Friday, September 2, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 4 (ගුටි නොකා සිටීමේ අයිතිය)

දින කීපයක් ලියන්න බැරි උනේ ටිකක් වැඩ වැඩි උන නිසා. ඔන්න මං නැවතත් ලියනවා. මානව හිමිකම් සම්බන්ධයෙන් ලියන සිව්වැනි ලිපිය මේක. මීට ඉහත ලිපි නොබැලුවානම් ඒවත් බලලම එන්න. හැබැයි මං මේ ලිපි වලින් බලාපොරොත්තු වෙන අරමුණ ඉටුනොවෙනවා වගේ හැඟීමක් තිබුනත් තව දුරටත් ලියන්න හිතුවා. මට අවශ්‍ය මේ සම්බන්ධයෙන් සංවාදයක් එහෙමත් නැත්නම් කතිකාවක් ගොඩනගන්න... ඒත් එහෙම දෙයක් වෙනවා කියලා පේන්න නැහැ. මොකද මානව හිමිකම් සම්බන්ධයෙන් පත්තර වල නිතරම ලිපි පලවෙනවා. පොත් පත් ලියවෙනවා. මම කැමති නැහැ මේ ලිපි පෙල ඒ ගනයටම වැටෙනවට. මොකද බ්ලොග් එක සජීවී මාධ්‍යක්. අපි පොතක් කියවලා වහලා දාන එකට වඩා වැඩි යමක් බ්ලොගයක් හරහා කරන්න පුලුවන්. මං බලාපොරොත්තු වෙන්නේ ලිපිය හොඳද නරකද කියලා කමෙන්ටු දාන එක නෙමෙයි. ගොඩ නගන්න උත්සහ කරන්න සංවාදයක්. මේ ගැන අත්දැකීම් තියන අය ඒවා බෙදාගන්න කියන එක. 


හරි දැන් කථා ඇති. බහිමු මාතෘකාවට. අපි කථාකරමින් හිටියේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිඡ්චේදයේ 11 වැනි වගන්තිය නොහොත් “ගුටි නොකා සිටීමේ අයිතිය“ සම්බන්ධයෙන්. එතනදි අපි එහි අඩංගුවෙන වචන එකින් එක විග්‍රහ කරමින් තමයි හිටියේ. මෙහි සදහන් අනෙත් වචනය තමයි අමානුෂික කියන එක. වචනයේ තේරැමෙන් කියවෙනවානේ මේ කියන්නේ මොකක් ගැනද කියලා. ඒත් මේ සම්බන්ධයෙන් නීතිපොත්වල පැහැදිලි නිර්වචනයක් නැහැ. බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ විවිධ නඩු තීන්දු උදාහරණයට අරගෙන පැහැදිලි කරන එක. ඇත්තටම මොකක්ද අමානුෂික කියන්නේ. අ...මානුෂික. එහෙමත් නැත්නම් මනුෂ්‍යත්වයට නොගැලපෙන යන්නයි. දැන් නැවතත් ඔබේ මතකයට එන්නේ විවිධ ආකාරයේ ශාරීරික වධ දීම් ගැන. ඒත් ශරීරයට කිසිම පීඩාවක් නොකරත් අමානුෂික සැලකීම් සිද්ධ වෙන්න පුලුවන්. 

මං පොඩි උදාහරණයක් කියන්නම්. මං වවුනියාව පැත්තේ වැඩකරන කාලේ අත්දැකපු දෙයක්. අපි සමහර අවස්ථාවල ඒ පැත්තේ ඉන්න යම් මට්ටමක් උසස් නිළධාරීන්ව හමුවෙන්න යනවා. අත්‍යාවශ්‍ය කාරනා වලට නොවුනත් පොඩි පොඩි “චැට්“ දාන්න. ඔවුන් නොදන්නවා උනාට මේක අපේ රාජකාරියේම කොටසක්. (නැහැ බොන්න නෙමෙයි... මං මගේ සේවා කාළයේදී පොලිසියෙන් හෝ කිසිම රජයේ ආයතනයකින් තේ එකක් වත් බීලා නැහැ) මේ එක්තරා අපරාධ අංශ ස්ථානාධිපති කෙනෙක් කියපු කථාවක්. ඇත්තටම මොහු හොද දැනුමක් තියෙන පරිනත නිළධාරියෙක්. නීතිය ගැන හැම දෙයක්ම දන්නවා. කිසිම අවස්ථාවක් කථා කරලා බේරෙන්න අමාරැයි. මං බොහෝ දේ මේ නිළධාරියාගෙන් ඉගෙනගත්තා. දවසක් මං ඔහු හමුවුන අවස්ථාවක අපි අතර වෙච්ච සංවාදයක් මේක. 

