Friday, September 30, 2011

කොන්ඳක් තියන දොම්පේ ජනතාවට ජය !!!!

පොලීසිය තවත් බිල්ලක් අරගෙන.... තව තවත් සීනි බෝල ලෝකවල ජීවත්වෙන උන්ට මේකත් තවත් එක මරණයක් විතරයි... එදා අපි අහැව්වා.. කෝ ජෙරල්ඩ්ට නීතිය.... කෝ ඒ වීරයාට ගරැ බුහුමන් කියලා... උන් අපිව අයින් කලා... අපිට පල නොකියා පලා බෙදුවා.... දකින අහන උන් අපිට කිව්වා අපිට පිස්සු කියලා.... රට පාවාදෙන කාළකණ්නි විදයට අපිට චෝදනා කලා... ඒත් අපි උඩුගං බලා පීනුවා... අපි කිව්වා... මේත් අපේ එකෙක්... උඹලගේ සහෝදරයෙක්... මේ උඹ වෙන්නත් පුලුවන්.... ඒ නිසා කටවල් ඇරපියව් කියලා... අදත් උඹලා එහෙමයි.... ෆන් එකයි...ආතල් එකයි.... බලාගෙන හිට්ව්... තොපිට කෙලවුනොත් එදාට කව්ද ඉන්නේ කියලා....

කොන්ඳක් තියන දොම්පේ ජනතාවට ජය !!!!

Monday, September 12, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 5 (ගුටි නොකා සිටීමේ අයිතිය)

පසුගිය ලිපි තුනකදිම අපි කථාකලේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 11 වන වගන්තිය ගැන.. අද අපි ඒ වගන්තියේ එන අවසාන පැහැදිලි කිරීම කරලා මේ සම්බන්ධයෙන් බලපාන නීති පද්ධතිය ගැන දැනගමු. 

අවමන් සහගත සැළකීම.... කියන්නේ මොකක්ද... මේක අපි මුලින් කථා කරපු පහරදීම් වලට වඩා බොහොම දරැණු තත්වයක්.. නමුත් අපි ගනන් ගන්නේ නැහැ.. මේ කියන්නේ මානසික වශයෙන් අපිට කරන නින්දා කිරීම්, එහෙමත් නැතිනම් බැනුම් වගේම පහත් කොට සැළකීම් වගේ දේවල් ගැන. මෙතනදිත් මේ වචනය සම්බන්ධයෙන් පැහැදිලි අර්ථකථනයක් නීති පොත්වල නැතත් විවිධ නඩු තීන්දු වලදී මේ අවමන් සහගත සැළකීම ගැන පැහැදිලි කිරීම් කරලා තියනවා..


පොඩි උදාහරණයක් කියන්නම්. මේ සිද්ධිය කෑගල්ල පැත්තේ වෙච්ච එකක්. කෑගල්ල පැත්තේ පෙර පැසැල් ගුරැවරියක් යම්කිසි කාරණයකට ගියා කෑගල්ලේ පොලිසියේ ඕඅයිසී මහත්තයා හම්බුවෙන්න. ඕඅයිසී මහත්තයා හිටියේ නැති නිසා රිසව් එකේ රාළහාමි මේ නෝනව ඕඅයිසී මහත්තයාගේ කාමරෙන් වාඩිකරවලා තිබ්බා. ඕඅයිසී  මහත්තයා එනවලු පොලිසිය ඇතුලට. මේ රාළහාමි එකපාරටම කිව්වලු “ සර් මරැ බඩුවක් ඉන්නවා ඇතුලේ සෙල්ලම් කරනවානම් කියලා”.. (සෙල්ලම් කියන්නේ කැරම්,දාම් වගේ දෙයක් වෙන්න‍‍‍ ඇති) දන්නවනේ ඔය රාළහාමිලගේ කටවල්. වටේම ඉන්න මිනිස්සු ඔක්කොටම මේක ඇහුනලු. අර මහත්තයත් අර කථාව අහගෙනම ගිහින් අර ගුරැවරියගේ අවශ්‍යතාව ඉටුකරලා දුන්නලු. ‍කොහොම හරි මේ ගුරැවරියගේ හිත‍වතෙක් ඒ සිද්ධිය සම්බන්ධයෙන් ගුරැවරියට දැනුම්දුන්නා. හැබැයි ගුරැවරිය දැනගෙන නිකම් හිටියේ නැහැ. ඇය ගරැ ශ්‍රේෂ්ඨාධිකරනගේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකලා තමන්ට කරපු අපහාසයට විරැද්ධව 11 වැනි වගන්තිය යටතේ. එහි දී ගරැ ශ්‍රෙෂ්ඨාධිකරණය ඇයගේ මූලික අයිතාවාසිකම් උල්ලංඝනය වෙලා තියනවා තියලා තීරණය කරලා වන්දියකුත් ගෙවන්න නියම කලා. අනිතිමට අර ඕඅයිසී මහත්තයට සෙල්ලම් නොකරම වන්දි ගෙවන්නත් සිද්ධඋනා.

