Showing posts with label මානව අයිතිවාසිකම්. Show all posts
Showing posts with label මානව අයිතිවාසිකම්. Show all posts

Tuesday, December 1, 2015

නොදුටු අඩ..


 (ඡායාරෑප අයිතිය ෂෙහාන් ගුනසේකර)

අතක් උස්සලා ගැහැව්වත් මම..
අරන් කුළු පොළු දිගුකරන්..
හිතුවේ නැහැ නුඹ හට පෙළන්නට..
ඇසට කඳුලක් එක්කරන්..
මටත් ඉන්නව දුවෙක් නුඹ වගේ..
මගේ දුව මට රත්තරං..
හිතක් තියනව දන්නවද මට..
කාකි නිල ඇඳුමට යටින්..

ලොක්කා කියනවා "පලා පිය ඔළු"..
මුන්ගේ "ලොකු උණ" බහින්න..
නොකෙරුවොත් මම උන්ගේ හැටියට..
වෙන්නේ කරදර විඳින්න...
හවස් වෙනකොට උන්ගේ පාටියේ..
වේටර්ගේ වැඩ කරන්න..
"බයිට්" ඇද ඇද "ඩ්‍රින්ක්ස්" වක්කර..
උන්ට කට රස කරන්න..

නිවාඩුත් නැති වැඩත් අඩු නැති..
පොලිස් වැඩ වල හිරවෙලා..
මාත් මගේ කෙස් හැලිලා යනකං මුංගේ..
විදියට වැඩ කලා..
තවත් අවුරුදු දෙක තුනයි මට..
යන්න මේකෙන් ගැලවිලා..
නොකෙරුවොත් මුන් කියන විදියට..
"පැන්සමට" යයි කෙලවිලා..

ගමෙන් ඇවිදින් කොළඹ රස්නෙට...
පාරවල් වල ඇවිදලා..
මහපොලේ සොච්චචමත් අරගෙන..
වේල දෙක මග හරවලා..
කොහු මෙට්ටේ උඩ කීන් සද්දෙට..
කෑගහන උන් එළවලා...
මමත් දන්නවා විඳින දහදුක..
ඉගෙන ගන්නට වෙහෙසිලා..

උඹලා ඉල්ලුවේ  "ලේ" නොවේ දුව...
ඉගෙන ගන්නට නිදහස...
මුන්ට ඒ ගැන කිසි වගක් නැහැ...
උන්ගේ බලයේ ඝනකම...
මගේ දුවටත් යන්න පාරක්..
හදන්නට මම ලඟදීම..
මේක ගලවලා එන්න හිතනවා..
මැරෙමු අපි මුන් මත්තෙම..

Sunday, March 2, 2014

“ලොකු බේබිගේ වීර ක්‍රියා“ අංක 1 - කකුල පිච්චු දැරිය..


(ඡායාරෑපය ශෙහාන් ගුනසේකර සහෝදරයාගේ මුනු පොතෙනි)

දැන් දැන් අපට අසන්නට ලැබෙන්නේ අමුතුම ආකාරයේ පුවත්ය... රජයේ නාළිකා වලින් පමනක් තොරුතුරු දැනගන්නා මහජනයාට අසන්නට දකින්නට ලැබෙන සුරපුරය ලොව අන් කිසි රටකට නොදෙවැනිය... එය ඒ තරමටම ආශ්චර්යමත්ය.... ඊට අමතරව දවසින් දවස “බේබි“ ලාගේ වීර ක්‍රියා ගැනද අසන්නට ලැබේ... මේ වීරයන් අතීතියේ අප අසා ඇති, අපේ රටේ බිහිවු ජාතික වීරයන් යයි සම්මත කොටසට වඩා ප්‍රාතිහාර්යය පාන්නට දක්ෂය... ගලිවර්ට වඩා යෝදය... ටින් ටින් ගේ වීර ක්‍රියා වනට වඩා ඥාණසම්පන්නය.... ෂර්ලොක් හෝල්ම්ස් ගේ රහස් පරීකෂණ වික්‍රමයන්ට වඩා තීක්ෂණය.....මේ වීර ක්‍රියා ගත්කල අතීත වීරයන් කල කී දෑ හී වටිනාකම “පයිසෙට“ වඩා ටිකක් වැඩිය.... 

මේවායිනුත් වැඩියෙන්ම අසන්නට ලැබෙන්නේ “ලොකු බේබි“ ගේ වීර ක්‍රියා ය... එක් පසකින් ගත් කල මේවා කථාංගය...... එකිනෙකට සම්බන්ධය....  “කකුල පිච්චු දැරිය“ එහි නවතම කථාංගයයි... එය ෂර්ලොක් හොල්ම්ස් ගේ තීක්ෂණ බුද්ධියට කරන අභියෝගයකි... කථාව සරළව මෙසේය.... ගුරවරයෙක් විසින් සාමාන්‍ය පෙල පන්තියේ දැරවියක මෙහෙකාර සේවයේ නොහොත් “වැඩකාරකමට“ යොදවයි... අපට නොකිව්වත් ඒ තුල අපහරනයක් හෝ කුට්ඨනයක් නොහොත් සුද්ද භාෂාවෙන් “සොර අඹු“ කමට තබාගැනීමක් සිදුවිය හැක... පසුව ඇයට සිදුවන අසීමිත පීඩා හමුවේ ඇය නිවසින් පැනයාමට තීරණය කරයි...  එසේ පැනයන දැරියට ගුරුවරයා විසින් තර්ජනය කරනු බලන්නේ ඇය නැවත කෙසේ හෝ තම නිවසට ගෙන්වන බවට අනතුරු අඟවමිනි.... ඔහුගේ කියමන සනාථ කරමින් ඒ දැරිවියට ඇතිවන යම් කායින හෝ මානසික රෝගී තත්වයක් හමුවේ ඇයව නැවතත් අර ගුරුවරයා ලඟටම ගෙනයාමට සිදුවන්නේ ඇයට යම් ශාන්තිකර්මයක් වැනි යමක් කරවා ගැනීමටය.... මේසේ ගෙනයන දැරිවියට වැහුනු යක්ෂයා පැන්නවීම සඳහා ගුරුවරයා විසින් ඇයලේ දෙපතුල රත්කරන ලද යකඩයකින් පුළුස්සනු ලබයි.... කථාව ඉවර නැත... අවසානයේ යක්ෂයා පැන්නීම කෙසේ වෙතත් දැරිය රෝහල් ගත කිරීමට දෙමව්පියන්ට සිදුවේ... මෙය පැහැදිලිවම ශ්‍රී ලංකාවේ බලාත්මක අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාර වරදකි.... එය එසේ වුවත් ගුරුවරයා සතු යම් ආකාරයක “බලයක්“ හමුවේ නීතිය නිසියාකාර ක්‍රියාත්මක නොවේ.... 

(බස මරා අවසන්... මෙතනින් පස්සේ තමයි “පයිට්“ කෑලි පටන් ගන්නේ...)

මේ සිද්දිය අමු අමුවේම ආරංචි වෙනවා මොනරවාහිණියට... මොනරවාහිණියේ රිපෝටර් ඇත්තෝ සිද්ධිය අඩු වැඩියත් සපයලා “ලයිව් ඇට් එයිට්“ එකේ දානවා.... අැත්ත තමයි සිද්ධිය. කෙල්ලගේ කකුල් දෙක පතුරු ගහලා.... ගුරුවරයා පොලිසියේ කට්ටියත් එක්ක සෙට්ලු... ඒක නිසා පොලිසිය නිහඩයි ලු......දවසක් දෙකක් යනවා.... ඔන්න ඔය සිද්ධිය නිසා අපේ ලොකු බේබිගේ ලැම්බෝගිනි යේ සීට් එක රත්වෙනවා.... ලොකු බේබි කෙලින්ම කෙල්ලව හොයගෙන කෙල්ලගේ ගෙදරටම යනවා... කකුල් දෙක පරීක්ෂා කරලා බලලා වහාම රෝහල් ගත කරන්න කියලා දෙමව්පියන්ට උපදෙස් දෙනවා... දොස්තරලා කඩියෝ වගේ වැඩ.... කෙල්ලගේ එක කකුලක් එක දොස්තර කෙනෙක් බලනවා... අනිත් කකුල තව දොස්තර කෙනෙක් බලනවා.... නර්ස් කෙනෙක් කෙල්ලගේ කකුල් දෙක මැද්දෙන් අත තියාගෙන ඉන්නවා... කෙල්ලගේ ගවුම ඉස්සලා අපයෝජනයට ලක්වෙයි කියලා..... දොස්තරලා තීරණය කරනවා වහාම කෙල්ලව කොළඹ මහ රෝහලට යවන්න ඕනේ කියලා... දොස්තර හිතනකොට ඇම්බියුලන්ස් එක වේගෙන් ඇවිත් “කරාස්“ ගාලා බ්රේක් ගහගෙන දොර පඩිය ගාව නවත්වනවා... දොස්තර කෙනෙක් එක්කම කෙල්ලව දාගෙන ඉගිල්ලෙනවා.... (කථාව තාම ඉවර නැහැ)

“ලොකු බේබි“ වහාම පොලිසියට නියෝග කරනවා මේ ගැන පරීක්ෂණ පවත්වලා ගුරුවරයා අත්අඩංගුවට ගන්න කියලා.... ඕඅයිසී ටෙලිෆෝන් එක බිම තියන්න කලින් ජීප් එක දොර ගාව.... යනවා කට්ටයි... ගිහින් ගුරාව කුදලගෙන එනවා.. .එන ගමන්ම ජාතික ළමාරක්ෂක අධිකාරියට කොල් එකක් දාලාම වැඩේ ගැන කියලා.... එයාලා කොළඹින් පිටත් වෙනවා පරීක්ෂණය කරන්න.....  මේ මුලු ක්‍රියාවලියම සිද්ද වෙන්න ගතවෙන්නේ දවසයි... 

