Thursday, June 16, 2011

මාතෘකාවක් නැත......

පොලිස් රෝහල,
නාරාහේන්පිට.

මද්දු නංගිට  ලියමි,

දැන් උඹට කොහොමද? මට නම් ඒ හැටි සුවයක් නැහැ තාම. දොස්තරලා කියනවා කළු ඉංගිරියාව පුපුරලා කියලා. ඒක හොඳටම සනීප වෙන්න තව අවුරැද්දක්වත් යයිලු. සමහර විට ඊටත් වඩා වැඩි කාලයක්. මට අවුරැද්දක කාළයකට පඩි රහිත නිවාඩු අනුමත කලා කියලා ඕඅයිසී මහත්තයා පණිවිඩයක් එවලා තිබුනා.
උඹගේ කකුල තාම රිදෙනවද ? ලොක්කයියා උඹව බලලා කෙලින්ම ආවේ මාව බලන්න. ඌ මට විස්තරේ කිව්වා. උඹගෙත් දනිස් පොල්කට්ට පුපුරලලු. මාස හය හතක් යනකම් ඉතින් මැසින් පාගලා ඉවරයි තියලා කිවිවා. උඹලටත් කටවල් පුකවල් වහගෙන ඉන්න බැහැනේ. ගියා දෑවැද්ද ආරස්සා කරගන්න. දැන් හොදෙයි වෙච්ච දේ.
උඹලාගේ එකෙක් ගහපු  ගල්පාර කෙලින්ම වැදුනේ වම් ඇහැට. මාව තුංකුදුරැස් වෙලා ගියා බං. මට ආරංචියි උඹට ගහපු එක ටීවී එකේ ගියාට පස්සේ ඒ ගහපු එකාව ඇල්ලුවලු. බලනකොට ඌ අල්ලපු ගමේ එකෙක්. මාත් එක්කමයි ගාමාරක්ෂකේට ට්‍රේනින් ගියේ. ඌ මෙලෝ මගුලක් දන්නේ නැහැලු. දවස් තුනක් ඕඅයිසී මහත්තයාගේ වත්ත මුරකරලා ඇවිත් නිදියං ඉදලා තියෙන්නේ.  එක පාරටම සාජන් මහත්තයෙක් බැරැක්කෙට ඇවිල්ලා කෑගැහැව්වලු.. පොන්න වේ... ගේ පුතාලා නිදිවදිනවා..අරෙහෙ අපේ එව්වන්ට ගහනවා කියලා. ඒ කේන්තියට තමයි ඌ අහුවෙන ඔක්කොටම නෙලලා තියෙන්නේ. ඌගෙත් රස්සාව ගහලා යයි මයෙහිතේ.
පාඩුව වෙන්නේ හිච්චිට ඒකිගේ අද්දියාපනේ කඩාකප්පල් වෙයි කියලයි මට බය. උසස් පෙළටත් තව අවුරැදු දෙකක්ම තියනවනේ. ගමට ගිහින් අඳ කුඹුරක් වත් හොයාගන්න පුළුවන් වෙයිද කියලා දන්නෑ.එක ඇහැකින් වැඩකරන්න පුරැදු වෙන්න ඕනි දැන්.ලියන කොට උනත් හරිම අමාරැයි. .
ලබන සතියේ විතර ටිකට් කපයි මයෙ හිතේ. එයෙම උනොත් ගමේ යමු.
මං නවතිමි,

උඹට ජයසිරිමා හාමුදුරැවන්ගේ පිහිටයි,

පොඩි අයියා

ප.ලි - ගමේ එනකොට වෙනිවැල්ගැට හැළියක් තම්බලා තියන්න කියන්න කියලා අම්මට කියන්නම්. උඹ එන දවසට ටිකක් වේලහා වරෙන් පිටකොටුවට. නැත්තං කහටගස්දිගිලියේන් අන්තිම බස් එක අල්ලගන්න බැරිවෙයි.

11 comments:

  1. බොරු කියන්න ඕනෙ නෑනෙ. මුළින්ම කියෙව්වම මට හරියටම තේරුණේ නෑ මොකක්ද සිද්ධිය කියලා. මම හිතුවා පෞද්ගලික ආරවුලක් කියලා. (දෑවැද්ද ආරස්සා කරන කතාවකුත් තියෙනවනෙ.) දෙසැරයක් කියෙව්වා. ම්හු. මම බටලයිට් වෙන්ඩැති; එහෙමත් නැත්නම් මොකක් හරි ටීවී එකෙත් පෙන්නපු මම නොදැකපු අලුත් නිව්ස් එකක් වෙන්නැති කියලා හිතාගෙන හැරිලා ගියා.