මේ වගේ බොහොම සිද්ධීන් තියනවා, හිතන්න අපි යම් පැමිණිල්ලත් කරන්න පොලිසියට යනවා කියලා. අපිට කොයිවගේ තැනකද පැමිණිල්ල කරන්න තියෙන්නේ. කිසිම පෞදිගලිකත්වයක් නැහැ. වටේටම මිනිස්සු. ඒ මදිවට අහන ප්‍රශ්ණ.  එකම සිද්ධිය වරින වර ඇසීමේ පොඩි ආශාවක් තියනවා සමහර පොලිස් නිළධාරීන්ට.  මේ  සම්බන්ධයෙන් බොහොම සංවේදී කථාවක් තියනවා. මේක කාන්තා හා ළමා කටයුතු සම්බන්ධ රජයේ නීතිඥ මහත්‍තයෙත් මුහුන දීපු අත්දැකීමක්.  සිද්ධිය මේහෙමයි.

එක්කරා බාලවයස්කාර ගැහැණු ළමයෙක් දුෂණය කිරීම සම්බන්ධයෙන් අවසාන නඩු විභාගය. (දන්නවනේ මේ නඩු වසර කීපයක් යනවා., සටහර අවස්ථ තියනවා ස්ත්‍රී දුෂණ නඩුවේ පැමිණිළිකාරියයි, විත්තිකාරයයි විවාහ වෙලා නඩුවට ආපු අවස්ථාත් තියෙනවා)  විනිශ්චයකාරවරිය අර ගැහැණු දරැවගෙන් ඇහැවුවලු මොකද උනේ කියලා. මේ ගැහැණු ළමයා ටික වෙලාවක් නිශ්ශබ්දව හිටියලු. නැවතත් විනිශ්චයකාරවරිය ඇහැව්වලු මොකද උනේ කියලා.. මේ ළමයා එක පාරටම කිව්වලු "මුකුත් උනේ නැහැ" කියලා. නීතිඥතුමා ටිකක් කලබල වුනාලු. නිශ්චයකාරවරිය ගෙන් ටික වෙලාවක් ඉල්ලගෙන මේ ළමයත් එක්ක කථා කලාලු.  මේ ළමයා දීපු උත්තරේ මම ඒ විදියටම කියන්නම් 

“සර් මම මේ කථාව 44 වතාවක් කියලා කියනවා ‍. සර්ට ඕනේ 45 වැනි වතාවටත් මේක අහන්නද ?”