දැන් මේ සිද්ධිය ඒ ගමේ මිනිස්සුට ආරංචි වෙනවා... මිනිස්සු ලොකු බේබි ගැන මහා ශ්‍රද්ධාවක් ඇතිකරගන්නවා.... පොඩි මිනිහාගේ වැඩකට ලොකුම තැනින් වෙච්ච මැදිහත් වීම ගැන... අර දැරිවිගේ අම්මයි තාත්තයි බේබිට මල් තියලා වඳිනවා... සමහර විට අර බෙදපු පොතක් එහෙම ඒ දැරවි ගාව තිබ්බා නම් ඒකේ මුල පිටුව කඩලා බුදු පිළිමෙට උඩින් එල්ලාවි.... ගමේ ලිඳ ගාව,  කඩ පිළ ගාව, බණ මඩුවේ බේබිගේ වික්‍රෙම් ගැන කථා කරනවා... අනේ අපේ බේබිට පින් සිද්ධ වෙන්න අර කෙල්ලට බෙහෙතක් හේතක් කරගන්න පුලුවන් උනා... ගුරාව පොලිසි ගෙනිච්චා..... බේබි ට පින් සිද්ධ වෙනවා... වයසක අම්මලා කියනවා.....
---------------------------------------------

මේ අපේ රටේ සබෑ තත්වයයි... පසුගිය වසර කීපයක සිටම මෙවැනි සිද්ධින් ගනනාවක් අපට අසන්නට දකින්නට ලැබිනි... මාස කීපයකට පෙර බෝගම්මර බන්ධනාගාර රැඳවියන් පිරිසක් වහලයට නැග උපවාස කරමින් ඉල්ලා සිටියේ “ලොකු බේබිව“ ගෙන්නවා තමන්ගේ ප්‍රශ්ණය විසඳා දෙන ලෙසයි.... රටේ ජනතාව තේරුම්ගත යුතු කරුණක් ඇත... රටේ පාලකයින් යනු කරවන්න් නොව කෙරවීමට අදාල ක්‍රමවේද සකසන්නන්ය.... පොලිසියේ රාජකාරිය නීතය බලාත්මක කිරීමය... අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමය... ඔවුන් පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමය.... අදාලා අංශ දැනුවත් කිරීමය.... සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමය.... අධිකරණයේ වගකීම වන්නේ අදාල කරුණට අනුව පවතින පරිවේශණීය සාක්ෂි හා වාචික ප්‍රකාශ කරුණ තර්ක පදනම් කරගෙන නඩු කටයුත්තට ආදාල පුද්ගලයින් වැරදිකරුවන් යැයි ඔප්පු වුවහොත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් පැමිනවීමය... එසේත් නැත්නම් නිදෝස් කොට නිදහස් කිරීමය.... මේ ක්‍රියාවලිය නිිසියාකාරව සිදුවෙනවා දැයි පරික්ෂාකරන්නට වෙනම කණ්ඩායමක් පත්කර ඇත... බේබිලා ඇතුලු ආණ්ඩුව විසින් කල යුත්තේ මේ පවතින පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමය... පොලිසියට ස්වාධීන්ව තමන්ගේ රාජකාරීන් ක්‍රියාත්මක කල හැකි පරිසරයක් නිර්මාණය කරදීමය... දේශපාලන අතපෙවීම් වැලක්වීමය.... ස්වාධින අධිකරණ පද්ධතියක් බිහිකිරීමය... කොටින්ම කිව්වොත් පවතින ක්‍රමවේදය නිසිපරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමය......

අපිට නොතේරෙන්නේ ද  ...  උන් නොකරන්නේ ද ... එයමය...

Monday, April 29, 2013

අනේ මට කොන්ඳක් දෙන්න....



නිරැවත් වෙලා ලෝකයටම ඇගේ වත...
දෙවියන් පවා බිය වි ඇය ඇතැර ඇත....
වට වී බලා සිටිනා සේ නොම දත්ත....
නොදකින් අපි වගේ කොන්ඳක් නැති හැත්ත...

තිස්තුන් කෝටියක් දෙවිවරු වඩින රටේ...
වංචා දුෂණය බැලු බැලු හතර වටේ...
පෑගෙන එකා පාගාගෙන හැටට හැටේ...
නැගලා පියාබති ලොක්කෝ මොනරු පිටේ....

දුප්පත් එකා මහ උළු ගෙදරට යනවා....
බලේ තියන තැන උන් නිති වැජඹෙනවා...
දෙවියනි කෙසේ නම් අපි තව ඉවසනවා....
රතු ලේ සුදු වෙලා ඇඟතුල නලියනවා....

ඇත්ත දැන දැනම බොරුවට රැවටෙන්න...
ආසාධාරණය දැක දැක තව නිදියන්න....
රට වනසන එවුන් මේ ලෙස අගයන්න...
ඒ වැනි වෙන පවක් නැහැ, බැහැ ඉන් ගැලවෙන්න...

බඩ පොතු ඇලී පිට පොතු එළියට එනවා....
අපි පත්කල එවුන් අපිටම බැට දෙනවා...
අපි කන වේල් තුන එක වේලට කනවා...
අපි කෙට්ටුවට උන් හරහට උස යනවා...

බෙදිලා දෙකට හතරට සහ හය හතට...
ඉන්නා නිසා උන් හරි කැමතියි අපිට...
එකතුව එකා මෙන් දෑතම එකතු කොට...
නැගිටින තුරා නැහැ කිසි සෙත අප රටට...

බලයත් උන්ටමය නිලයත් උන්ගෙමය...
තීරණ උන්ගෙමය උන්හට වාසිමය....
දුරදිග සිතන්නේ බලයට පමණමය....
අපි රට ගැන හිතද්දී උන් හිත උන් ගැනය...

පගා කොමිස් හොර ජාවාරම් හැමත....
නීතිය රකිනෙකා හට මරණය මය නියත...
නියවා විළිස්සා දත්, දිගහැරලා දෙඅත...
එළවා පහර දී එල්ලයි හතර අත...

ඇඳිවත ඉරා පාගාගෙන එකා මෙන....
උරාගෙන ඇගේ සාරය පෙරාගෙන...
කන්නට හදන කල මුන් ඈ මේ ලෙස මරාගෙන..
ඇයි අපි තව තවත් ඉන්නේ බලාගෙන...

ඇස් කන් වසාගෙන හැම දුක ඉවසගෙන...
තව හිටියොතින් නම් නැහැ මරණය මිසක් වෙන...
එකතුව එකා මෙන් එක පෙළ හැදීගෙන....
වරෙව් යමව් මැරෙමුද මුන් මරාගෙන...

Saturday, April 6, 2013

ඇයව එල්ලා දුෂණය කලවුන්ට අපි ඡන්දය දෙමු.....



ඔන්න කාලෙකින් මමත් ආවා බ්ලොගේ පැත්තේ.. එහෙම නම් හැමෝටම මේ සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද සුභ එකක් වේවා කියලා පතලම වැඩේ ආරම්භ කරන්නම්....

මේ කාලේ එක එක ජාතියේ රැළි තියනවනේ... සමහර ඒවා ජනතා රැළි... එක එක පාට... එක එක පක්ෂ ජනතාව මැදි කරගෙන ඒ ඒ අයගේ මතය සමාජයට ගෙනියන්න උතසහා කරනවා.... ඒ අතරේ කාලයක් වැස්ස වහින්න කියලා පොල් ගහලා ගහලා පොල් මිලත් වැඩි වෙලා තියනකොට දෙන්න පටන් ගත්ත වැස්ස නිසා දැන් ලංකාව පුරමා වැව් පිරිලා ඒවායෙත් රැළි ඇතිවෙලා තියනවා මම ප්‍රවෘත්ති වල දී නම් දැක්කා... ඔය අතරේ හැමදාම වගේ වැස්සත් නොවැස්සත් ගහන රැල්ල මුහුදු රැල්ලත් දැන් සැරයි කියලා තමයි ආරංචිය... හැබැයි අද මේ කථා කරන්න යන්නෙ ඔය කියන එක රැල්ලක් ගැනවත් නෙමෙයි.... දැන් දැන් බුකියේ වගේම වෙනත් සමාජ ජාලා ඔස්සේ ඇදිලා යන තවත් රැල්ලක් ගැන.... ඒ රැල්ලේ හැටියට ඒ රැල්ල මතු කරන උදවිය කියන දේ තමයි දැන් දැන් අන්තර්ජාල දේශපාලණ මත වැහි වැහැලා කියන එක... එහෙමත් නැත්නම් “සමහරැ යුද්ධ කරන්නේ බුකියේ“ කියලත් කියනවා මම දැකලා තියනවා..... ඒ වගේම සමහරැ කියනවා ඔය බුකියේ, බ්ලෝගේ දේශපාලණ පන්ඩිතකං කථා කරලා රට හදන්න බැහැ යි කියලාත්....ඒ එක්කම තව සමහරැ කියනවා මුං බකපණ්ඩිත සයිබර් දේශපාලකයෝ කියලත්.... 

