Sunday, July 3, 2011

අහිමි සෙනෙහස......













පියෙකුගේ ආදරය හිත තුල සිර    කරමී
සෙනහස කඳුළු කර මේ ලෙස දිවි ගෙවමී
නුඹ දිවි සරි කරන්නට මම වෙර     දරමී
මා ලඟ නැතත් මම ඔබ ලඟ නිති සිටිමී

ලොකු පුතු මගේ ඔබ මගේ පන වැන්නේය
පොඩි පුතු ඔබට මා මගේ පන දෙන්නේය
දුවනිය නිසා මා ජීවත් වන්නේය
ඔබ හා ගෙවන්නට මට පිං නැත්තේය

නුඔ වැටිලා මම ඇඬුවා මට මතකයි
නුඹ නැගිටිනකොට අත දුන්නා මට මතකයි
ලොකු පුතු මගේ ඔබ අද මගේ හිත ලඟමයි
එන්නට වරම් නැහැ මට හරිම දුකයි

චුටි පුතුගේ දඟ සෙල්ලම් බලන්නට
තුරැල්ලට අරං යහනේ නිදන්නට
ආසයි යලිත් නුඹ පස්සෙන් දුවන්නට
එන්නට හිතෙනවා නෑ ඒ වරම් මට

කිරිකැටි සිනා ලඟ දෝණිගේ කථාවට
දුරසිට බලා හිනැහෙමි ඒ ලතාවට
තුරැලට ගෙන සිපගන්නට මුහුණකට
ආසයි එන්න මුත් නැහැ ඉඩකඩක් මට

Friday, June 24, 2011

ඔබ විඳිමි.....

ඹබේ පිට පොත්ත රතුය...
මට ආසාවේ බැරිය...
හෙමි හෙමින් ගලවා දමමි එය...
නුඹට නොරිදෙන්නට...
රිදුනත්, රිදෙන තැන්..
සිප ගනිමි මුදු ලෙසින්..
එක එක මුදන කල්හී..
වසා සිටි පිට සේල..
මතුවෙයි ඔබේ නියම රැව..
අපූරැයි නොවැ එය හරිම..
ලෙවකමි පලමු කොට..
ඔබ හොඳින් තෙත් වෙන්න..
හපන්නට හිතේ මට..
ඒත් ලෝබයි..
නැතිවෙයි යයි බියෙන්..
ඔබේ ඔය සොඳුරැ බව..
උරන විට රස තදින්..
ගලයි රස පැන්..
කටේ දෙපසින්..
තව තවත් ලෙව කමි..
දමා කට ඇතුලටම..
දැනෙයි සියුම් කෙඳි කෙඳි...
උගුරටම යන විදිය..
දැන්නම් ඉවසුවා ඇතිය..
හපන්නට අවැසිමයි..
ඉවරයක් වෙන්නම..
අතාරින්නෙම නැහැ..
කිසිම කොටසක්..
සුප්පන්නේ නැතිව..
සියල්ල අවසන්ව..
ලෙවකම් ඔබෙ ඇටය..
පාට සුදු වෙනකන්ම..
විසිකරන්නෙම නැහැ ඔබව..
හිටවමි මම වැටේ..
ඔබෙ නමද අපුරැය..
හරියටම ඔබ වාගේ..
මුමුනමි ඔබේ නම..
කර්තකොළොම්ඹු යැයි සෙමින්..

Monday, June 20, 2011

විත්තිකරැ මම වෙම්..

නුඹේ අධිකරණය..
විත්තිකරැවෙකු කොට මා නැවතත්..
නීති සහයක් නැතිවම...
නිදහසට කිසිත් නොකියම..
නිහඬවම සිටිමි මම...

නුඹට ඇති පෙම නිසා මා සිත..
රිද්දන්න බැරි නිසා නුඹේ මුදු වත..
දකිනු බැරි නිසා  කඳුළු ඔය නෙත.
ඉතින් මා එල්ලන්න..
නුඹට පෙම් කල වරදට..