කථාව සම්පුර්ණ ඇත්ත... හිතන්න අපි පැමිණිල්ලක් කරන්න පොලිසියට යනවා.. අපි පොලිසියට ඇතුල්වෙන කොටම ඉස්සලම ගේට්ටුවේ ඉන්නේ පොලිස්පතිතුමා... එතුමගෙන් අවසර ගන්න ඔනේ....ඈ.... මොකද බය උනාද ? නැහැ මං කිව්වේ.... එතන ඉන්න සිවිල් ආරක්ෂක නිළධාරිය හැසිරෙන්නේ ‍පොලිස්පති වගේ නේ ... එයාට සිද්ධිය කියන්න ඕනේ... ඉතිං එයා මේක රස කර කර අහනවා...ඇත්තද... කොහෙමද කලේ... කකුල ඉස්සුවද... අත්දෙක හිර කරගත්තද... ගවුම ඉරැනේ කොහොමද? ඔය වගේ දේවල්... ඊට පස්සේ රිසව් එකේ රළහාමිට කියන්න ඔනේ සිද්ධිය... එ‍යා මේක අහලා දානවා ඕඅයිසී ගාවට, ඕඅයිසී අහනවා සිද්ධිය... මේක ක්‍රයිම් කේස් එකක්... දානවා ක්‍රයිම් එකට... ක්‍රයිම් ඕඅයිසී අහනවා විස්තරේ... වයස කීයද ? ඕ... බාල වයස්කාර නේද? මේක සී ඇන්ඩ් ඩබ්ලියු (Child & Women) එකක්... දානවා කාන්තා හා ළමා අංශයට... කාන්තා අං‍ශේ නිළධාරීන්ට ආයිත් මුල ඉඳලා විස්තරේ කියන්න ඕනේ... ඊට පස්සේ ඉස්පිරිතාලේ.. ජේඑම්ඕ... රෝහල් පොලීසිය... නිතිඥයෝ...... මොහොතක් හිතන්න.... මේක හරියට සමුහයක් එකතුවෙලා දුෂණය කරනවා වගේ වැඩක් නේද?  මේ ඔබ... ඔබේ සහෝදරිය..විය හැකියි.....

අපි දැන් බලමු වධහිංසාව පිළිබඳ නීති පද්ධතිය සකස් වී ඇත්තේ කෙසේ ද යන වග. 

ලෝකයේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන ප්‍රථම ලේඛණය බිහිවන්නේ 1948 දීය (මීට කලින් විවිධ ගිවිසුම්... ලේඛණ බිහිවෙලා තියෙනවා, නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් බිහිවෙන පලමු ලේඛණය වෙන්නේ මේක) .. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශයයි.. මෙය ගිවිසුමකි.. එහි වධහිංසාව ලක් නොවී ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කර ඇත. නමුත් අප රට තුල වධ හිංසාව සම්බන්ධයෙන් මුලින්ම ලිඛිත ගිවිසුමක සඳහන් වන්නේ 1815 දී අත්සන් කරන ලද කන්ඳ උඩරට ගිවිසුමේය. එහි 6 වැනි වගන්තියෙන් වධ හිංසාව වැළැක්වීම සඳහා පියවර ගෙන ඇත.

කන්ඳ උඩරට ගිවිසුම -  6 වැනි වගන්තිය


 ඒ කාලෙත් සුද්දෝ වධහිංසාව කරලා තියනවා...

1979 අංක 15 දරණ අපරාධ නඩුවිධාන සංග්‍රහා පනත

28 වන වගන්තිය
"සිර භාරයට ගනු ලැබූ තැනැත්තෙකු ඔහු පැනයාම වැලැක්වීමෙහිලා අවශ්‍ය ප්‍රමානයට වැඩි මැඩ පැවත්වීමක් ඔහු සම්බන්ධයෙන් නොකල යුතුය."

38 වන වගන්තිය
"වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා සෑම පුද්ගලයකු පිළිබඳව පොලිස් ස්ථාන භාර නිලධාරි විසින් අදාල මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්ථා කළ යුතුය." මේ මගින් සිරභාරයට පත් පුද්ගලයින්ට පොලිසිය හෝ අනෙක් සාම නිලධාරින් අතින් වන වධ බන්ධන වලින් වැලැක්වීමට කටයුතු කරයි.