මේ දේවල් අහගෙන ඇසි කන් පියාගෙන ඉන්න බැරි නිසා මමත් තීරණය කලා මින් මත්තට සයිබරේ දේශපාලනේ ගැන කථා නොකරන්න.... ඒ නිසා අද මම කථා කරන්න යන්නේ ආදරය... විශ්වාසය..... සෙනෙහස.... වගේ දේශපාලනේ නොගෑවිච්ච කාරනා කීපයක් සම්බන්ධයෙන්....

එහෙම කියලා බැළුවට අද දේශපාළණේ සම්බන්ධ නැති දෙයක් හොයාගන්න එක “කළු ණික“ හොයනවට වැඩිය අමාරුයි....ජීවිතේ හැමදේම අලෙවි වෙන කාලේ කථා කරන්න තියන මාතෘකා බොහොම සීමිතයි ... එක්කෝ දේශපාලනේ.. එහෙම නැත්නම් ආදරේ... ඒ එක්කම ගැටෙන ලිංගිකත්වය.. විකිනෙන් සිරැරු..... ආදරේ හොයගෙන යන ගෑණු...... කෙල්ලට පිහියෙන් අනින පිරිමි..... කුණු වෙච්ච අල.... හොරට විකිනෙන බේහෙත්..... දොස්තරලාගේ වැරදි... හම්බයන්ගේ ගනන්.... හාමුදුරුවන්ගේ චන්ඩිකම්... වගේ එකී නොකී බොහෝ දේ ඇරෙන්න ලංකාවේ වෙන දේවල් ගැන කථා කරන්න තියන මාතෘකා බොහොම අඩුයි... මොන පාට දෙකේ නාලිකා වල ප්‍රවෘත්ති ඔක්කොම එකතු කරලා දෙකෙන් බෙදලා.... පහෙන් වැඩිකරලා.... දහයෙන් බෙදලා තමයි පැහැදිලි විස්තරයක් ගැන දැනගන්න වෙන්නේ....
මොනවා නැතත් අද අද එයි මරැ පිං කරගන්නේ කියලා කියනවා වගේ දැන් දැන් රටේ වැඩි වෙන භීෂණේ වගේම විරුදධවාදීන් නිහඬ කරවීමේ ක්‍රියාවලිය දැක්කමා අපි මේ නැවතත් යන්නේ අතීතෙටද කියලා සැකයක් ඇතිවෙනවා....

අද මැදිවිය පහුකරන අපේ දශකේ බොහෝ තරුණ තරුණියෝ භීෂණ දෙකක් අතිවින්දා... 71 දී භීෂණේ වක්‍රාකාරයෙන් අත්වින්ද 83 දී වාර්වාවාදය අත්වින්ඳා...... අපි 88/89 දී කායික සහ මානසික වශයෙන් භීෂණේ අත්වින්ඳා..... ඒකට මුන දුන්නේ අපේ අම්මලා අමතක කරපු දෙවරක් වින්ඳ භිෂණේ... මිනි කඳු... සිටුවා වෙඩි තැබීම්... දෑස් බැඳ ඝාතනයන්... තුන්වරක් වින්ඳ අපේ පරම්පරාවට තාමත් අමතක වෙලා නැතිව ඇති.... පසුකාලීනව ඇතිවෙච්ච මරාගැනීම් සහ මරාදැමිම් හමුවේ මරණය... භීෂණය සහ ඝාතනය අපිට බොහොම සරළ දෙයක් උනා... හැමදාමත් කියකවා වගේ උන්ගේ 30 අපේ 15 ක්, අපිට 10 ක් ලාභයි කියන මානසික උත්තේජනය හමුවේ අපි බොහෝ තෘප්තියක් ලැබුවා... කණුවක එල්ලෙන සිරුරක්.... ජොනී බට්ටෙක්ගෙන් වෙන් උන කකුලක්..... අපිට ගෙනවා නොදැනුන අප්පිරියාවක් වගේම ප්‍රකාශිත සතුටක්.... කෙනෙක්ගේ මරණය යම් ජාතියට සතුටක් ගෙනදීම රටක ජාතිකමය වශයෙන් කොයිතරම් ඛේදනීය තත්වයද යන්න අපිට තාමත් නොතේරීම යම් ප්‍රශ්නයක්.... ඔය දේවල් එක එක දැකගෙන සිරි නරඹගෙන එකකොට මම දැක්කා බොහොම අපුරු පොස්ට් එකක් අපේ රංජිත් සහෝදරයාගේ... මට දැනුන විදියට මම පිළිගන්න දර්ශණේ අනුව ඒක බොහොම වැදගත් කියලා මට හිතුනා.. මගේ බ්ලෝගේ මල සිට අගටම ගත්තොත් මම පිළිගත්ත, මම අදහපු දර්හණයක් තමයි අපේ රටේ ලිංගිකත්වය ගැන දරන ආකල්පය විවෘත්ත නැහැ කියන එක.... අපි හැමදාම හැදුවේ අනුගමනය කලේ වහලා ගහන දර්ශණයක්.... ඒ ගැන වෙන මොනවත්ම අටුවාටිකා නොකියා උදාහණ දෙන්න පුලුවන් දෙයක් මෑතකදී මම මුණු පොතේ දැක්කා...

 ඇත්තටම මේක සත්‍ය සිද්ධියක් නම් අපේ ළමා හෝ තරුණ පරපුර අද ඉන්නේ කොතැනද කියන එක නැවතත් හිතන්න වෙනවා. බොහොම සරළ සහ භෞතික න්‍යායක් වන ගැබ්ගැනීම සම්බන්ධයෙන් අපේ රටේ තරුණ පරපුරගේ දැනුම ගැන නැවතත් අවධානය යොමු කල යුතුයි කියන අදහස මේ තුලින් අතිවෙනවා. පහුගිය වැලන්ටයින් මෙව්වා එකේ දී අර කොළඹ කෙල්ලෝ කොල්ලෝ කට්ටියක් කොන්ඩම් ගැන “වෙළඳ“ ප්‍රචාරණ දැන්වීමක් දැම්මානේ. උන් ඒ ඉංගිරිස් වලින් කියන්න හැදුව දේ කවදාවත් අපේ රටේ බහුතර ග්‍රාමීය ජනතාව අතරට නොයන බවට හොඳම සාක්ෂියක් තමයි මේ කොටස. මම දැකපු විදියට ඒ කොන්ඩම් දැන්වීම හුදෙක්ම සීමා වෙලා තිබුනේ එක්තරා පැලැන්තියතට පමණයි. ඒ අපි උඹලා වගේ මුහුදු වෙරළේ වැටකෙයියා පඳුරක් අස්සේ හෝ පොලිසියෙන් පනියි කියලා බයේ ආතල් ගන්න තැන් වලට එහා ගිය... බොත්තම මහලා.. කොන්ඩ කට්ට ගහලා පෙම්වතුන්ගේ දිනය සමරණ ආදරවන්තයින්ට නෙමෙයි. උන් කියන්න හදන කථාව ප්‍රධාන බොහොම සරළව විග්‍රහා කලොත් අපේ අම්මා නම් ඉස්සර අපිට කිව්වේ වැස්සේ තෙමෙන්න එපා හෙම්බිරිස්සා උණ හැදෙයි කියලා.... මුන් කියන්න හදන්නේ වැස්සේ තෙමුනට කමක් නැහැ හැබැයි රේන් කෝට් දාලා නම් කියලා... සරළව හිතලා බලන්න අපි හදන්න ඕනේ අකල් වැස්සට තෙමෙන එකද... රේන් කොට් නොදා වැස්සේ තෙමෙන එකද කියලා ගැටළුවක් මට නම් ඇති උනා....

අනෙත් කාරනේ තමයි උන් ඒ දැන්වීම දාන්න තොරගත්ත කාලය.... ඔන්න ඕක “ලෝක ඒඩ්ස් දිනය“ වගේ දිනයකදී ප්‍රචාරය කලා නම් ඒ ගැන යම් එකගතාවයකට එන්න තිබුනා... නමුත් පෙම්වතුන්ගේ දිනයදී ඕක පලකිරීම ගැන නම් නැවත හිතාබලන්න ඕනේ.. ඒක හරියට හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වගේ වැඩක්.... ආදරවන්තයින්ගේ දිනේ දී සංසර්ගේ යෙදෙනවා නම් කොන්ඩම් පාවිච්චි කරන්න වගේ අදහසක් තමයි මට නම් ඇති වෙන්නේ.. අනෙත් අයට වෙනස් වුනාද කියලා මම දන්නේ නැහැ....

