නේ. ඌගෙත් රස්සාව ගහලා යයි මයෙහිතේ.
පාඩුව වෙන්නේ හිච්චිට ඒකිගේ අද්දියාපනේ කඩාකප්පල් වෙයි කියලයි මට බය. උසස් පෙළටත් තව අවුරැදු දෙකක්ම තියනවනේ. ගමට ගිහින් අඳ කුඹුරක් වත් හොයාගන්න පුළුවන් වෙයිද කියලා දන්නෑ.එක ඇහැකින් වැඩකරන්න පුරැදු වෙන්න ඕනි දැන්.ලියන කොට උනත් හරිම අමාරැයි. .
ලබන සතියේ විතර ටිකට් කපයි මයෙ හිතේ. එයෙම උනොත් ගමේ යමු.
මං නවතිමි,

උඹට ජයසිරිමා හාමුදුරැවන්ගේ පිහිටයි,

පොඩි අයියා

ප.ලි - ගමේ එනකොට වෙනිවැල්ගැට හැළියක් තම්බලා තියන්න කියන්න කියලා අම්මට කියන්නම්. උඹ එන දවසට ටිකක් වේලහා වරෙන් පිටකොටුවට. නැත්තං කහටගස්දිගිලියේන් අන්තිම බස් එක අල්ලගන්න බැරිවෙයි.