ඉස්කෝලෙ යනකොට..
පොත් අරන් දුන්න වරදට..
නුඹව රැක ගත්තට..
ඉතින් මා එල්ලන්න..
නුඹට පෙම් කල වරදට..


වරිච්චි බිත්ති.. පොල් අතු හෙවිල්ලපු..
නුඹේ පැලට.. ගොඩවුනු..
වරදට, නුඹව අත් නෑරපු..
ඉතින් මා එල්ලන්න..
නුඹට පෙම් කල වරදට..

Sunday, June 19, 2011

තාත්තලාගේ දිනයේදී..තාත්තෙක් ගෙන් තාත්තෙක් ට....

වට කරගෙන පරපුරම..
සරොම් පහයි..
කමිස තුනයි...
ඇඳ උඩ තෑගි මළු ගොඩයි..
ඒත්...
මුණබුරන්ගේ කථාව..
මිණිබිරීගේ හිනාව...
අද විතරයිනේ කියලා හිතෙනකොට..
දාගෙන යනවා මුළු පපුවම...
හෙට ඉඳන් ආයෙමත්..
පුරැදු බංකුව උඩ...
අඳුරන මුනක් ගේට්ටුව උඩින් පේනකන්..
බලාන ඉන්නවා අවුරැද්දම..
ඊලඟ තාත්තලගේ දවස එනකන්..
ලබන සැරේ එනකොට..
ජීවත් වෙලා හිටියොත්..
සරොම් කමිස නැතිව..
අරගෙන වරෙන්...
ආදරය පොඩි ගානකට..

Friday, June 17, 2011

පොලිස් කථා 1

කාලයක් මම මානව හිමිකම් සම්බන්ධ ආයතනයක වැඩකලා. සේවය කලේ වව්නියාව කාර්යාලයේ. ඒ කාලේ අපිට මානව හිමිකම් සම්බන්ධයෙන් පුදුමාකාර උණක් තිබුනේ. ඒ කාලේ නිතරම පොලිසිය, යුධ හමුදාව සමග වැඩ කලා. ඔය කාලේ මං වව්නියාවේ පොලිස් අධිකාරී කාර්යාල‍යෙන් පොලිස් නිලධාරීන් සඳහා පවත්වන පුහුණු වැඩසටහන් වල මානව හිමිකම් සම්බන්ධ භාහිර දේශකයෙක් විදියට සම්බන්ධවෙලා හිටියා. මේ අවස්ථා වලදී මං ගොඩක් වෙලාව උදාහරණ විදියට පාවිච්චි කරන්නේත් පොලිසිය සම්බන්ධ කථා තමයි. ඒවා ඉතාම රසවත් වගේම පස්සේ කල්පනා කරන්න දේ ගොඩක් ඉතිරි කරනවා.
මං හිතුවා ඒ පොලිස් කථා කීපයක් පල කරන්න..
මේක මීට අවුරැදු ගානකට කලින් මඩකලපුව පැත්තේ රාජකාරී කරපු පොලිස් අධිකාරීවරයෙකුට වෙච්ච සිද්ධියක්. දවසක් උදේ මෙතුමා රියදුරා එක්ක රාජකාරී සඳහා වාහනේ යනවලු. රියදුරා බොහොම මෑතකදි පොලිසියට බැඳුනු තරැණයෙක්ලු. මෙතුමා දැක්කලු රියදුරාගේ මුණ වැඩිය හොඳනැති ගතියක්. එතන ඉඳලා කථාව වෙච්ච විදියටම ලියන්නම්.
අධිකාරී - මොකද අයිසේ මූණේ හැටි.. ටිකක් හිනාවෙලා ඉන්නවකෝ උදේ පාන්දර.
රියදුරැ - නැහැ සර්..මේ ..මේ...
අධිකාරී - මොක්කද අයිසේ ගොත ගහන්නේ.. තමාසෙට මොනහරි ප්‍රශ්ණයක් තියෙනවද ?
රියදුරැ - පොඩි ප්‍රශ්ණයක් නම් තියනවා සර්.. ඒත් මේ...
අධිකාරී - කියනවා අයිසේ... කියනවා.. මොකක් ද?
රියදුරැ - මං ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියනවා සර්.. දැන් ඒ ගෑණු ළමයා කියනවා අම්මලා   තාත්තලා වෙන කෙනෙක්ව හොයනවළු බන්ඳලා දෙන්න.
අධිකාරී - අපෝ ඕක මොකක්ද අයිසේ... තමුසේ මහ බය ගුල්ලේක්නේ.. කෙලින්ම ගිහින් අහනවා.
රියදුරැ -  අනේ බයයි සර්.. ඒගොල්ලෝ හරි සල්ලිකරයෝ.. තාත්තා හරිම වසයිළු..
අධිකාරී - අනේ ඕයි.. තමුසේ පොලිසියේ කියලා කියන්නත් ලැජ්ජයි. එහෙම මොනාහරි උනොත් කේස් එකක් දාලා තාත්තව ගන්නවා ඇතුලට.. දෙක තුනක් දෙනකොට නිකම්ම කැමති වෙයි.. තමුසේ බය නැතිව ඉන්නවා.. මොනාහරි උනොත් මං ඉන්නවානේ..
රියදුරැ - අනේ බොහොම ස්තූතියි සර්.. මං ගෑණු ළමයට කියන්නම් සර්..
අධිකාරී - හරි.. හරි.. දැන් ඉස්සරහා බලාගෙන එළවනවා.

