Friday, January 15, 2016

මතකය සුවඳ..



හැම ගැහැණියකටම ඇයට ආවේණික සුවඳක් තියනවා.. ජීවිතේ යම් දවසක ඒ සුවඳ හදවතින් වින්දොත් ඒ සුවඳ ජීවිත කාලය පුරාම හදවතේ රැඳිලා තියනවා.. මුලු ජීවිත කාලය පුරාම.. යම් දවස ඒ සුවඳ දැනුනොත් වියපත් වෙච්ච හදවත ජිවිතේ මුලට ගෙනියන ඒ සුන්දර මතකයන් අවදි කරනවා..
ඒත් ඒ මතයන් අවදවීම තවත් කෙනෙක්ගේ සතුටට බාධාවක් නම්...
නිහඬවම ඒ අවදි වුනු මතකයන් විඳගැනීම තමයි වටින්නේ..
ඒකයි ආදරේ සැබෑ අරුත..

කාලෙකින් දැක්ක ඔබට..
...................................
දවසක හවස් වරුවක යනවිට බසයේ...
ලැබුනා ඉඩක් ජනේලයක් ලඟ රථයේ...
විඳිමින් අවට බලමින් යනවිට රිසියේ...
සුපුරුදු සුවඳිකින් හදවත ඉපිල ගියේ...

යන්තම් වියපත්ය ඇස් මත දෙනෙතක්ය...
උඩුකර බැන්ඳ කෙස් මිට යන්තම් සුදුය...
ඇස්යට කළුය කම්මුල් දෙක වියපත්ය...
එනමුත් සුවඳ එකමය වෙනසක් නැතිය...

විසිවසරකුත් තව මාසයකුත් ගෙවිලා...
අන්තිම දිනට පසු නැත තවමත් මම දැකලා...
කරළට ගෙතු කෙස් මිට දැන් නම් හැළිලා...
එනමුදු සුවඳ තවමත් ඇත හද රැඳිලා..

ලඟ උන් ලඳ දිහා එක එල්ලෙම නොබලා..
හිමිහිට ඇස් කොනින් බැලුවා නොම හැරිලා...
අඩකව නලළ ඇස් කොන් අග නතර වෙලා...
නොදැනිම දෑස තෙමුනා ඔබ මතක් වෙලා...

සුන්දර සුකුමාල වත අද වැරහැළිය...
දියණිය උකුලේ උකුලේ ලොකු දුව ලඟ හිටගෙනය...
වයසට වඩා ඇය වියපත් වුනු හැඩය...
මාතින් වුනි ද වරදක් මට නම් සැකය...

ලොකු දුව හරි උසයි අම්මගේ කරට වඩා..
මගේ හිත පොඩි වැඩියි හිත උණුහුමට වඩා...
දොඩනට සිතත් ඔබ හා ඉන්නෙමි නොදොඩා...
දැන් අපි ගොඩක් වයසයි ඉස්සරට වඩා..

පොඩි දුව උකුලේ උන් පපුවට තුරුල් වෙලා...
ඉස්සර නුඹේ වත ඇය හට උරුම වෙලා...
නින්ඳත් නොනින්දක හිටි ඇය දෙනෙත වසා..
නුඹ මා අසල වැතිර උන් දින යලි මෙනෙහි කලා..

ඊලඟ නැවතුමෙන් ඈ බැස යන්නට හදනා..
මොහොතක හදවතින් යලි පැනයක් අසනා..
කරමුද කථා නොකරම් දැයි නොම හැඟෙනා...
යට ගිය ප්‍රේමයට අවසන් තිත තියනා..

දැන් ඇය ළඳක් ඇය වෙන කෙනෙකුට හිමිය...
ඇය ගැන පසුතැවෙනු කිම ඇය හට හිමි සැපය...
දරැවන් බලාගෙන යහතිනු ඉනු මැනය...
සුසුමක් හෙලා වැසුවෙමි මම ජනේලය....

No comments:

Post a Comment