Tuesday, June 14, 2011

ජීවිතය හැරී බලමි

                                                                                                    දෙවැනි පැටළුම

කඳුළු කැට දෙකක් සටස් ගාලා එළියට පැන්නේ ඉස්මොල්ලේ ගිය නිසා ද එහෙමත් නැත්නම් දැක්ක දේ නිසා ද කියලා හරියටම කියන්න බැරි උනත් වැටෙන්න නොදී හංගගත්තේ අක්කා පෙන්නේ නැති වෙන්න.
“මට තව සිගරට් එකක්“...  අක්කා මගේ දිහාට හැරැනා... මොකද අද කවදාවත් නැතුව......මං හිනා උනා...
මට පිස්සු,.... මං මටම කොඳුර ගත්තා... මං මොකද කාගේවත් කෙල්ලෙක් ගැන තැවෙන්නේ...එකම එක දවසක් විතරක් දැකපු... වචන 10 කට වඩා කථා නෙකරපු කෙල්ලෙක් ගැන ඇයි මං මේ තරං හිතන්නේ..
රේස් එකට ආපු කොටුව බස් එක අනුවයි එයාගේ කොල්ලවයි අරගෙන ඉගිල්ලුනා.... මහා මූසල පාලුවක් දැනුනා.. බුද්ධිය මොනවා කිව්වත්... හිත ඇතුලේ කියාලන්න බැරි මොකක්දෝ හැඟීමක්... සියුම් ඊරිසියාවක් දැනෙනවා..
අනූ.....  
බාගෙට බීපු සිගරට් එක බිම දාලා පෑගුවේ කේන්තියට ද දුකට ද දන්නේ නැහැ..
පාරෙන් පැනපු ගමන් අපු බස් එකේ එල්ලුනා... තුඩැල්ල එකයි.. මං කොන්ඳා අතට සල්ලි දුන්නා.
මං බස් එක ඇතුලේ හිටියට හිත පිස්සු බල්ලෙක් වගේ දුවනවා.
ඉස්සරහා බහිනවා..කොන්ඳා මගේ මුණ දිහා බැළුවේ මගින් බැස්සට සල්ලි නම් දෙන්නේ නැහැ වගේ බැල්මක්..
තියාගනින් උඹේ සල්ලි.. හැමදාම පුරැදුමේසේම වාඩි උනා..
ආ... ජානක මහත්තයා කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නේ..
බියර් එකයි.. ගල් කාලයි... ඔම්ලට් එකයි.. ගොල්ඩ්ලීෆ් පහයි..
ඇයි මේ..... වීදුරැ දෙක තුනක් ඉවර වෙනකොට හැමදේම හරියයි.. මං හිතට බොරැවක් කිව්වා..
.................................................................................
“Good Morning” මිස්ටර් ජානක.... කියාගෙන අනූ කාමරේට ඇතුල්උනා.. “Good Morning” කොහොමද ඉතිං..
අපි දැක්කා ඊයේ අන්ධ ජෝඩුවක් යනවා bus halt එකේ දි..අනූගේ මුණ රතු උනා..
එයා හිනාවුනා මුකුත් නොවුන ගානට.. පොත අත්සන් කරලා යන්නම් කියාගෙන ගියා..
ආයිත් අර මූසල හැඟීම.. ඒ පාළුව ඉතිරි උනා කාමරය පුරාම..
මං ආයිත් හිර උනා ලිපිගොනුත් එක්ක.. වෙලාව ගියා දන්නෙම  නැහැ...
ජානක සර් මොනාද සැරින් සැරේ ඔළුව උස්ස උස්ස බලන්නේ... මාලි මැඩම්ටත් ඕනෙ නැති බම්බුවක් නැහැ.. මං මටම කියාගත්තා..
මුකුත් නැහැ මැඩම්.. මං හිනා උනා..
මට ඊයේ Production ටික ගේන්න..
මං file මිටියත් උස්සගෙන කාමරේට ගියා...
මං කාමරේට යනකොට මාලි මැඩම් phone තිබ්බා..
ජානක දැන් floor එක ටිකක් ඉක්මන් කරගන්න වෙනවා.. මොකද නැත්තම් අපිට වෙලාවට මේ order එන දෙන්න බැරිවෙයි...
Excuse me කියාගෙන අනූ ත් ඇතුල් උනා කාමරේට..
හිත ආයිත් නැවතුනා... මාලි මැඩම් මොන මොනවදෝ කියනවා.. එක දෙයක්වත් ඔළුවට වැටෙන්නේම නැහැ..
ජානක සර් අපි කවදද අනිත් order එක ලයින් එකට දාන්නේ..
ලබන සුමානේ විතර දාන්න පුළුවන් වෙයි මැඩම්.. එහෙම තමයි target හදලා තියෙන්නේ..
.................................................................................
ඔය විදියට දින සති මාස ගතවුනා..අපි ගොඩක් වෙලාවට එකට වැඩ කලා.. හොඳ යාළුවො උනා...
අපිට වෙලාව ලැබුනා කථාකරන්න... tea time එකේ දි  lunch time එකේ දි..
අපි බොහෝ දේවල් කථා කලා...campus එක ගැන... ඒ කාලේ කොයි තරම් සුන්දරද... අනු හරි ආසාවෙන් campus එකේ දි මුණ දීපු අත්දැකීම් ගැන අහගෙන හිටියා....


ඔයා දන්නවද අනූ ඒ කාලේ අපේ බැචෙක් හිටියා.. කෙල්ලෙක්.. හරියට ඔයා වගේමයි.. ඒකිට නම දාලා තිබ්බේ “යංකෝතකෝ“ කියලා... ඔයාටත් හැබැයි ඒ නම ගැලපෙනවා... බ්රේක් නැති කටින් එළියට පන්නා..

කිව්වට පස්සෙයි කියපු දේ බරපතලකම තේරැනේ..

ඇයි එයාට ජපන් කමක් දාලා තියෙන්නේ... එයා ජපන් කෙනෙක් වගේ ද..
මේකි tube light එකක්නේ.. මං යනවා... බායි... කියාගෙන මං කාමරේට ආවා...
මට තනියම හිනා... ඔයා හරිම නරකයි ජානක... මං තරහම තරහයි... අනූ මූණ රතු කරගෙන ඇවිත් කියලා ගියා..

එදා හවස තේ බොන්න ආවෙත් නැහැ....
මට සමාවෙන්න හිත රිද්දන්න හිතාගෙන එහෙම කිව්වා නෙමෙයි...
ඔයාට තේරෙන්නේ නැහැ ජානක... මං උඩින් හිනාවෙලා හිටියට හිත ඇතුලෙන් ගොඩක් වේදනා විඳින කෙනෙක්... අපේ ගෙදර අයත් හැමතිස්සෙම මගේ හිත පාරනවා.. මං ටිකක් හරි සතුටින් ඉන්නේ ඔයා එක්ක ඉන්න ටික වෙලාව විතරයි..මට මේවා කියන්න කව්රැවත්ම නැහැ..