    අද ආයෙමත් වචනයෙන් වචනය කියවද්දි තමයි මට මීටර් වුණේ. :D අර මැෂින් පාගන කතාව... ඔන්න මට පොට පෑදුණු තැන. ඊට පස්සෙ පේන්න ගත්තා කලින් නොපෙනුණු ඉඟි: පොලිස් රෝහල, පිටකොටුව, 'අරහෙ අපේ එවුන්ට ගහනවා'....
    ඉතින් තුන් වෙනි වරට කියෙව්වෙ තාක්ෂණික අංශයෙන් හින්දා හතරවෙනි වතාවටත් කියෙව්වා, නිර්මාණය සැබෑවටම රස විඳින්න. රස? බර විඳින්න.

    කටුනායක කම්හල් සේවකයන්ගේ සටන.

    රටේ විශාල පිරිසකට බලපාන දැවැන්ත ප්‍රශ්නයක්. ලක්ෂ ගණනින් පඩි ගන්නා උදවිය නිහඬව සිටියදී, පියවරක් ඉදිරියට ගියෙ ඈත ගම්දනව්වලින් පැමිණි දුප්පත් දරුවො. ගල් මුල් හා අතපයද, කට හා නිර්භයකමද හැර වෙනත් ආයුධයක් නොමැතිවුන්. ප්‍රශ්නය ඇති කළවුන්ද, කම්හල් සේවකයන්ට එරෙහිව අවි එසවීමට විධාන දුන්නවුන්ද පසෙක සිටියදී, අනෙක් පීඩා විඳින පාර්ශ්වය පොලිසියෙ සොක්කො; අර කම්හල් සේවකයන්ගෙ සමාජයෙන්ම ඇවිත්, අනෙක් කඳවුරේ රැකියාවක් ලද පමණින්, තමන්ගෙම උන්ට එරෙහිව අවි ගැනීමට සිදු වෙලා.

    ඉතින්, කහටගස් දිගිලියේ සිට අම්මා බලාගෙන ඇති, දෙපිලක සිට අසරණ වුණු දරුවන් එනතුරු.

    බස්සා මේක ලියා තියෙන ආකාරය ගැනත් කියන්නට ඕන. ඒ දරුවන්ට සුදුසු භාෂා ව්‍යවහාරය යොදාගෙන, ඔවුන්ගෙ වුවමනා එපාකම් ගැන ලියවෙන්නෙ. කියවන්නාට එක පාරටම නොතේරුණාට කමක් නැහැ. (මට නොතේරුණත් රටේ සිදුවෙන දේ ගැන අවධියෙන් ඉන්න කෙනෙකුට මේක එකවරම වැටහෙන්නටත් ඇති.) මොකද, එහෙම නැතුව සේරම විස්තරේම කියලා- නංගි එදා ඔයාලගෙ ෆැක්ටරියෙ විශ්‍රාම වැටුප් ප්‍රශ්නෙට පොලිසියෙ අපි මැදිහත් වුණු වෙලාවෙ....)- පටන් ගත්තනම්, මේ ලිපිය හින්දි චිත්‍රපටියක් වගේ වෙනවා; ඔය සිද්ධිය ගැන ලියවුණු තවත් එක් ලිපියක්ම වෙනවා.
    අනික, දැන් මේක තේරුම් ගත්තා කියලා මට ඇතිවෙන සතුටත් ලැබෙන්නෙ නෑ එහෙනම්.

    හොඳ නිර්මාණයක්. ජය!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි දොස්තර නෝනට
    මේක බොහොම අහම්බෙන් ලියැවුන ලිපියක්..පෙරේදා රෑ නිදියගන්න ගියාම දොස්තර නෝනගේ “හිටුකෝ“ කෑල්ල මතක් උනා..ඒ පටන් ගත්ත කල්පනාව නැවතුනේ මේ ලියුමෙන්.. ඒ වෙලාවෙම නැගිටලා පොඩි කටුසටහනක් දාගත්තා.
    අපේ රටේ හැමදාම උනේ මේ සිද්ධිය.. සිද්ධවුන හැම අරගලයකදිම බැටකෑවේ එකම පන්තියේ මිනිස්සු..ඒක අදටත් වලංගු සත්‍යක්..
    උන් හැමදාම කලේ අපිට පඩි ගෙවලා අපිටම කියලා අපේ පන්තිය මර්ධනය කරපු එක. සත්‍යාවබෝධය ලැබේවා !!!