අද මේ වගන්තීන් ක්‍රියාතමක් වීම පිළිබඳ ගැටළුවක් තිබේ.. අත්අඩංගුවට ගෙන මංචු දැමීමෙන් පසු පහරදෙයි.. ජීප් රථයට දමන්නේද පහර දීමෙන් පසුවය.. ගැටළුව ඇත්තේ 28 වන වගන්තියේ සඳහන් “අවශ්‍ය ප්‍රමණය” තේරැම් නොගැනීමයි. මේ අවශ්‍ය ප්‍රමාණය මරණය දක්වා ගිය සිද්ධීන් අප රට තුල ඕනෑ තරම් ඇත. මීට වසර කීපයකට ඉහතදී පුද්ගලයෙකු පොලිස් සිර මැදිරියකදී ගෙල වැළලාගෙන මිය ගියේය. මගේ මතකය හරි නම් ඒ මොරගහහේන පොලිස් ස්ථානයයි. ඒ ආසන්නම කාලයකදී තවත් පුද්ගලයෙකු පොලිස් මුරපොලකදී මිය ගියේය... ඒ සියළු මරණ අභිරහසිගතය... මා දන්නා තරමට තවමත් ඒවා එසේය..

38 වැනි වගන්තියේ දක්වා ඇති පරිදි මහේස්ත්‍රාත් අධිරණය වෙත වාර්ථා කලයුතු කාළය උපරිමය පැය 24 කට පෙර විය යුතුය.. එයින් අදහස් වන්නේ ඊට ‍වඩා අඩු කාළයකින් මහේස්ත්‍රාත් අධිරණය හෝ මහේස්ත්‍රාත්තුමා වෙත (මහේස්ත්‍රාත් නිළ නිවසට) ඉදිරිපත් කල හැකි අවස්ථාවක එසේ නොකර සිටීමද මෙම වගන්තිය උල්ලංඝනය කිරීමකි. (‍සෙනසුරාදා ඉරිදා දිනයන්හී දී අත්අඩංගුවට ගන්නා විටද මෙය එසේමය.. මහේස්ත්‍රාත් නිළ නිවසක් රජය විසින් ලබා දී ඇත්තේ ඒ සදහාය, මහේස්ත්‍රාත් නොමැති අවස්ථාවක වැඩ බලන මහේස්ත්‍රාත් වරයෙකු පත් කල යුතුය)  මේ උපරිම කාළය පැය 48 දක්වා දීර්ඝ කිරීමට රජය විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් පසුගියදා ගෙන ආවේය. එය පොලිසිය හොදය, ඕනෑම දෙයක් කීරීමට කාළය ඇත.. සැකකාරයන්ට අපලය... අඩුම වශයෙන් රෑ දෙකක් පොලිස් නිළධාරීන්ගේ බයිට්  එක විය යුතුය.. බලන්න එන හිතවතුන් දින 2 ක්  රිසව් එකේ රාළහාමිට තේ ඇදිය යුතුය.. ෆොටෝ කොපි ගසා දිය යුතුය... සමහර අවස්ථාවල ‍ඇප කොළය ලියන්නට පෑන නැත.. පෑන් ‍අරන් දිය යුතුය...  

1994 අංක 22 වධ දීම හා අනෙකුත් කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත

ශ්‍රි ලංකාව, එක්සත් ජාතින් විසින් සම්මත කළ වධ දීම හා අනෙකුත් කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුතිය 1984 දී අත්සන් කිරීම හා පසුව එයි ප්‍රතිපාදනයන් ආශ්‍රයෙන් 1994 අංක 22 හරහා ඉහත පනත ලංකාව තුල වධ හිංසාව වැලැක්විම උදෙසා ප්‍රතිපාදන සැලැස්වීය.එහි 2 වන වගන්තිය වධ දෙන,වධ දීමට තැත්කරන,වධ අනුබල දෙන හෝ වධ දීමට කුමන්ත්‍රනය කරන අයෙකු "මෙම පනත යටතේ වරදකරුවකු වන අතර වසර 7ක සිර දඩුවමකට ලක්වන්නේය”.
පනත යටතේ වධ හිංසාවට වරදකරුවකු වීමට එම වධ හිංසාව පහත අයුරින් සිදුකල තිබිය යුතුය.
  • අදාල පුද්ගලයා පිලිබද හෝ තුන්වැනි පාර්ශවය පිළිබද තොරතුරක් හෝ පාපොච්චාරනයක් ලබා ගැනීම.
  • අදාල පුද්ගලයා හෝ තුන්වැනි පාර්ශවය විසින් කළ ක්‍රියාවට දඩුවම් කිරීම.
  • අදාල පුද්ගලයාට හෝ තුන්වැනි පාර්ශවීය පුද්ගලයකු තර්ජනය කර බිය වැද්දිමෙන් එකඟ කර ගැනීම සදහා
මෙම පනත මගින්ද තොරතුරැ ලබාගැනීම සඳහා කරනු ලබන වධහිංසාවන්ද දඬුවම් වශයෙන් කරන්නාවු වධහිංසනයද බියවැද්දීමට හෝ එකඟ කර ගැනීමට කරනු ලබන හිංසනයද තහනම් කර තිබේ... මේ හේතුවෙන් අපේ රටේ කිසිම ආකාරයක වධ හිංසාවක් සිදුවන්නේ නැත. පුතා අත්අඩංගුවට ගත නොහැකි තැන අම්මාව අත්අඩංගුවට ගන්නේ නැත,  අත්අඩංගුවට පත්වන්නගේ පවුල් වලට කරදර කරනබව කියමින් තර්ජනය කරන්නේ නැත, ස්වාමිපුරැෂයා අත්අඩංගුවට ගත් පසු බිරින්දෑවරැන්ට ඕඅයිසී මහත්වරැ අයුතු බලපෑම් කරන්නේ නැත. ඒක මාර හොඳ තත්වයකි..

1996 අංක 21 දරණ ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත

මෙම පනත යටතේ වධ හිංසාවක් සිදු වූ හෝ සිදු වීමට අත්‍යාසන්න තත්ත්වයක් පිළිබඳ විමර්ශනය කොට ඒ පිළිබඳ නිර්දේශ නිකුත් කිරිමට බලය ඇත.පනත යටතේ ,ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හෝ හදිසි රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගයන් හා එකී පුද්ගලයන්ගේ රැදවුම් ස්ථානමාරු කිරිම පීළිබද පැය 48 ඇතුලත ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැන් විය යුතුයැයි (28 වන වගන්තිය) ප්‍රතිපාදන සලසා ඇත.
එසේම කොමිෂන් සභා පනත තුල බලතල යටතේ බලයලත් නිලධරීන්ට පොලිසිය,බන්ධනාගාර ඇතුළු රැදවුම් ස්ථාන පරීක්‍ෂා කිරීමට හා එකී කරුණු පරීක්‍ෂා කර ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරිම උදෙසා ප්‍රතිපාදන සලසා ඇත.මෙම ප්‍රතිපාදන හරහා අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට සිදුකරනු ලබන වධ හිංසාවන් නීතිය මගින් තුරන් කිරිමට කටයුතු කර ඇත.

මේක මරැය... සියළුම දෙනා මානව හිමිකම් කොමිශන් සභාවෙන් දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කරති. සියළුදෙනා හොඳින් වැඩකරති... උදේට එති... තේ බොති.... කති... නිදති..... තේ බොති... යති.... ජකතාව ගුටි කති.. වැනිය...

පොලිස් ආඥා පනත

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් වධ හිංසාවට ලක් වීම වැලැක්විම උදෙසා පියවර ගෙන ඇත.එනම් පොලිස් දෙපාර්තමේන්තු රෙගුලාසි මගින් රැදවියන්ට සැළකිය යුතු ආකාරය හා උප සේවා නියෝග මගින් ද දක්වා ඇත්තේ රැදවියන් පිළිබද නිරන්තරයෙන් පරීක්‍ෂා කළ යුතු බවත්,ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද සැලකිය යුතු බවත්ය.

මෙයි ගැටළුව ඇත්තේ පොලිස් ආඥා පනත කියවන පොලිස් නිළධාරියෙකු සොයා ගැනීමය ඇති අපහසුතාවයයි.. කියවන්න අවශ්‍ය වුවත්, පොලිස් ආඥා පනතෙහි පිටපතක් හොයා ගැනීම ඊටත් වඩා අමාරැ කාර්යකි.. 