සති කීපයකට පසු..
අධිකාරී - මොකද තමුසේ අදත් මූණ එල්ලගෙන.. කෙල්ල මොකද කියන්නේ.
රියදුරැ - වැඩක් නැහැ සර්..මාගේ ජීවිතෙත් එපා වෙලා තියෙන්නේ දැන්.. කෙල්ල කියනවා ඉක්මනට මොනාහරි නොකොලොත් එයා ගැන අදහස අතඇරගන්න වෙයිළු.
අධිකාරී - ඉතිං තමුසේ මොකද කිව්වේ..
රියදුරැ - මං මොනවා කියන්න ද සර් ?
අධිකාරී - කොන්ඳ කෙලින් වැඩකරනවා.. පිරිමියෙක් වගේ.. කෙල්ල අඩු වයසද ? , කෙල්ල තමුසෙට ආදරේද ?
රියදුරැ - වයස හරි සර්, ඕව් සර්...එයා මට ගොඩක් ආදරෙයි...
අධිකාරී - තමුසේ...?
රියදුරැ - ඔව් සර්... එයා මගේ පන... මං මගේ ජීවිතේටත් වැඩිය එයාට ආදරෙයි..
අධිකාරී - එහෙනම් මොන් මගුලද ඕයි තවත් බලාගෙන ඉනනේ.. තාත්තටයි අම්මටයි බමිබු ගහගන්න කියලා උස්සගෙන යනවා ඕයි... මොනාහරි උනොත් මං බලාගන්නම්.. තමුසෙට ඕනේ නම් මං ට්‍රාන්සර් එකකුත් හදලා දෙන්නම්.
රියදුරැ - කමක් නැද්ද සර්..
අධිකාරී - කමක් නැයැ ඕයි ... උස්සගෙන යනවා... තමුසේ වගේ පොලිස් කාරයෙක්..
දින කීපයකට පසු පොලිස් අධිකාරීවරයාගේ විසි දෙහැවිරිදි දියණිය අතුරැදහන් වී ඇති අතර ඇය විසින් ලියා තබන ලද ලිපියක සඳහන් තමා සිය පියා විසින් තම පෙම්වතාට දෙන ලද උපදෙස් මත මෙම තිරණය ගත් බවයි. අදාල පොලිස් අධිකාරීවරයා විශ්‍රම යනතෙක්ම රියදුරෙකු යොදා නොගන්නා ලදී.