ඔන්න ඔය වගේ දේවල් එක එක විදියට ගලාගෙන යනකොට හලාල් ප්‍රශ්ණේ ආවා.... ආණ්ඩුව මත්තලට දින ගනිද්දී අපි කථා කලේ හලාල් ගැන..... ආණ්ඩුවේ නාලිකාවල පලවෙච්ච දැන්වීම් වලට අනුව මත්තල කියන්නේ සිතූ පැතූ සම්පත් ලබාදෙන “කප්රුකක්“ වගේ මෙව්වා එකක්.... එහෙන් ප්ලෙන් බාන කොට මෙහෙන් සල්ලි පැටව් ගහන වගේ දැක්මක් තමයි ඒ දැන්වීම් වල තියෙන්නේ.... දකුනේ ගොයියෝ මත්තල එයාර් පොර්ට් එකට යන පාරවල් අයින් කුරහන් තලප... රොටී.. බඩ ඉරිඟු... කළු දොදොල්.. රැහුණේ මි කිරි තියාගෙන විකුනණ කොට ප්ලෙන් එකෙන් බැහැලා යන සුද්දෝ මගදී ඒවා අරගන්නවා.... උන් ලංකාට බැස්ස ගමන් නිසා උන්ම මෙව්වවායේ ගන්න දන්නේ නැහැ.. එක නිසා කිරි හට්ටිය රුපියල් 1000 දෙදහාට විකුනන් පුලුවන්... ඒවැයින් ගොවියන්ට ලොකු ලාභයක් ලැබෙනවා... ගොයියෝ දවසට කිරි හට්ටි දෙකක් විකුණලා.. එක්ක බඩ ඉරිඟු කරල් පහක් විකුණලා ..... දොදොල් කිලෝ දෙක්ක විකුණලා දවසේ ආදායම හොයාගන්නවා.... ඉතින් රට සංවර්ධනය වෙන එක අහන්නත් දෙයක්ද....?

ඔය අල්ලපනල්ලේ “හලාල්“ හුට පටේ.... මිනිස්සුන්ට මත්තල ඇඩ් බලන්නවත් වෙලාවක් නැහැ වැඩිවෙච්ච ජාත්‍යාලේ පිට කරගන්න විදියක් නැති නිසා.... ඒ නිසා අහුවෙන අහුවෙන තැන් බල බල ඉක්මනට හොල්ලලා දානවා... හැබැයි පැල්ලම් හිටියාම කියන්නේ මගේ ඒවා නෙමෙයි කියලා... ඒකෙත් හැටි.... මේ වගේ ජාතික වීරයෝත් එක්ක යන උන්ට ගහන්න ඕනේ... මුන් ගුණානන්ද හාමුදුරුවන් ව විකුණලා.... සුමංගල හාමුදුරුවන්ව වෙන්දේසි කරනවා.... ඒක හරියට දෙබරටෙ ගල් ගහලා බලා ඉන්නවා වගේ වැඩක්... මොකද උන් ගල් ගැහැව්වේ දෙඹර කූඩෙට මිසක් දෙඹරැන්ට නෙමෙයි නේ.... අපේ මොට්ට මෝල්ලුන්ට තාමත් නොතේරෙන එකම දේ තමයි පාලකයා සහ පාලිතයා අතර වෙනස.... ජනතාවට පාලනය පිළිබඳ ප්‍රශ්ණ අමතක කරන්න හොඳට ආයුධය තමයි ජනතාව බෙදන එක... උන් දෙගොල්ලෝ බෙදිලා “කෙළ“ ගන්නකොට පාලකයෝ “පුකෙන්“ හිනා වෙවී බලාගෙන ඉන්නවා.. පුලුවන් නම් උන් එක එකා මේක අවුලවන්න එක එක ප්‍රකාශ කරනවා.. එකෙක් මිනිස්සුන්ට උඩගෙඩි දෙනකොට අනිකා ඒකට විරුද්ධව කථා කරනවා... එහෙම කරලා ප්‍රසිද්ධියේ කියනවා ඒ අදාල පුද්ගලයාගේ මතය මිස රජයේ මතය නෙමෙයි කියලා... තමන්ගේ නියෝජිතයෝ තමන්ට පාලනය කරන්න බැරි රජයක් රටේ මහජනතාව කොයි තරම් විශ්වාස කරන්න ඕනේද....?

ඔය ඔක්කොම දේවල් අපි ඉවසගෙන ඉන්නේ අපේ රට ආශ්චර්යය කරා වේගයෙන් යන හින්දානේ.... ඒ අතරේ සාපේ ප්‍රතිඵල ඇවිත් සාපේ, කියන්නේ දරුවෙක්ගේ ජීවිතේ තීරණාත්මක කඩඉමක් වගේම අපේ රටේ පවතින අධ්‍යාපන රටාව ගැන මැනිය හැකි තීරණාමත්මක අවස්ථාවක්.... අපි පාසැල් යන කාලේ අපේ පන්තිවල අපිට ඉංග්‍රීසී උගන්නපු ගුරුවරු අපිට ඒක ඉගැන්නුවේ අපිට කවදාවත් ඉංග්‍රීසි ඉගෙනගන්න බැරි වෙන්න.. ඒ තරමට අපිට ඉංග්‍රිසි අප්පිරියා කලා... අපේ රටේ ආශ්චර්යය කියන්නේ අදටත් අපේ රටේ සාපේ ට වාඩි වෙන මුලු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 11,100 ක් වැඩ නවයම අසමත්... 52.22% ඉංග්‍රීසි අසමත්....  ගණිතය විශය 44.65% ක් අසමත්...

හැබැයි අපි තාමත් ආශ්චර්ය්‍ය හොයන්නේ අපේ පාරවල් කොච්චර කාපට් දාලා ද.... උදේට දුවන්න පාක් කීයක් තියනවද.... එයාර් පොර්ට් එකට ප්ලේන් කීයක් බානව ද වගේ සංඛ්‍යාත්මක වටිනාකම් වලින්....  ආශ්චර්ය්‍ය කියන්නේ නයිට් රේස් වත්.... පපුව පැලෙන්න කථා කරලා ඇස් වලට කඳුළු උනන්න පපුවට ගහගන්න එක නෙනෙමයි කියලා අපිට නොතේරනෙ කාත්.... අපිට වෙන්නේ ලිං මැඩියෝ වැගේ ජීවත් වෙන්න.... මට තේරෙන මගේ ජීවිත් කාලේ තුල අත් වින්ඳේ ආණ්ඩු දෙකයි... අපි එදා කෑගැහැව්වේ යූ ඇන් පී කාරයෝ අවුරුදු 17 ක් මේ රට කෑවා කියලා.... එහෙම කියලා උඩ දාලා පත්කරගත්ත මුන් අවුරුදු 18 කට වැඩියි දැන්..... අපේ රටේ ඉතිහාසය අනුව දිර්ඝ කාලීනව පැවතුනු රජයන් පෙරලෙන්න හේතු උනේ ජන අරගල... ඒ වගේම ඒවා මැඩ පැවැත්වුනේ සමුල ඝාතන තුලින්....

(මේක දකින කොට ටිකක් අච්චාරු වගේ ගතියක් දැනෙන්න පුලුවන්.... එහෙම වෙන්න හේතු උනේ එක් එක් කාරනා වලදී මගේ අදහස ලියපු පොස්ට් කිපයක් එකට අමුණපු නිසා..... ඒ නිසා අවසාන කිරීමක් නැත)

Friday, March 8, 2013

හෑන්ඩ් ටු හෑන්ඩ්... (අත සම්බන්ධ ගණුදෙනුවකි)

 
 
කෝ නිම්මි ඕක අල්ලන්න මම දාන්න...
මොකක්ද අනේ..
අත අනේ අත...
මම බැලුව මොකක්ද කියලා..
මොකක්ද මේ..
අද කාන්තා දිනේ නේ..
අපේ සංගමෙන් කාන්තා දිනේ වෙනුවෙන් රබර් පටි ගැහැවුවා..
අතේ බඳින්න...
ඔව් දකුනතේ බඳින්න...
මොකක්ද මේ ලියලා තියෙන්නේ....
මොනවා ලියලා තිබ්බත් මම කැමති මේ පාටට....
ලස්සනයි අනේ....
රෝසයි... ලා නිලුයි....

මේ සංවාදය අහගෙන හිටපු මටත් මේකට හොට දාන්න හිතුනා....

කෝ මිස් අපිට නැත්ද රබර් පටි අතේ දාන්න...
එහෙම කොහොමද අද කාන්තා දිනේ මිසක් පිරිමින්ගේ දිනේ නෙමෙයි නේ..
එතකොට කාන්තා දිනේ බලපාන්නේ කාන්තාවන්ට විතරද..
ඔව් ඇයි එක වැරදිද..
අපි අද හවස කාන්තාවන් දෙනුවත් කිරීමේ වැඩසටහනක් කරනවා...
මොනවා සම්බන්ධයෙන්ද...
ගෘහස්ත හිංසනය සහ ලිංගික අපයෝජනය සම්බන්දයෙන්...
මරු ඈ....
 
(හිටුකෝ හෙට වෙනකම්... තොපිට තියෙන්නේ එක දවසයිනේ.. .අනිත් දවස් 364 ම අයිති අපිටනේ)

(සත්‍ය සිද්ධියක් ඇසුරින්...)
 
විචාරයක් ලියනවද නැද්ද කියලා මේ කල්පනා කලේ..... එක්කෝ නොලියා ඉන්නවා කියලා හිතුවා... මොකද  හැමදාම අපි ගෑණුන්ගේ ආකල්ප ගැන සාකච්ඡා කරන කොට උන් කියන්නේ “උඹලා අපිට නැගිටින්න දෙන්නේ නැහැ“ එක්කෝ “අපේ ගමනට අකුල් හෙළනවා“ කියලා.... මේ සංවාදය ගැන මට දැනුන දේ නම් බොහොමයි... ඒවා එක්කවත් නොකියා මම කැමතියි අපේ සහෘදයන්ට මේ ගැන කථා කරන්න ඉඩ දීලා මේක පොස්ට් කරන්න....

අපි බලමු.....

එහෙම නොවුනොත් අපි ආයෙත් ඒ ගැන කථා කරමු....