    ReplyDelete
  3. අඩෝ පට්ටයි බොල උබ හිතට වදින්නම මේක ලියලා තියනවා... ඇත්තටම මෙහෙම දේවලුත් වෙනවානෙ... උබ නියම පොයින්ට් එක අල්ලගෙන තියනවා....

    ReplyDelete
  4. ඉතා හොඳයි, දිගටම ලියන්න.

    පොඩි අඩු පාඩු ටිකකුත් පෙන්නම් (මට හිතෙන හැටියට )

    1) ප.ලි කොටස නොතිබුනානම් වඩා හොඳයි වගේ.
    2) ලිපියේ කතා විලාශය වඩාත් ගැලපෙන්නේ තරුණ පොඩි අය්යා කෙනෙකුට වඩා තාත්තා කෙනෙකුටයි.

    ReplyDelete
  5. @කිඩෝ ස්තුතියි මචං...

    @අශෝක .... ස්තුතියි ඔබේ අදහස් වලට...

    ReplyDelete
  6. මාරයි.
    හදවතට දැනෙන... නෑ.. අැනෙන කතාවක්.
    ෙහා්‍රදට ලියලා තිෙයනවා
    නියමයි

    ReplyDelete
  7. ඕකම තමයි යුද්දේ කියලා සිද්ද වුනේත්.

    පොල් ගස තාල වර්ගයේ
    තල් ගස තාල වර්ගයේ
    පොල් ගස් යට තල් ගස් යට
    බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
    උන් සුවර්ගයේ

    තිසා වැවේ, නුවර වැවේ නිල් දිය දහරේ
    මාවිලාරු, ඉරණාමඩු නිල් දිය දහරේ
    ඒ වතුරේ පීන පීන
    මේ වතුරේ පීන පීන
    දියඹුං ගැසු කොලු රංචුව අද කොහේද
    භූමදානයේ

    ReplyDelete
  8. මනුස්සයෙක් තමන් වගේම ඇට, ලේ , නහර ඇති තවත් මනුස්සයෙකුට රිදවන්න තමන්ගෙ අවි දරන හෝ නොදරන අත උස්සන්නෙ කොහොමද කියල තවමත් මට තේරෙන්නෙ නැහැ. අවුරුදු 40ක් නොතේරුන දේ ඉතුරු අවුරුදු 20ත් නොතේරීම තියෙනවනම් හොඳයි.. එතකොට මේ වගෙ සංවේදී නිර්මාණ විඳින්න පුළුවන් හදවතින්ම..මොහොතකට හරි මං ජීවත් උනා මේ පොලිස් සහෝදරයගෙ, ඇඟලුම් සහෝදරීගෙ සහ ඉගෙන ගන්න සහෝදරිගෙ ජීවිත තුල..කම්පනය උනා මගේ ජීවිතය ඔබේ නිර්මණය තුලින්...

    ReplyDelete
  9. @ Weni ස්තූතියි ඔබට............ජය !!

    ReplyDelete
  10. ඕක තමයි මචං අවාසනාවන්ත ඇත්ත . . .. හැමෝටම තමංගෙ බඩ රස්සාව වෙනුවෙං අකමැත්තෙං උනත් කරන්න වෙන යම් යම් කැපකිරීම් තියනව.පොලීසිය එතන ඉදිරියෙංම ඉන්න ආයතනයක්. හැමෝම කලාපෙ ළමයිංගෙ පැත්තෙං විතරක් බලපු ප්‍රශ්නෙ දිහෑ උඹ පොලිස්කාරයෙක්ගෙ පැත්තෙනුත් බලල තියනව . . . .

    ReplyDelete
  11. අනේ මන්දා කවුරු වැරදිද කවුරු හරිද කියලා, ඒත් පොලිසිය කරාපුවා සාධාරණීකරනය කරන්න නං බැහැ වගේ නේද ...

    ReplyDelete