නිළධාරී - මිස්ටර්ට කියන්න මං ඔය ප්‍රශ්ණ කරන්න මිනිස්සුන්ට ගහන්නේ නැහැනේ. නීතිය දන්න කෙනෙක් විදියට මං කවදාවත් නීතිය කඩන්නේ නැහැ. 

මම - එතකොට මහත්තයා කොයිවගේ ක්‍රමයක්ද අනුගමනය කරන්නේ.. 

 නිළධාරී - මං කරන්නේ ඉස්සල්ලම හොඳින් අහනවා... කියන්නේ නැත්තන් තමයි මගේ වැඩේ පටන් ගන්නේ.. කොහොම හරි ඩීඕ (Dentation Order/ රඳවා ගැනීමේ නියෝග) ගහලා  කොහොම හරි දවස් දෙක තුනක් තියාගන්නවා.. අතක්වත් තියන්නේ නැහැ... හැබැයි කන්න දෙන්නේ නැහැ.. දෙවැනි දවසේ විතර හොඳට කොච්චි මිරිස් එහෙම දාපු කොත්තු රොටියක් දෙනවා කාපං කියලා... මුත් එලෝ මෙලෝ නැතුව කනවා... වේල් දෙක තුනක් නොකා හිටිය නිසා උන්ට කටට දැවිල්ල දැනෙන්න ටික වෙලාවක් යනවා... 

මම - ඉතිං.. ඉතිං... 

නිළධාරී - මිස්ටර් හිතන විදියට දැන් මොනාද මුට ඕනේ... 

මම - වතුර 
නිළධාරී - ඔව්... වතුර.. හැබැයි වතුර දෙන්නෙ නැහැ... වීදුරැව පෙන්න පෙන්න ප්‍රශ්ණ කරනවා... අනිවාර්යෙන්ම ඌ දන්න දෙයක් තියනවා නම් කියනවා.. ඒකේ දෙකක් නැහැ.. අත්දුටුයි.. ප්‍රත්‍යක්ෂයි... 

මෙය ඉතා දරැණු තත්වයකි.. භාහිර ශරීරයට වන හානියට වඩා අභ්‍යන්තරික වශයෙන් වන හානියේ බලපෑම වීශාලය. මෙවැනිම තවත් සිද්ධියක් සම්බන්ධයෙන් පලවුන පුවත් පත් වාර්ථාවක් මේ තියෙන්නේ. 


සිද්ධිය සරළව කිව්වොත් මෙසේය... ඔහු ආබාධිත රණවිරැවෙකි.. හිසේ ආබාධයකින් පලෙයි. එක් පාදයක් අහිමිව ඇත. කෘතිම පාදයක් භාවිතා කරයි.. ඔහු සිය සොහොයුරා සමග වැලිසර නාවුක හමුදා කඳවුරට ගොස් මෝටර් සයිකලයකින් නැවත පැමිනෙමින් සිටියදී කඳාන පොලිසියේ නිළධාරීන් විසින් නවතා තිබේ. හමුදා නිළධාරියා තම ආබාධය හේතුවෙන් හෙල්මට් නොපැලඳ සිටි අතර ඒ ගැන අදාළ පොලිස් නිළධාරීන්ට පැහැදිලි කලද ඔවුන් එය පිළිගෙන නොමැත. පසුව ඇතිවු බහින් බස් වීමේ දී මේ පුද්‍ගලයාට සහ ඔහුගේ සහෝදරයාට පහර දී අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ගෙන ගොස් ඇත. පසුව ඔහුගේ සහෝදරයාව කූඩුවට දමා "උඹ අපිට නේවි පාට් දානවා" දැයි කියා මේ නිළධාරියාට පහර දී ඇත. තවද ඔහුගේ ‍කෘතිම පාදය ඉවත්කර පොලිස් ස්ථානයේ කොරිඩෝවේ "බට්ටා" පනින්නට නියෝග කර ඇත. මොහු ‍ලුතිනන් වරයෙකි. ලුතිනන් වරයෙකු යනු නාවික හමුදාවේ උසස් නිලයකි. මොහුගේ පාදය අහිමිවුනේ හොර‍ පොල් කැඩීමට ගොස් නොවේ. මේ නිළධාරියාට සිදුවු මානසික බලපෑම කෙතරම් විය හැකිද ? තවත් මෙවැනි සිද්ධීන් කොතෙකුත් සිදුවිය හැකිය.