Saturday, March 31, 2012

මුන් ඔක්කොම එකතු වෙලා මාව දූෂණය කලා........


මේ ගැන ලියන්න හිතුනේ මම මිට පෙර ලියපු අකැමැකි මතක කියන පොස්ට් එකට ලැබුනු ප්‍රතිචාර වල තිබුන යම් යම් කරණු පාදක කරගෙන... මම මීට කලිනුත් කියලා තියනවානේ මම මානව හිමිකම් සම්බන්ධආයතනයක සේවය කලා කියලා...

ඒ කාලේ මම පොලිස් නිළධාරීන්ට කාන්තාවන් සම්බන්ධයෙන් වෙන වැරදි වලදී කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනා.....

මෙහිදී ළමා සහ කාන්තා අපචාර සම්බන්ධයෙන් වැරදි වලදී කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් අපි රටපුරා පොලිස් නිළධාරින් දැන්වත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කලා... මෙහිදි අපි බොහෝ විට මේ වැඩසටහන් සඳහා ප්‍රායෝගික උදාහරණ භාවිතා කලා ඔවුන්ට මේ පවතින තත්වයන් ගැන වටහාදෙන්න.

මේ මම කියන්න හදන සිද්ධියත් ඒ වගේ පාවිච්චි කරපු උදාහණයක්... නමුත් මේ සිද්ධිය සත්‍ය කථාවක් යම් යම් අවස්ථා උචිත විදියට සංස්කරණය කරලා අධ්‍යාපනික වටිනාකමක් මතුවෙන විදියට....

මේ කියන වකවානුවේ අපේ රටේ ආරක්ෂක තත්වය බොහොම බරපතලයි.... පැමිණිල්ලක් කරන්න පවා පොලිස් ස්ථානයකට ඇතුල් වෙන්න බොහොම අමාරු තත්වයක් තමයි තිබුනේ.....විශේෂයෙන්ම උතුරු පලාතේ....

මේ සිද්ධියට මුන දීලා තිබුනේ අපේ රටේ හිටපු බොහොම දක්ෂ රජයේ නිතිඥ මහත්මයෙක්... මේ සිද්ධිය එතුමාගේ වචන වලින්ම විස්තර කරන්නම්.....

----------------------------------------------

එක්තරා බාලවයස්කාර ගෑණූ දරැවෙක් තමන්ගේ නිවසේදීම දුෂණයට ලක්වෙනවා..... ඒ දරැවා එනවා පොලීසියට..... දරැවගේ කකුල් දෙකෙන් ලේ ගලනවා... ඒ පිටින්ම ඒ දරැවා පොලීසියට එනවා....

මුලින්ම ඒ දරැවට හමුවෙන්නේ ගේට්ටුවේ ඉන්න අයි ජී පී මහත්තයා.....(ඔව් අර දුඹුරු පාටට හුරු පාටක් ඇඳගෙන ඉන්න එක්කෙනා)
එයා අහනවා “මොකද මේ...?“
සර් මාව අපේ බාප්පා දුෂණය කලා....
ආ... ඇත්තද...?
කොහොම උනේ......
සර් මම තනියම කාමරේ ඉන්නකොට ඇවිත් මාව දුෂණය කලා...
ආ... ඇත්තද.... කෝ ඇඳුම් ඉරිලා නැහැ නේ...
කොහොමස දූෂණය කලේ...? ගවුම පිටින්මද....?
නැහැ සර්..... (ගෑණු ළමයා අඹරෙමින්)
එහෙනම්... ගවුම උස්සලාද.....?
ඔව් සර්.....
ආ... ඒ කොහොමද....?
මම නිදියගෙන ඉන්නකොට ඇවිත් මගේ කට වහලා..... මාව තද කරගෙන දුෂණය කලා සර්.....
ආ.... වෙන මොනවද කලේ......
(ගෑණු ළමයා අඹරෙමින්... සිද්ධිය විස්තර කරයි...)
හ්ම්... එහෙනම් යනවා ඇතුලට.....
(ගේට්ටුව විවර වේ.... ළමයා ඇතුලට යයි....)

පොලිසියේ පිළිගැනීමේ නිළධාරී...
මොකද මේ....
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම් බංකුවෙන් වාඩි වෙලා ඉන්න... ඕ.අයි.සී. මහත්තා කථාකරනකම්....

ඕ.අයි.සී මහතා......
මොකද මේ....?
සර් බාප්පා මාව දුෂණය කලා....
මොකද උනේ....?
සර්... මම ඇඳේ නිදියයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්...
ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...?
දැනුනා සර්.... මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා....
වෙන මොනවද උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම්.... ක්‍රයිම් කේස් එකක්.....
ටිං...ටිං... (ඔ අයි සී මහතා සීනුව නාද කරයි)
සර්.....
මෙයාව ක්‍රයිම් එකට දානවා.....

ක්‍රයිම් ඕ අයි සී (අපරාධ අංශය)
මොකද උනේ.....?
සර් බාප්පා මාව දුෂණය කලා..
මොකද උනේ....?
සර්... මම ඇඳේ නිදිහයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්...
තමුන් තනියමද ගෙදර හිටියේ......
ඇයි දමව්පියෝ හිටියේ නැද්ද...?
එයාලා කුඹුරට ගිහින් සර්....
ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...?
දැනුනා සර්....
මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා....
වෙන මොනවද උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
වයස කීයද...?
16 සර්....
හ්ම්....
මේක සී ඇන්ඩ් ඩබ්ලියු එකක්...(ළමා සහ කාන්තා අංශය)
මෙයාව සි ඇන්ඩ් ඩබ්ලියු එකට ගෙනියන්න....

ළමා සහ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතුමිය....
මොකද උනේ.....ෙ
බාප්පා මාද දුෂණය කලා....මැඩම්....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ මැඩම් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
ඩබ්ලියු පී සී ....
මෙයාව අරගෙන යනවා ජේ ඇම් ඕ ගාවට (අධිකරන වෛද්‍ය නිළධාරී)
(දරැවාව රෝහලට රැගෙන යයි)


එහිදී..... අධිකරණ වෛද්‍ය නිළධාරී.....
මොකද උනේ...?
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්...
බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
(සාක්ෂි ලබාගනියි..... දරුවා සම්පුර්ණ පරික්ෂාවකට ලක්වේ.....)
(භෞතික සාක්ෂි ලබාගනියි)
හ්ම්..... මේ ගැන ළමා රක්ෂක අධිකාරිය දැනුම් දේ....

ළමා රක්ෂක නිළධාරී....
මොකද උනේ....?

සර් බාප්පා මාද දුෂණය කලා...
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
දරුවාට නිතිඥ සහාය ලැබේ....

නිතිඥ මහතා....
මොකද උනේ..
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම්.....

අධිකරණයේ දී.....ගරැ මහේස්ත්‍රාත්වරයා...
මොකද උනේ.....
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
විත්තියේ නිතිඥයා හරස් ප්‍රශ්ණ අසයි....
ඇයි දුෂණය කරනකම් බලාගෙන හිටියේ....
තමුන් සනීපෙට හිටියා නේද....?
නැහැ... එහෙම නම් ඇයි විරුද්ධ නොවුනේ....
(තව තවත් හරස් ප්‍රශ්ණ)
සිද්ධිය මහාධිකරණයට යොමු වේ....

ගරු මහාධිකරණ විනිසුරැ.....
මොකද උනේ....?
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)



සිද්ධිය මහාධිකරණයේ දි මාස ගනනක් විභාග වේ.....

මේ අවසන් නඩු වාරයයි... තීන්දුව ප්‍රකාශ වීමට නියමිතයි....
නැවතත් රජයේ නිතිඥ...
මොකද උනේ....?
(දැරිය නිහඬය...)
නැවතත්....
මොකද උනේ.....
මුකුත් නැහැ....
රජයේ නිතීඥ...... මුකුත් නැහැ..
විනිසුරුගෙන් විනාඩි 30 ක් කාලයක් ඉල්ලයි....
අවසර ලැබේ.....
රජයේ නිතීඥ...
මොකද ළමයා වෙලා තියෙන්නේ...
ඇයි සිද්ධිය විස්තර කරන්නේ නැත්තේ....
සර්.... මම මේ වෙනකොට මේ සිද්ධිය 54 වතාවක් කියලා තියනවා...
සර්ට ඕනේ මේක 55 වෙනි වතාවටත් මගේ කටින් අහගන්නද...?

රජයේ නිතිඥ නිහඬයි......

Thursday, March 29, 2012

අකැමැති මතක.......



ඒ 2003 වසරයි......... එවකට මා සේ වය කලේ ලංකාවේ පිළිගත්ත මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක... දවසක් මම එක්තරා පලාතක ගමකට ගියා...ගමේ ගම්මලාදෑණියා එක්ක ගමේ ප්‍රශ්ණ පිළිබඳව සාකච්ඡා කරලා නැවත අවසන් වෙලා මමත් මගේ සහයකයත් අවට සැරි සරන කොට දැක්කා කුඩා නිවසක් අසල ගහක් යට කෙසඟ සිරැරකට හිමිකම් කියන පුංචි දියණියක් මාස ගනන් වලින් වයස කියන්න පුලුවන් තරමේ දරැවෙක් අතේ තියාගෙන ඉන්නවා..... මම ඇයට කිට්ටු කලා....

කොහොමද දුව... අම්මා නැති නැද්ද ගෙදර.... දුවද නංගිව බලාගන්නේ.....?