2001 අංක 11 දරණ අධ්‍යාපන චක්‍ර ලේඛනය
 
මෙම චක්‍ර ලේඛනය මගින් පාසැල් තුල සිදුකරන ශාරීරික දඩුවම් දීම සම්පූර්නයෙන් තහනම් කරන ලදි.

මේ ගැන මා කථා කරන්නට සුදානම් නැත... මාද හොඳට ගුටිකා ඇත.. ගුරැවරයෙකු ඉදිරියේ සිරැවෙන් නොසිටීම හේතුවෙනු වැදුනු කම්මුල්පාර වසර 30 ගතවුවත් තවමත් මා ගුරැවරයෙකු ඉදිරියේ සීරැවෙන් තබයි.. නමුත් ඒ ගුරැ දෙවිවරැ කර්ණ පටලයට හානියක් කලේ නැත, පුටු කකුල් වලින් තඩි බෑවේද නැත...



මේ සමගම  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 11 වන වගන්තිය ගැන සාකච්ඡාව අවසන් කරමු... මී ල ලිපිය අත්අඩංගුවට ගැනීම පිළිබවය... මේ ලිපි මාලාව සම්බන්ධයෙන් ඔබ දක්වන අදහස් මීල ලිපි සදහා ඉතා වැදගත් වනු ඇත..

(උපුටා ගැනීම් විකිපීඩියා.....)

Sunday, September 11, 2011

නුඹේ ආදරේ....

උඹේ ආදරේ..
හරි ගනන්...
එක කිස් එකකට..
බොරැල්ලේ No Limit එකේ..
Fit-on Room එකට..
ගවුම් තුනයි..
බ්ලවුස් දෙකයි..
ස්කර්ට් පහයි...
අද ඉතිං..
මාසේ පඩියම ඉවරයි..

Friday, September 2, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 4 (ගුටි නොකා සිටීමේ අයිතිය)

දින කීපයක් ලියන්න බැරි උනේ ටිකක් වැඩ වැඩි උන නිසා. ඔන්න මං නැවතත් ලියනවා. මානව හිමිකම් සම්බන්ධයෙන් ලියන සිව්වැනි ලිපිය මේක. මීට ඉහත ලිපි නොබැලුවානම් ඒවත් බලලම එන්න. හැබැයි මං මේ ලිපි වලින් බලාපොරොත්තු වෙන අරමුණ ඉටුනොවෙනවා වගේ හැඟීමක් තිබුනත් තව දුරටත් ලියන්න හිතුවා. මට අවශ්‍ය මේ සම්බන්ධයෙන් සංවාදයක් එහෙමත් නැත්නම් කතිකාවක් ගොඩනගන්න... ඒත් එහෙම දෙයක් වෙනවා කියලා පේන්න නැහැ. මොකද මානව හිමිකම් සම්බන්ධයෙන් පත්තර වල නිතරම ලිපි පලවෙනවා. පොත් පත් ලියවෙනවා. මම කැමති නැහැ මේ ලිපි පෙල ඒ ගනයටම වැටෙනවට. මොකද බ්ලොග් එක සජීවී මාධ්‍යක්. අපි පොතක් කියවලා වහලා දාන එකට වඩා වැඩි යමක් බ්ලොගයක් හරහා කරන්න පුලුවන්. මං බලාපොරොත්තු වෙන්නේ ලිපිය හොඳද නරකද කියලා කමෙන්ටු දාන එක නෙමෙයි. ගොඩ නගන්න උත්සහ කරන්න සංවාදයක්. මේ ගැන අත්දැකීම් තියන අය ඒවා බෙදාගන්න කියන එක. 


හරි දැන් කථා ඇති. බහිමු මාතෘකාවට. අපි කථාකරමින් හිටියේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිඡ්චේදයේ 11 වැනි වගන්තිය නොහොත් “ගුටි නොකා සිටීමේ අයිතිය“ සම්බන්ධයෙන්. එතනදි අපි එහි අඩංගුවෙන වචන එකින් එක විග්‍රහ කරමින් තමයි හිටියේ. මෙහි සදහන් අනෙත් වචනය තමයි අමානුෂික කියන එක. වචනයේ තේරැමෙන් කියවෙනවානේ මේ කියන්නේ මොකක් ගැනද කියලා. ඒත් මේ සම්බන්ධයෙන් නීතිපොත්වල පැහැදිලි නිර්වචනයක් නැහැ. බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ විවිධ නඩු තීන්දු උදාහරණයට අරගෙන පැහැදිලි කරන එක. ඇත්තටම මොකක්ද අමානුෂික කියන්නේ. අ...මානුෂික. එහෙමත් නැත්නම් මනුෂ්‍යත්වයට නොගැලපෙන යන්නයි. දැන් නැවතත් ඔබේ මතකයට එන්නේ විවිධ ආකාරයේ ශාරීරික වධ දීම් ගැන. ඒත් ශරීරයට කිසිම පීඩාවක් නොකරත් අමානුෂික සැලකීම් සිද්ධ වෙන්න පුලුවන්. 

මං පොඩි උදාහරණයක් කියන්නම්. මං වවුනියාව පැත්තේ වැඩකරන කාලේ අත්දැකපු දෙයක්. අපි සමහර අවස්ථාවල ඒ පැත්තේ ඉන්න යම් මට්ටමක් උසස් නිළධාරීන්ව හමුවෙන්න යනවා. අත්‍යාවශ්‍ය කාරනා වලට නොවුනත් පොඩි පොඩි “චැට්“ දාන්න. ඔවුන් නොදන්නවා උනාට මේක අපේ රාජකාරියේම කොටසක්. (නැහැ බොන්න නෙමෙයි... මං මගේ සේවා කාළයේදී පොලිසියෙන් හෝ කිසිම රජයේ ආයතනයකින් තේ එකක් වත් බීලා නැහැ) මේ එක්තරා අපරාධ අංශ ස්ථානාධිපති කෙනෙක් කියපු කථාවක්. ඇත්තටම මොහු හොද දැනුමක් තියෙන පරිනත නිළධාරියෙක්. නීතිය ගැන හැම දෙයක්ම දන්නවා. කිසිම අවස්ථාවක් කථා කරලා බේරෙන්න අමාරැයි. මං බොහෝ දේ මේ නිළධාරියාගෙන් ඉගෙනගත්තා. දවසක් මං ඔහු හමුවුන අවස්ථාවක අපි අතර වෙච්ච සංවාදයක් මේක. 

නිළධාරී - මිස්ටර්ට කියන්න මං ඔය ප්‍රශ්ණ කරන්න මිනිස්සුන්ට ගහන්නේ නැහැනේ. නීතිය දන්න කෙනෙක් විදියට මං කවදාවත් නීතිය කඩන්නේ නැහැ. 

මම - එතකොට මහත්තයා කොයිවගේ ක්‍රමයක්ද අනුගමනය කරන්නේ.. 

 නිළධාරී - මං කරන්නේ ඉස්සල්ලම හොඳින් අහනවා... කියන්නේ නැත්තන් තමයි මගේ වැඩේ පටන් ගන්නේ.. කොහොම හරි ඩීඕ (Dentation Order/ රඳවා ගැනීමේ නියෝග) ගහලා  කොහොම හරි දවස් දෙක තුනක් තියාගන්නවා.. අතක්වත් තියන්නේ නැහැ... හැබැයි කන්න දෙන්නේ නැහැ.. දෙවැනි දවසේ විතර හොඳට කොච්චි මිරිස් එහෙම දාපු කොත්තු රොටියක් දෙනවා කාපං කියලා... මුත් එලෝ මෙලෝ නැතුව කනවා... වේල් දෙක තුනක් නොකා හිටිය නිසා උන්ට කටට දැවිල්ල දැනෙන්න ටික වෙලාවක් යනවා... 

මම - ඉතිං.. ඉතිං... 

නිළධාරී - මිස්ටර් හිතන විදියට දැන් මොනාද මුට ඕනේ... 