පසුගිය වක වානු‍වේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයින් බොහෝ දෙනා සඟවා තිබු අයුධ ‍සොයාදෙන්නට ගොස් වෙඩි කෑවෝය. අපි හිත යටින් සිනාසිමු. "පාතාලයන්ට හොඳ වැඩේ".. අපි සිතිමු... බළධාරීන්.. නිහඬව සිටියහ... පසුව එය තමන්ගේ "හොර ගෑනි" ට විහිළු කල තරැණයින් උස්සාගෙන ගොස් වධ දී මරා දමන්නට තරම් වර්ධනය විය... එම සිද්ධියේ අපරාධකාරයින්ට දඬුවම් ලැබුන බව සැබෑවකි.. ඒත් අර තරැණයින්ට නැවතත් ජීවිතය ලැබුනේ නැත. ඒ දෙමව්පියනට දරැවන් ලැබුනේ නැත.

මෙය ඔබට.. මට ඕනෑම මොහොතක සිදුවිය හැකිය... ...මෙය අවසානය නොවනු ඇත... ටික කලකදී මෙය අපට අමතකය.... ඒත් අනතුර තවමත් අප වටා කරකකෙමින් සිටියි...

ඊලඟ ගොදුර ඔබ විය හැකිය...

5 comments:

  1. සොයුර මේ ලිපි පෙල තුලින් ඔබේ එක් අරමුනක් සංවාදයක් ගොඩ නොනැගෙන එක කෙසේ වෙතත්..මේ ලිපි පෙල හරහා අපි බොහෝ දේ ඉගෙන ගන්නව..බහුතරයක් පොලිසියෙන් අසාධාරනයක් උනත් නිහඬව ඉන්නෙ..ඒ නිහඬ බව.. එරෙහිව නැගී සිටීමට වඩා හොඳ නිසා නේද? හෙරොයින් ග්‍රෑම් 2ක් හෝ අත් බෝම්බයක් ලඟ තිබුනොත් නීතියෙන් ලැබෙන දඩුවම දන්නව නේද?මෙව්ව ජීවිතේටවත් නොදැකපු අහින්සකයො කී දෙනෙක් අදටත් හිරේ ඇති. ඔව් අද එයාට හෙට මටම තමයි..ඒත් වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ???

    ReplyDelete
  2. තව ලිපි ඉක්මනට බලාපොරොත්තු වෙනව..

    ReplyDelete
  3. තරහ නැනේ ගොඩාක් කලකින් ගොඩ උනේ මේ පැත්තට දීර්ඝ ලිපි බලන්න වෙලාවත් තිබුනේ නෑ...දැන් තමයි බැලුවේ....නීතිය
    කියන්නේ කාටත් එක සමානව ක්‍රියාත්මක විය යුතු දෙයක් උනත්.අපේ රටේ ඒ කියන්නේ ශ්‍රි ලංකාවේ මේ දේ වෙනවද කියන එක තමා ප්‍රශ්නේ........

    ReplyDelete
  4. ඇත්ත කතාව, කොයි වෙලේ අපිටත් පත්තු වෙයිද දන්නෙ නැහැ ....

    ReplyDelete
  5. ඉතාමත්ම වැදගත් ලිපි පෙලක්. බොහෝම ස්තූතියි

    ReplyDelete