නැහැ මහත්තයෝ මේ මගේ දරැවා..... අම්මා වැඩට ගිහින්.... මේයා අඬනවා... නවත්තන්නෙම නැහැ... 

ඒ කථාවත් එක්ක මගේ හචවත මොහොතකට නතර උනා...... 

ඇයට වයස වැඩිම උනොත් 15 ක් හෝ 16 කි පමන වෙන්න ඇති..... ඇයි මාස කීපයක දරැවෙකුගේ මවක්......

ඇයගෙන් විස්තර ඇහැව්වා....

සිද්ධිය මෙහෙමයි....

බොහොම දුප්පත් පවුලකට දාව ඉපදුනු ඇය, ඇයට අවුරුදු 14 දී පමන මෙහෙකාරියක් විදියට නිවසකට සේවයට ගියා.... ඇයගේ දෙමව්පියන්ගේ තිබුන ආර්ථික තත්වයත්... පවුලේ තිබුන අඟහිඟකම් හේතුවෙන් ඇයගේ දෙමව්පියන්ට ඇයව මෙහෙකාර සේවය සඳහා යවන්න අකමැත්තෙන් උනත් කැමැත්ත දෙන්න සිද්ධ උනා.. ඇයට රැගෙන ගියේ ඇයගේ දෙමව්පියන් වාසය කලේ ගම්මානයේ තිබුන පොලිස් මුරපොලේ සේවය කරපු පොලිස් නිළධාරියෙක් ගේ නිවසකට....... ඒ යනකොට ඇය වැඩිවිය පැමිණිලා මාස කීපයක් විතරයි......

මෙතන ඉඳලා සිද්ධිය ඇයගේම හඬින් අහමු.....

මම එහෙ ගිහින් මුල් දවස් කීයප කිසිම කරදරයක් තිබුනේ නැහැ.... ඒත් පස්සේ මට මට හැමදාම උදේ පාන්දර 4 ට නැගිටින්න උනා.... ඒ උදේ උයන්න ඕන කරන දේවල් ලෑස්ති කරන්න.... නෝනට උයන්න ඕන කරන හැම දෙයක්ම මම ලෑස්ති කරලා තියන්න ඕනේ..... හාල් හෝදලා ගරලා..... ලුණු සුද්ධ කරලා...ඔය වගේ උයන්න ඔන් කරන හැම දෙයක්ම මම ලෑස්ති කරලා තියන්න ඕනේ... ඊට පස්සේ උයලා ඉවර වෙලා නෝනා වැඩට යනවා....... ගෙවල් දොරවල් අස්පස් කරලා..... රෙදි හෝදනන් ඕනේ....... නෝනගේ පුතාව බලාගන්න ඕනේ මහත්තයා එනකම්.... මහත්තයා උදේ 9 ය 10 විතර වෙනකොට එනවා... ඊට පස්සේ මහත්තයාගේ වැඩ......  

ඔහොම වැඩ කරගෙන ඉන්න කොට දවසක් හවස මහත්තයා මට කථා කලා කාමරේට..... මම බබත් එක්ක සෙල්ලම් කර කර හිටියේ... මම ගියා මොකද කියලා බලන්න නොන්ලගේ කාමරේට...... කෙල්ලේ මෙහේ වරෙන්.... මහත්තයා මට ලඟට කථා කලා...... මහත්තයා හිටියේ ඇඳේ වාඩි වෙලා......මහත්තයා මාව ලඟට අරගෙන මහත්තයාගේ කකුල් දෙකට හිර කර ගත්තා..... මහත්තයා මගේ ඇඟ අතගාන්න පටන් ගත්තා.... මම දුවන්න ලෑස්ති උනා..... මහත්තයා මාව හිර කරගත්තා..... මම කෑගහන්න හැදුවා.... මහත්තයා මගේ කට වහගත්තා.....

“උඹ කෑගැහැව්වොත් මම උමේ ගෙදර ඉන්න උන් ඔක්කොම මරලා දානවා...... උඹේ අම්මා... තාත්තා.. මල්ලී... නංගී...හැම එකෙක්වම මරලා දානවා....“

මහත්තයා මගේ කනට කරලා කිව්වා..... මට බය හිතුනා.... මහත්තයා මගේ පවුලේ අයව මරලා දායි කියලා... ඒ නිසා මම කෑගැහැව්වේ නැහැ....

මහත්තයා මගේ ගව්ම අස්සෙන් අත දැම්මා.... මාව කිති කැව්නා......මගේ මුලු ඇඟම අත ගෑවා.... එක එක ඇඳුම් ගැලෙව්වා.... මට මොනවද උනා......ඊට පස්සේ............................................... ?

මේ වගේ හැම දාම උනා.... හැමදාම බබාව නිදි කරලා මහත්තයා ගාවට යන්න උනා මට...... මහත්තයා බීලා ඉන්න දවසට මට ගොඩක් වද දුන්නා... මගෙ ඇඟ හැම තැනම හපනවා..... වෙලාවකට මගේ කට රිදෙනවා... කට ඇරගෙන ඉඳලා..... මගේ කොන්ඩේ ගැලවෙන්න තරම් වේදනාවක් එනවා..... ඒත් මම ඉවසගෙන හිටියා... මොකද මම බෑ කියන හැම වෙලාවකම මහත්තයා කිව්වේ මගේ පවුලේ අයව මරලා දානවා කියලා.....

ටික කාලයක් යනකොට මට වෙනසක් දැනෙන් ගත්තා... මට උදේට වමනේ වගේ ආවා... දවසක් නෝනා දැක්කා මම වමනේ දානවා... නොනා මගෙන් විස්තර ඇහැව්වා.... පස්සේ මම කිව්වා මට මහත්තයා කරපුවා.... නෝනා මට හොඳටම ගැහැව්වා.....
එදා නෝනා වැඩට ගියේ නැහැ....... පස්සේ මහත්තයා ආවා... මට ඇහුනා දෙන්නා රණ්ඩු වෙනවා... පස්සේ එදාම මාව ගෙදර ගෙනත් ඇරලුවා... තාත්තට මම වැඩ කරපු කාලෙට පඩිත් දුන්නා......

පස්සේ මහත්තයා අපේ ගමෙන් ගියා..... මට මේ බබා ලැබුනා.......

------------------------------------------------------

මේ සත්‍ය සිදුවීමක්... මේ පොලිස් නිළධාරියෙක් විසින් සිදුකරපු බාලවයස්කාර අපයෝජනයක්..... මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පොලිස් නිළධාරියෙක්.....ඔහු විසින් මේ බාල වයස්කාර දැරිය නොකඩවා මාස ගනනක් දුෂණය කරලා තියනවා.... අවසනයේ ඇය ගැබ් ගත් වහාම ඔහුත් බිරිදත් එකතු වෙලා මේ දැරියට නිවසට ඇරලා... මේ සම්බන්ධයෙන් මො දරැවගේ දෙමවපියෝ පොලිසියේ පැමිණිල්ලක් කරලා.... නමුත් මේ පොලිස් නිළධාරියත්...අදාල ප්‍රෙදේශයේ පොලිස් අධිකාරී කාර්යාලයෝ සේවය කරපු ඔහුගේ බිරිඳත් මේ සිද්ධිය සම්පුර්ණයෙන්ම යට ගහලා....

මේ ගැන දැන ගතත් වහාම මම ඇතුලු  අපේ අනෙකුත් නිළධාරීන් වහාම ක්‍රියාත්මක වෙලා මේ සම්බන්ධයෙන් හොයලා, සිද්ධිය මහේස්ත්‍රාත් අධිකරණයටත්..... ඒ මගින් මහාධිකරණයටත් යොමුකලා...... අදාල නඩුව කැඳවන සෑම අවස්ථාවකදීම මේ දරැවටත් දෙමව්පියන්ටත් අදාල නඩුවට පෙනී හිටින්න එන්න ගමන් ගාස්තු පවා කාර්ය මණඩලයේ පෞදිගලිකව මුදල් ලබා දුන්නා.... 

අවසානයේ අපි හැමොගෙම උත්සහායෙන් අදාල නිළධාරියාට වසර 7 ක සිර දඬුවමකුත්..මේ දරැවට රු. 50,000.00 ක වන්දියකුත් ලබාදෙන්න මහාධිකරණය තීන්දු කලා..... ඒ වගේම මේ නිළධාරියා සම්බන්ධයෙන් ආයතනික වශයෙන් විනය පරීක්ෂණයකුත් ක්‍රියාත්මක කරන්න පොලිසිය කටයුත් කල බව ආරංචියි......

එදා මානව හිමිකම්කාරයක් විදියට මම කරපු දේ ගැන අදත් මම සතුටු වෙනවා..... කාගෙන්වත් සරණක් නැති...... අසාධාරණයට ලක් වෙච්ච ජනතාවට උදව් කරන්න හැකිවීම සම්බන්ධයෙන්...

ඔබට මොකද හිතෙන්නේ... මානව හිමිකම් කාරයෙක් ගේ සේවය ගැන......

මේ සිද්ධියත් එක්ක ඔබට ඇතිවෙච්ච හැඟීම මොකක්ද....?

මේ දරුවාට සාධාරණය ඉෂ්ඨ කිරීම උදෙසා.. අදාල පොලිස් නිළධාරියාව නිතිය ඉදිරියට ගෙන ඒම රටට ද්‍රෝහි විමක්ද...?