මං තනිවෙච්ච කෙල්ලෙක්..


ඇයි රොහාන්..


එයා හරිම වෙනස් චරිතයක්... එයා මට වැඩිය අවුරැදු 15 ක් විතර වැඩිමල්.. එයාට මං බලාපොරොත්තු වෙන ආදරේ දෙන්න බැහැ... මං කැමතියි ජීවිතේ විඳින්න... විඳවන්න නෙමෙයි.. එයා මට ආදරෙයි.. ඒත් එක හරියට තාත්තා කෙනෙක් එයාගේ දුවට තියෙන ආදරේ වගේ.. මං බලාපොරොත්තු වෙන්නේ එහෙම ආදරයක් නෙමෙයි.. එයා නරක කෙනෙක් නෙමෙයි.. ඒත් එයා මගේ හිත හොයන කෙනා නෙමෙයි ජානක..
.
අනේ මංදා... මං මටම කියාගත්තා...


හීනි දුකකුත්... කාළකන්ණි සතුටකුත් හිතේ ඇතිවුනා....
අනූ ව මට අයිතිකරගන්න පුළුවන් වෙයි ද.......?

Saturday, June 11, 2011

නෑනා.....

බැළුවේ නුඹ දිහා...
හිනා උනේ අක්කා..
ඉඟි කලේ නුඹට..
හුරතලේ අක්කා..
කථා කලේ නුඹට...
ආවේ අක්කා..
ආදරේ කලේ නුඹට...
කසාද බැන්දේ අක්කා..

Tuesday, June 7, 2011

සිරිසඝබෝ........

සිරිසඝබෝ........


ඉස්සර වගේ මං එනතුරැ වැඩ          ඇරිලා
බලා ඉන්නේ නැහැ එනතුරැ දොර    ඇරලා
ආවත් ඇඳට මං “සැන්“ “පවුඩර්“        දාලා
අල්ලනවත් බැහැ ඔබ “කව්ළුව“       වහලා


නිදියයි කලින් ඔබ මගේ පැත්තට    හැරිලා
සමහරදාට නිදියයි සරමට              බැහැලා
දැන් නැහැ වගක් මං ගැන නිකමට    හිතලා
දැන් නිදියන්නේ බිත්තිය පැත්තය   හැරිලා


හීනෙන් වගේ මොනවද ඔබ     කොඳුරනවා
සිහින් හඬින් ඔබ කාවද               අමතනවා
ඔබ කෙඳිරිල්ල මගේ මතකෙට යලි   එනවා
ඔබෙ ඳැගලිල්ල සිහිවී ගත         පිබිදෙනවා


එනවිට දෙකක් දාගෙන පඩිදාට             මම
ඉන්නව බලාගෙන දොරකඩ ඔබ          තාම
ගස්සලා හොල්ලලා පෙන්නලා ලැම    නිතඹ
තාමත් පඩිය තියනවා මම ඔබ             අත ම


ඔබ සැක කරන්නට හිත ඉඩදෙන්නැති හින්දා
ඉස්සර වගෙම තවමත් ආදරේ              හින්දා
ඔබගේ සැපත මගේ සතුටම වන          හන්දා
කූඩුව අරිමි මම ඔහු හා යනු               කැන්ඳා

Sunday, June 5, 2011

ඔබ එනවානම්..
හීනයක් වෙලාවත්..
නොනිදන හදවතට..
මැවූ පෙම් හීන එළිවෙන්න..
පැතූ පෙම් පැතුම් ඉටුවෙන්න..
ඉඩ දෙන්න...
රාත්‍රියට තනිවෙන්න..
ජීවිතේ පුරාවට..
අනේ මට ඉඩ දෙන්න.
නිදියන්න..