මම - වතුර 
නිළධාරී - ඔව්... වතුර.. හැබැයි වතුර දෙන්නෙ නැහැ... වීදුරැව පෙන්න පෙන්න ප්‍රශ්ණ කරනවා... අනිවාර්යෙන්ම ඌ දන්න දෙයක් තියනවා නම් කියනවා.. ඒකේ දෙකක් නැහැ.. අත්දුටුයි.. ප්‍රත්‍යක්ෂයි... 

මෙය ඉතා දරැණු තත්වයකි.. භාහිර ශරීරයට වන හානියට වඩා අභ්‍යන්තරික වශයෙන් වන හානියේ බලපෑම වීශාලය. මෙවැනිම තවත් සිද්ධියක් සම්බන්ධයෙන් පලවුන පුවත් පත් වාර්ථාවක් මේ තියෙන්නේ. 


සිද්ධිය සරළව කිව්වොත් මෙසේය... ඔහු ආබාධිත රණවිරැවෙකි.. හිසේ ආබාධයකින් පලෙයි. එක් පාදයක් අහිමිව ඇත. කෘතිම පාදයක් භාවිතා කරයි.. ඔහු සිය සොහොයුරා සමග වැලිසර නාවුක හමුදා කඳවුරට ගොස් මෝටර් සයිකලයකින් නැවත පැමිනෙමින් සිටියදී කඳාන පොලිසියේ නිළධාරීන් විසින් නවතා තිබේ. හමුදා නිළධාරියා තම ආබාධය හේතුවෙන් හෙල්මට් නොපැලඳ සිටි අතර ඒ ගැන අදාළ පොලිස් නිළධාරීන්ට පැහැදිලි කලද ඔවුන් එය පිළිගෙන නොමැත. පසුව ඇතිවු බහින් බස් වීමේ දී මේ පුද්‍ගලයාට සහ ඔහුගේ සහෝදරයාට පහර දී අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ගෙන ගොස් ඇත. පසුව ඔහුගේ සහෝදරයාව කූඩුවට දමා "උඹ අපිට නේවි පාට් දානවා" දැයි කියා මේ නිළධාරියාට පහර දී ඇත. තවද ඔහුගේ ‍කෘතිම පාදය ඉවත්කර පොලිස් ස්ථානයේ කොරිඩෝවේ "බට්ටා" පනින්නට නියෝග කර ඇත. මොහු ‍ලුතිනන් වරයෙකි. ලුතිනන් වරයෙකු යනු නාවික හමුදාවේ උසස් නිලයකි. මොහුගේ පාදය අහිමිවුනේ හොර‍ පොල් කැඩීමට ගොස් නොවේ. මේ නිළධාරියාට සිදුවු මානසික බලපෑම කෙතරම් විය හැකිද ? තවත් මෙවැනි සිද්ධීන් කොතෙකුත් සිදුවිය හැකිය.

පසුගිය වක වානු‍වේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයින් බොහෝ දෙනා සඟවා තිබු අයුධ ‍සොයාදෙන්නට ගොස් වෙඩි කෑවෝය. අපි හිත යටින් සිනාසිමු. "පාතාලයන්ට හොඳ වැඩේ".. අපි සිතිමු... බළධාරීන්.. නිහඬව සිටියහ... පසුව එය තමන්ගේ "හොර ගෑනි" ට විහිළු කල තරැණයින් උස්සාගෙන ගොස් වධ දී මරා දමන්නට තරම් වර්ධනය විය... එම සිද්ධියේ අපරාධකාරයින්ට දඬුවම් ලැබුන බව සැබෑවකි.. ඒත් අර තරැණයින්ට නැවතත් ජීවිතය ලැබුනේ නැත. ඒ දෙමව්පියනට දරැවන් ලැබුනේ නැත.

මෙය ඔබට.. මට ඕනෑම මොහොතක සිදුවිය හැකිය... ...මෙය අවසානය නොවනු ඇත... ටික කලකදී මෙය අපට අමතකය.... ඒත් අනතුර තවමත් අප වටා කරකකෙමින් සිටියි...

ඊලඟ ගොදුර ඔබ විය හැකිය...