රටේ නීතිය කඩන්නන්ට එරෙහිව නැගී සිටීම රටට ද්‍රෝහි වීමක්ද....?

එහෙමත් නැත්නම් අසරණ දෙමව්පියන්ගේ දියිණියට සාධාරණය ඉටු කිරිම රටට ද්‍රෝහි විමක්ද...?

ඔබම හිතන්න.....

මේ අසරණ උන දැරිය සිංහල කථා කරන දැරියක්ද... දෙමළ කතා කරන දැරියක්දැයි ඔබ තාමත් දන්නේ නැහැ.... ඒත් ඔබේ හිතේ ඇතිවෙච්ච හැඟීම මේ කථා කරන භාෂාව හේතුවෙන් වෙනස් වෙන්න පුලුවන්ද....?

ඇත්තමට ඇය ද්‍රවිඩ දැරියක්... මැදවච්චිය මන්නාරම පාරේ අඩප්පන්කුලම් කියන සරණාගත කඳවුරේ දැරියකට උන සිද්ධියක්.... මෙ නඩුව විභාග උනේ වව්නියාව මහාධිකරණයේ......2003/ 2004 තියන කාල වකවානුවේ......

මතක් කරන්න අකැමැති... ඒත් තවමත් අමතක නොවන... අකැමැති මතක......

Friday, January 13, 2012

මානව හිමිකම්කාරයා....

"කාරයා" යන්නේ හි අරුථ ක්‍රියාවේ යොදවන්නා යන්නය...එය අතීතයේ "කාරිය කරනවන රාළ" යන්නේ හ බිඳී ආ කොටසක් විය හැකිය.... මාළුකාරයා..කිරිකාරයා....ලියුම්කාරයා..පොලිස්කාරයා....යනුවෙන් බොහෝ විට භාවිතා කරන්නේ ඒ ඒ කාර්යන් හී නිරත වන්නන් නොහොත් යමක් යම් කාර්යයක් ක්‍රියාවේ යොදවන්නන්ය... ඒදත් අදත් හෙටත් "මානව හිමිකම් කාරයා" ලෙස හඳුන්වන්නාද කරනුයේ ඒ හා ‍සමානම කටයුත්තකි... මානව හිමිකම්කාරයා යනු පොතපතෙහි හා නීති සංග්‍රහයන් හී මානව හිමිකම්, පුද්ගල අයිතිවාසිකම් සැබෑවක් කිරීම උදෙසා කටයුතු කරන්නෙකි.... එය මානව හිමිකම්කාරයා ජීවිතය ලෙස සලකා කටයුතු කරන අවස්ථා අනන්තවත් දැක අත්විඳ ඇත..

මේ ‍කුමන ආකාරය කටයුතු කලද පොලිස්කාරයා මෙන්ම මානව හිමිකම්කාරයන්ද අනන්තවන් ඇනුම් බැනුම් වලට ලක්වෙන... සමාජයෙන් මෙන්ම තමන්ගේ පවුල තුල පවා කෙනෙහිළිකම් වලට ලක්වීම නොවැලැක්විය හැකිය.. පොලිසිය බොහෝවිට චෝදනාවට ලක්වන්නේ නියමිත රාජකාරිය ඉක්මවා වැඩ කරන්නට යාම හෝ නීතියට පිටින් කටයුතු කිරිම හේතුවෙනි.... මානව හිමිකම්කාරයා කරනුයේ එවැනි අවැඩක් හෝ අවනීතියක් සිදුවන විටි එය පෙන්වා දීමත්.. ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීමත් ඒ පිළිබඳව යම් මතයක් ගොඩනැගීමත්... අගතියනට පත් පාර්ශවයන්ට යම් සහනයක්...අස්වැසිල්ලක් ලබාදීම උදෙසා කටයුතු කිරීමත්ය...

මෙහිදී මානව හිමිකම් කාර‍යා බොහෝ වටි පෙනී සිටින්නේ අපේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් වඩාත්ම වැදගත් ‍ලේඛණය වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවයි. එහි 3 වන පරිඡ්ඡේදයේ 10 වන වගන්තියේ සිට 14 වන වගන්තිය දක්වා කොටස “මූලික අයිතිවාසිකම්” ලෙස ශ්‍රී ලාංකික පුරවැසියෙකුට අදාල වෙන අයිතිවාසිම් දක්වා ඇත.  බොහෝ විට මානව හිමිකම්කාරයා කථා කරනුයේ හෝ පෙනීසිටිනුයේ වෙනත් රටකින් හෝ බටහිරින් මෙරටට ගෙනා දේවල් ගැන නොවේ... ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මගින් ආරක්ෂාකොට ඇති අයිතිවාසිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙනි.  අතීතයේ සිටම පැවත එන පුද්ගලය ගරැත්වයත්... නිදහසත් සම්බන්ධයෙනි. ලෝක ඉතිහාසයේ පලමු ලිඛිත මානව හිමිකම් ලේඛණය වන මැග්නකාර්ටා ගිවිසුම ගැන සඳහන් වනුයේ 1215 දී පමනය.... ශ්‍රී ලංකාවේ වධ හිංසාවට එරෙහිව මුල් වරට පුද්ගල නිදහස හා අයිතීන් ගැන සඳහන් වනුයේ 1815 කන්ඳ උඩරට ගිවිසුමේය...  


අපට මානව හිමිකම් සම්බන්ධයෙන් එවැනි ඉතිහාසයක් ඇත.... බෞද්ධ දර්ශණයද... කිතු දහමද.. ඉස්ලාම් ආගමේද.. හින්දු ආගමේ ද මුලික හරය වන්නේද අවිහිංසාවාදයත්... අන්අයට ගරැ කිරීමත් වේ... එමෙන්ම විවිධ ජාතක කථා... බයිබලය තුල පවා මානව හිමිකම් මහා සම්බන්ධ විවිධ සිද්ධින් අපට හමුවේ... මානව හිමිකම් යනු බටහිර සංකල්පයක් නොවේ... එහි සැබෑ හිමිකරැවන් වන්නේ අපය..

මේ ගැන කථා කිරීම, මේවා සම්බන්ධයෙන් දැනුවත් වීම කෙතරම් වැදගත් දැයි මේ විඩියෝ පෙළ නැරඹීමෙන් පසු නැවත හිතන්න...






මේ විවිධ රටවල් වල පොලිසිය විසින් කරන ලද පුද්ගල පහරදීම් කැමරාවන් හී සටහන් වී ඇති ආකාරයයි....අපේ රටේ අනන්ත අප්‍රමාණ මෙවැනි පහරදීම් සිදුවුවද කිසිම දවසක මෙවැනි රෑප මාධ්‍යක සටහන් වීමක් වාර්ථා වී නැත... ශ්‍රී ලංකා පොලිසිය පහර දෙන්නේ සාක්ෂි ඉතුරුකර නොවේ....ලංකාවේ නීති පද්ධතිය අනුව කිසිම ආකාරයකින් පහරදීම්, ශාරීරිකව හා මානසිකව සිදු කරන පහරදීම් තහනම් කර තිබේ.. පොලිසිය බොහෝ විට පහරදීම් ගැන කථා කරන අවස්ථාවලදී දක්වන කාරණය වන්නේ පහර දීම් කරන්නේ තොරතුරු ලබා ගැනීම සදහා බවයි....එය කොතෙක් දුරට සාධාරණ දැයි තීරණය කිරීම ඔබට බාරය.... දිනක මේ පහර දීමට ලක් වන්නේ ඔබ විය හැකිය...


එදා ජර්මනියේ නාසිවාදීහු..
පලමුව ඝාතනය කලේ යුදෙව්වෝය..
මම නිහඬව සිටියෙමි..
මන්ද මම යුදෙව්වෙකු නොවන නිසාය..
ඉන්පසු ඔවුන් කොමියුනිස්ට්වාදීහු සොයා පැමිනියහ..
මා කුමක් කියම්ද..
මා කොමියුනිස්ට්වාදියෙකු නොවන නිසා..
ඊලඟට ඔවුන් සොයා පැමිනියේ වෘත්තීය සංගම් නියෝජිතයන්ය..
මා නිකං බලා සිටියෙමි..
මා වෘත්තීය සමිතියකට අයිති නැහැ නොවැ..
ඉන්පසු ඔවුන් කතෝලිකයන් සොයා පැමිනියේය..
මා බිය නොවුයේ මා පොතෙස්තන්ත්‍රයෙකු වූ නිසාය..
ඔවුන් අවසානයේදී..
මා සොයා පැමිනියේය...
එවිම මා‍ වෙනුවෙන් කථාකරන්නට කිසිවෙකු සිටියේ නැත..


 (මාටින් තිමලෝර් පියතුමා - ජර්මනියේ සිරගෙදරකදී)

-හදවතට  තට්ටු  කර බුද්ධියට ඉ‍ඩ දෙන්න-
(සියළු විඩියෝ අන්තර්ජාලයෙනි)

Sunday, January 8, 2012

ඔබේ අයිතිය සහ වගකීම - 10 (අත්අඩංගුවට පත්වෙන්නට පෙර කියවන්න)

 
පොලිසිය හෝ පොලිස් නිළධාරියා මහජනතාවත් එක්ක නිතර ගණුදෙනු කරන එහෙමත් නැත්නම් ජනතාවගේ බොහෝ අවශ්‍යතාවන් හීදී උපකාර කරන වගේම.. එදිනෙදා ජීවිතයේ දී වඩාත් අවශ්‍ය කරන පුද්ගලයෙකු හා සේවයක් සේම බොහෝ අවස්ථාවන් හී දී ජනතාව අපහසුතාවයට පත් කරන... ජනතාව පෙළන.. තත්වයක් දක්නට ඇත... එය අතීතයේ සිටම පැවත එන තත්වයකි.. දැන් දැන් මහජනයාට සමීප පොලිස් සේවයක් ගැන කතිකාවක් ගොඩනැගීතිපුනද එය බලු වලිගේ ඇද ඇරීම මෙන් කෙතරම් උත්සහ කලද පෙර තත්වයටම පත්වනු දැකිය හැකිය...

"මහජන මිත්‍රශීලී..වෘත්තීමය.. අභිමානවත් පොලිස් සේවයක් සඳහා" යන්න ශ්‍රී ලංකා පොලීසියේ ආදර්ශ පාඨයයි...

නමුත් මේ ආදර්ශ පාඨයට අනුව කටයුතු කරන පොලිස් නිළධාරීන් සොයාගැනීම "කළු නික" සොයනවාට වඩා අමාරුය... පොලීසිය තුල ඉතාමත් දක්ෂ වගේම කැපවීමෙන් සේවය කරන නිළධාරීන් සිටියද බහුතරය පොලිස් සේවයේ නමට කැලළක් වන.. ආදර්ශ පාඨය තියා තමන්ගෙ මව පියා නොහඳුනන පිරිසකි... ඒ බව කිසි යම් අවශ්‍යතාවයට පොලිසිය වෙත යන මමද ඔබද මොනවට දන්නා කාරණයකි... 

බොහො විට පොලිස් නිළධාරීන් වැඩකටයුතු කරන්නේ ඔවුන් නීතියේ එකම භාරකාරයින් එසේත් නැතිනම් එකම හිමිකාරයිනි ලෙසටය..ඒසේ සිතීමේ කිසිම වරදක් නැත... අප රට තුල එය ක්‍රියාක්මක වන්නේ ද එලෙසටය.. ඕනෑම අයෙක් වැරදිකරුවෙකු කරන්නටද ඕනෑම වැරදිකරුවෙක් නිවැරදිකරුවෙක් කරන්නටද පොලීසියට හැකියාවක් ඇත.. එවැනි සිද්ධීන් අප කොතෙකුත් අසා ඇත.. 

මේ ක්‍රමයට විවිධ ආකාරයෙන් පුද්ගලයින් ගොදුරුවේ... රාජකාරියෙන් බැහැරව සිටින අවස්ථාවේ දී ත්‍රී රෝද රථයේ ගාස්තු අයකලහොත්.. පසුදිනක ගෙවු ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවන්නට සිදු වූ ත්‍රිරෝද රථ රියදුරන් ගැන අසා ඇත්තෙමු... නොමිලේ දොඩම් ලබාදීම ප්‍රතික්ෂේප කල වරදට අත්අඩංගුවට ගෙන පහර දුන් අසරණ ‍පදික වෙළඳුන් ගැන වාර්ථා වී ඇත.. බස් රථයේ මුදල් අයකිරීම හේතුවෙන් පසු දින ‍දඩ ගෙවන්නටද දින කීපයක් උසාවි ගානේ රස්තියාදු වෙන්නටද සිදුවු රියදුරන්.. අනන්තවත් අප අතර ඇත....
 
අප කොපමන පම්පොරී ගැසුවද පොලිසිය තුලට ගිය විට මටද ඔබටද අත්වන්නේ එකම ඉරණමකි... මේ ‍හේතුවෙන් මහජනතාවත් පොලීසියත් අතර ඇත්තේ මහා හිඩසකි.. දුරස්ථ භාවයකි... “යුනිෆෝම් එක ඇන්ඳට පස්සේ අම්මා තාත්තාවත් විශ්වාස කරන්න එපා” යැයි කියමනක් ද ඇත්තේ ඒ දුරස්ථභාවය නිසා බව මොනවද පැහැදිලිය.. ‍

පොලිසියේ ඉහල නිළධාරීන් කොයිතරම් උත්සහ කලද මහජන මිත්‍රශීලී පොලීසියක් ගොඩ නගන්නට නොහැකි වන්නේ ආදර්ශ පාඨ පමනක් වෙනස් වීම තුලින් පුද්ගලාකල්ප වෙනස් නොවන හේතුවෙනි.. ‍එසේත් නොමැතිනම් භෞතික සම්පත් සංවර්ධනය තුලින්.. මහජන මිත්‍රශීලීත්වය බිහි නොවන හෙයිනි.. පොලිස් නිළධාරීන්ගේ විශේෂයෙන්ම මහජනාතාවත් සමග ඍජු සම්බන්ධතා පවත්වන සුළු නිළධාරීන්ගේ ආකල්ප වෙනස් නොවන තාක් පොලිස් සේවා ආදර්ශ පාඨය ආදර්ශ පාඨයක්ම පමනක් වනු ඇත...

යම් අපරාධයකදී පොලිසිය කටයුතු කලයුතු ආකාරය සම්බන්ධයෙන් විමසා බලමු... මේ සම්බන්ධයෙන් 1975 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ දක්වා ඇත..

විමර්ශනයක් යනු
යම්කිසි අපරාධයක් සම්බන්ධයෙන් තොරතුරු ගවේශනය කිරිමයි.
 
විමර්ශනයක පරමාර්ථ
1. වරදක් සිදුවි තිබේදැයි ‍සොයා බැලීම (වරදක් යනු තත්කාලයේදී ශ්‍රී  ලංකාවේ බලපවත්නා යම් නීතියක් මගින් දඬුවම් පැමිණවිය හැකි ක්‍රියාවක් හෝ නොකර හැරීමක් අදහස්වේ).

2. වරද සිදුකළ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ‍සොයා ගැනීම. 

3. වරදකරුට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනාව සනාථ කිරිමට අවශ්‍ය සාක්ෂි රැස් කිරිම.

 විමර්ශන ක්‍රියාවලියේදි ‍පොලිස් නිළධාරියාගේ බලතල හා යුතුකම්

1) සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම.

2) සිද්ධිය ගැන කරුණු දන්නා අය‍ගෙන් ප්‍රශ්න කිරිම.

3) පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීම.

4) විශේෂඥ වාර්තා සඳහා පුද්ගලයන්ගේ හිසකෙස්,නිය‍පොතු,අත් අනකුරු,කෙළ,මුත්‍රා වැනි ආදර්ශකයන්    ලබාගැනීම.

අදාළ තැනැත්තා මේවා ලබා දීම ප්‍රතික්ෂේප කරයි නම් 123 වගන්තිය යටතේ අධිකරණ නියෝගයක් මත එය සිදුකළ හැකිය.

5) අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව විමර්ශන අවසන් කිරීම.

සැකකරුව පොලිස් අත්අඩංගුවේ තබා ගැනීම

-      37 වගන්තිය අනුව අත්අඩංගුවට ගත් අයෙක් පැය 24 ක කාලයක් ඇතුලත ප්‍රදේශයේ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ යුතුය.

-          2005 අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත අනුව මහේස්ත්‍රාත් නියෝගයක් මත වැඩිදුර විමර්ශන සඳහා ඵම කාලය පැය 48 ක් දක්වා දීර්ඝ කළ හැකිය.

115 වගන්තිය

පැය 24 ක් තුළ විමර්ශනය අවසන් වී නැත්නම් සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිස් ස්ථානාධිපතිට මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලීමනක් කළ හැකියි.මේ සමඟ එතෙක් වාර්තා කළ ඇති සාක්ෂිවල සාරංශය ඇතුලත් B වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.මෙසේ සැකකරුවකු රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ හැක්කේ දින 15 කාලයකට පමණි.

ඉහත කරැණු ගෙනහැර දැකිවීම මගින් පෙන්වා දීමට උත්සහ කරනුයේ පොලිසීයට කිසිමාකාරයක දඬුවම් දීමේ හෝ නියම කිරීමේ බලයක් හො වගකීමක් නොමැති බව දැක්වීටම... 

පොලිස් නිළධාරිකුට යම් සැකකරැවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඒ සඳහා විරෝධය පල කලහොත් අවම බලය පාවිච්චි කර සැකකරැව යටත් කරගත හැකිය(1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය 23 වැනි වගන්තිය)  .. 

නමුත් අත්අඩංගුවට ගෙන ජීප්රථයට නැංවීමේදී හෝ පොලිස් ස්ථානයේදී පහර දීමක් තුලින් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි යන්න තේරැම් ගැනීම තරමක් අපහසුය.. බොහෝවිට එසේ සිදුවන්නේ වරද සම්බන්ධයෙන් උසාවියෙන් නියම කරනු ලබන දඬුවම ප්‍රමාණවත් නොවන නිසා බව යම් නිළධාරීන් පෞද්ගලිකව ප්‍රකාශ කර ඇත.. 

නීතියක් යනු නීතියකි... එය ප්‍රමාණවත් නෙවේ නම් ඒවා සංශෝධණය කර යාවත්කලීන කිරීම මිස එක් එක් පුද්ගලයින්ගේ පරිමාව මත නිතීරීති කඩ කිරීම හෝ දඬුවම් පැමිණවීම රටක නිතියේ ආධිපත්‍ය බිඳ වැටීමට හේතු වනුඇත...

(උපුටා ගැනීම් විකිපීඩියා සහ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවියෙනි)