Tuesday, September 10, 2013

රතුපස්වල නැවත කියවීම (කෙටි සටහනකි)


පසුගිය දින කීපය පුරා බුකියේ බොහෝ දෙනාගේ එකම මාතෘකාව වුයේ "රතුපස්වල" සිද්ධියයි... එක එක අය එම සිද්ධියට විවිධාකාරයේ අර්ථකථනයන් ලබා දී තිබුනි.... ඒ බොහෝ ‍දෙනා තුල ඇත්තේද මා තුල ඇත්තා වු වෛරයමය... බීමට වතුර ඉල්ලු විට ලැබුනු වෙඩි උණ්ඩ සහ ගුටි බැට ගැන ගැන මා තුල නැගුනු තවමත් පිට නොකල වෛරමය... හිතේ කැකෑරෙන... ඇස් වලින් ගලන වෛරයමය... තව දින කීපයකින් ඒ වෛරය පහව යනු ඇත.. මීට පෙර සිදුවු වෙළඳ කළාප සොහොයුරාගේ ඝාතනය, මෙතෙක් නොවිසඳුනු විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායක දෙපලගේ අනතුරද, මීට පෙර කීප වතාවක් සිදුවු පොලිස් සිර මැදිරි තුල සිදුවු ගෙල වැල ලා ගැනීම ඇතුලු බොහේ දේ මෙන්ම මෙම සිද්ධියද මතකයෙන් පහව ගොස් හෝ පහව යමින් පවතින බව දැනෙනුයේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් පෙර තිබු කථිකාවත මෙන්ම ලෙළදුන් කළු කොඩි ද ගැලවී යන බවක් දක්නට ලැබෙන හෙයිනි...

නමුත් මෙම සිද්ධිය හුදෙක් එසේ ලේසියෙන් මතකයෙන් පහ කල යුතු කාරණයක් නොවේ... ඒ මෙම සිද්ධිය හුදෙක් තවත් එක් සිද්ධියක් ලෙස ගනන් ගැනුනන ද මෙය තවත් මෙවැනි සිදුවීම් වැලක, එසේත් නැත්නම් ක්‍රමවේදාත්මක මර්ධණකාරී වැඩ පිළිවෙලක ආරම්භක සටහන විය හැකි බැවිනි.. අද අප මේ භුත්ති විඳිනුයේ අප විසින්ම රෝපණය කර.. සාත්තු කර... පල දරා රස විඳි පලදාවේ අතුරු ඵලයයි...  එදා යම් ‍කිසි කොටසක්ගේ පරාජය හෝ මරණය වෙනුවෙන් ජය ඝෝශා කල අපි.... රතිඥ්ඥා දල්වා ප්‍රීති උන අපි.... පන්සල්  පල්ලි කෝවිල් පුරා සෙත්පැතීම් ආශිර්වාද පුජා කල අපි විසින්ම අද ඒ විරුවන් හෙලා දකිමින් සිටිමු.... එදා දන් දුන් ලෙය අද අපි නැවත් ඉල්ලමින් සිටිමු.... මෙය නැවත සිතා බැලිය යුතු කාරණයකි... එදා මෙන්ම අද ද ඔවුන් කලේ පාලකයන් ගේ "අණ" ක්‍රියාකරීමය.... එය ඔවුන් විසින් කල යුතු මෙන්ම කරවිය යුතු රාජකාරියකි.... ඔවුනට වැටුපක් ලැබෙන්නේ එම රාජකාරිය හේතුවෙනි....

පසුගිය දශක දෙක තුල හමුදා පුහුණුව ලබන සාමාන්‍ය සෙබළුන්ට මුලිකවම ලබා දුන්නේ "පොයින්ට් ඇන්ඩ් ශුට්" පුහුණුවයි.. ඊට අමතරව "ලෝ ඇන්ඩ් ඕඩර්" කොටසට වැඩි අවධානයක් යොමුකර තිබුනේ උසස් නිළධාරීන් ගේ අණ නොපමාව නොසිතා පිළිපැදීමටත්ය... එමෙන්ම පසුගිය යුධ සමයේ ඇතිවු හා සිදුවුයේ යැයි උපකල්පණය කල හැකි බොහෝ සිද්ධීන් හමුවේ හමුදාව ක්‍රියාකල ආකාරය ඉහල අණ පිළිපැදීමට එහා ගිය ආකාරයක් පෙන්නුම් කරවයි... එය යම් ආකාරයක නිදහසක් අයුතු ලෙස භුක්ති විඳීමක් ලෙසද සිතිය හැක.... එදා අප කොතෙක් සාධාරණිකරණය කලද, අ‍ප හමුදාවන් ඉතා විනය ගරුක නීති ගරුක ලෙස උදම් ඇනුව කටවල් වලින් අද වනවිට අපට අසන්නට ලැබෙනුයේ "අද අපිට මෙහෙමෙ කරනවා නම්, මුන් එදා කොහොම කරන්න ඇතිද.?" යන්නය....

හමුදාව පුහුණු කරන්නේ යුද්ධය සඳහාය... ඔවුන්ට ඇති රාජකාරිය සතුරා විනාශ කිරීමය.... ඒ ඉහලින් ලැබෙන අණ ක්‍රියාත්මක කිරීමක් මෙන්ම ලද පුහුණුව ක්‍රියාවේ යෙදවීමකි.... යම් ලෙකින් ලැබෙන අණ නිසි පරිදි තෝරාබේරා ගැනීමේ හැකියාවක් හෝ අපැහැදිලිතාවක්... අපහසුවක් ඇති අවස්ථාවකදී හමුදාව ක්‍රියාකරන්නේ "ලද පුහුණුව" ආකාරයටය.... එය පාලකයින්ට පහසුවකි.... අවසානයේ දී ඔවුනට අවශ්‍ය මර්ධනය ක්‍රියාකරවීම "ලොක්කාගේ ඕඩර් එකක්" නොමැතිව වුවද සිදුවන බැවිනි.... මේ සිදුවීමද එසෙය... දැන් හමුදා පරීක්ෂන කරනුයේ අදාල තුවක්කුව පත්තු කල පුද්ගලයා හෝ පුද්ගලයින් සොයන්නනටය... සිවිල් ජනතා උද්ගෝශණයක් මර්දනය හෝ පාලනය කිරිම සඳහා හමුදාව හෙදාගැනීමට නියෝගය ලබදී ඇත්තේ බොදු බල සේනාවය....එය එසේම වී නම් එයටද වගකිව යුත්තේ අපය... එදා හම්බයන් මර්ධණය කරන විට... "අපේ හාමුදුරුවන්ට" සේනා සැපයුයේද.., අනුබල දුන්නේද අපය... 
 
තවත් කාරණය නම් තවමත් පහව නොගිය පශ්චාත් යුධ මානසිකත්වයයි... පවතින රජයට එරෙහි ඕනෑම ක්‍රියාවලයකදී හෝ විවේඡනයදී රජය අනුගමනය කරනු ලබන්නේද යුද ජයග්‍රහනය විකුණාගෙන කෑමේ පිළිවෙතයි. එයින් ගම්‍ය වන කාරණය නම් නැවත නැවත යුද්ධය සිහිගැන්වීම තුලින් ඔවුන ලබන තෘප්තිය නොව අපට තවත් දශක ගනනකට යුද්ධය අමතක කරලිය නොහැකි බවයි. එමෙන්ම වසර 30 පුරා යුද්ධය විඳි අප මෙන්ම වසර ගනක් පුරා යුධ ක්‍රියාවිතතයන් හී නියැළුනු හමුදාවෝ වසර කීපයක් තුල ඒ මානසිකත්වයෙන් මුදවාලීය හැකිදැයි නැවත සිතිය යුතු කාලය මෙයයි... අප එල් ටී ටී ඊ සාමාජිකයින් පුනුරුත්ථපනය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලද.... හමුදා සාමාජිකයින් පුනුරැත්ථාපනය කරන වැඩ සටහනක් ක්‍රියාත්මක වෙනවා දැයි අසා නැත.... ‍පසුගිය කාලය පුරාවටම අපට අසන්නට ත්‍රිවිධ හමුදා පොලිස් සිවිල් ආරක්ෂක සාමාජිකයින් සම්බන්ධ ඝාතන වලින් මෙය වඩාත් පැහැදිලි වනු ඇත.... තම පෙම්වතිය හැරයාම.... වැටේ මායිම වෙනස් වීම.... උසස් නිළධාරීන් ගේ අණ....අධික කළකිරීම වැන අවස්ථාවලදි පවා ඔවුන් පිළිතුර සොයන්නට උත්සහා කලේ තුවක්කුවෙන් සහ උණ්ඩයෙනි.... මෙවැනි සිද්ධින් විට සිදුවුවද... මංකොල්ලා කෑම්... සොරකම් වැනි නිති විරෝධි ක්‍රියාවන්ටට... අවසාන වශයෙන් කුලියට මිණිමැරීම දක්වා ද මෙම ක්‍රියාවලිය වර්ධණය වී තිබුනද තවමත් "ආරක්ෂක අංශ" සාමාජිකයින් යුධ මානසිකත්වයෙන් සිවිල් මානසිකත්වය වෙත යොමුකිරීමේ ක්‍රියාවළියක් නැත... 

එල්ටීටීඊ සාමාජිකයින් පුනුරුත්ථාපනය කරනු ලබන්නේ ඔවුන් ජීවත් වු පරිසරය සහ ඔවුන් ලද පුහුණුවත් ඔවුන්ට දෙනු ලැබුවාවු මානසික පරිකල්පන සිතුවිලි වලින් ඔවුන් මුදවා ගෙන යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ අරමුණු කරගෙනය... 80 දශකයේ මුල් භාගයෙන් පසු උපත ලද උතුරුකරයේ එල්ටීටීඊ පාලන ප්‍රෙද්ශයන් හී ජීවත් වු දරැවන් පසුකාලීනය යුද්ධය එකම අරමුණ කරගෙන සටනට පිවිසියේ ඔවුන් කුඩා ලක සිටම ලද අත්දැකීම යුද්ධයම වන හෙයිනි.. එහිදි ඔවුන සිංහලයා සහ සිංහල හමුදාව දුටුවේද ඔවුනට නිර්වචනය කරනු ලැබුයේද තමන් මරා දැමීමටත් තම නිජබිම අත්පත් කරගැනීමටත්  මාන බලනා කොටසක් ලෙසටය... එම කාරණය සනාථ කිරීමට උදාහරණ අවශ්‍ය නොවුයේ එදා සිට යුද්ධය අවසානය දක්වාම ඔවුන් විඳි පරිසරයයි... යලිත් යුද්ධයක් කෙරෙහි යොමු නොවීම උදෙසා එවැනි පිරිසක් සමාජගතකිරීමෙහි ලා මනා සැළසුම් සහගත පුනුරුත්ථාපන වැඩපිළිවෙලත් අනුගමනය කිරීම වැදගත් වේ.

අනෙක් කාරණය වන්නේ මෙවැනි මිනිස් උවමනාකම් උදෙසා කරන ලබන සටන් මර්ධණය කිරීමේලා යොදවන්නේද යෙදවෙන්නේද පීඩිතයින්ගේ පන්තියේ උන්ම වීමය.... මෙය හුදෙක් අපේ රටේ පවතින දේශපාණයයි.... පහල ස්ථරයන් තුල ගැටුම් ඇතිකිරීම තුල තමන්ගේ බලය සනාථ කරගැනීම නිර්ලජ්ජිත උවමනාවයි... එය අද එක් එක් ආකාරයෙන් එළිබසිමින් තිබේ... ආගමික සහජීවනය පළුදු කරමින් සහ එකිනෙකා අතර වෛරය පතුරවමින් මේ එළියට එන්නේ ඔවුන්ගේ පැලැන්තියේ පැවැත්ම උදෙසා ක්‍රියාත්මක කරන්නා වු සැලැස්මේ පියවරයන් බව තේරුම් ගැනීම වැදගත්වේ... නමුත් පහල ස්ථරය තුල අමතක වීම බොහොම භයානක රෝගයක්ව පවතින හෙයින් පාලකයින්ට තම පදනම රැක ගැනීම ඒ තරම් අමාරු නොවේ... නිදහසින් පසුද... නිදහසට පෙරද අපේ රටේ බලය අත්පත්කරගත්තේ කපටින් අතරින් වඩාත්ම කපටියා වීම මහත් විශ්මයට කාරනාවකි.... එදා සිට අද දක්වාම මේ පෙරළියේ ඉත්තන් වන්නේ පීඩිත පන්තියයි....

මෙම සිද්ධියෙන් පාලකයින් අපට උගන්වන්නට උත්සහා කරන හෝ අප ඉගෙනගත යුතු පාඩම් බොහොමකි...
නමුත් අවසානයේ අපට යලිත් මතක් කරදෙනු ලබන්නේ එකම කාරණයකි....

එදා ජර්මනියේ නාසිවාදීහු..
පලමුව ඝාතනය කලේ යුදෙව්වෝය..
මම නිහඬව සිටියෙමි..
මන්ද මම යුදෙව්වෙකු නොවන නිසාය..
ඉන්පසු ඔවුන් කොමියුනිස්ට්වාදීහු සොයා පැමිනියහ..
මා කුමක් කියම්ද..
මා කොමියුනිස්ට්වාදියෙකු නොවන නිසා..
ඊලඟට ඔවුන් සොයා පැමිනියේ වෘත්තීය සංගම් නියෝජිතයන්ය..
මා නිකං බලා සිටියෙමි..
මා වෘත්තීය සමිතියකට අයිති නැහැ නොවැ..
ඉන්පසු ඔවුන් කතෝලිකයන් සොයා පැමිනියේය..
මා බිය නොවුයේ මා පොතෙස්තන්ත්‍රයෙකු වූ නිසාය..
ඔවුන් අවසානයේදී..
මා සොයා පැමිනියේය...
එවිම මා‍ වෙනුවෙන් කථාකරන්නට කිසිවෙකු සිටියේ නැත..

 (මාටින් තිමලෝර් පියතුමා - ජර්මනියේ සිරගෙදරකදී)

එය අපටද යම් දිනයක් එක සේ විඳිය හැකි බවයි....

11 comments:

  1. එවිට මා‍ වෙනුවෙන් කථාකරන්නට කිසිවෙකු සිටියේ නැත..

    අන්තිමට වෙන ඇත්ත කතාව බස්සා අයියේ...

    ReplyDelete
  2. අගනා සටහනක් බස්සෝ..

    ReplyDelete
  3. එලටම ලියල තියෙනව....

    ReplyDelete
  4. මෙන්න ඔය මාටින් නීමොලර් ගේ කවියේ සිංහල පරිවර්තනය W3Lanka එකේ පල වුණු!

    http://www.w3lanka.com/2010/02/blog-post_1844.html

    ReplyDelete
  5. මෙන්න නීමොලර් ගේ කවියේ ලෝකල් වර්ෂන් එකක් ලියන්න මං ගත්තු උත්සාහයක්.
    පළමුව ඔව්හූ ජෙප්පන්ව මැරූහ
    අපි නිහඬව සිටියෙමු
    ඒ අප ජෙප්පන් නොවන බැවිනි

    ඉන්පසු ඔව්හූ දෙමලුන්ව මැරූහ
    අපි නිහඬව සිටියෙමු
    ඒ අප දෙමලුන් නොවන බැවිනි

    ඉන්පසු ඔව්හු මාධ්‍යවේදීන් මැරූහ
    අප නිහඬව සිටියෙමු
    ඒ අප මාධ්‍යවේදීන් නොවන බැවිනි

    ඉන්පසු ඔව්හූ කම්කරුවෙක් මැරූහ
    අප නිහඬව සිටියෙමු
    ඒ අප කම්කරුවන් නොවන බැවිනි

    ඉන්පසු ඔව්හූ ධීවරයෙක් මැරූහ
    අප නිහඬව සිටියෙමු
    ඒ අප ධීවරයන් නොවන බැවිනි

    මේ අතර ආයුධ පෙන්වන්න ගිය
    අත්අඩංගුවේ පසුවුණු අයද වෙඩි වැදී මිය ගියහ
    අප නිහඬව සිටියෙමු
    ඒ අප අයිආර්සීකාරයින් නොවන බැවිනි

    අවසානයේ ඔව්හූ අප කරා ආහ!

    http://kathandara.blogspot.com/2013/08/blog-post.html


    ReplyDelete
    Replies
    1. AWASANAYE OWHU APAGE PUKATA KELIYAHA.

      Delete
  6. තවමත් "ආරක්ෂක අංශ" සාමාජිකයින් යුධ මානසිකත්වයෙන් සිවිල් මානසිකත්වය වෙත යොමුකිරීමේ ක්‍රියාවළියක් නැත...

    මේක තමයි ඇත්ත කාරණය. පහුගිය කාලේ සිදුවුණ දේවල් දිහා හිතල බැලුවොත් අපරාදේ කියල හිතෙනවා අඩුතරමින් ඒසිදුවිම්වලට එරෙහි වෙච්ච අය තනිවෙලා. ඒවායින් බැට කෑ අය ඊළඟ සතියේ හිනාවෙවී පොටෝවලට ඉන්නවා. කාටද මේව කියන්නේ....

    ReplyDelete
  7. 'පොයින්ට් ඇන්ඩ් ෂූට්' කියා ක්‍රමයක් ඡායාරූප ශිල්පයේ මිසක් හමුදා පුහුණුවේ කොහෙවත් නැත. පසුගිය දශක දෙක තුල එවැනි පුහුණුවක් නොදුන් බව, පාබල හමුදා ඒකකයක අණදෙන නිලධාරියකු වශයෙන් සේවය කළ මම වගකීමෙන් කියමි. සෑම හමුදා සෙබළකුටම දෙන මූලික පුහුණුව සම්පූර්ණයෙන් ම න්‍යායාත්මක කරුණු පදනම් කරගත් පුහුණුවකි. (දේශන සහ ප්‍රයෝගික පාඩම් අනිවාර්යයෙන් කෙරෙයි) ඒ පුහුණුවේ කොටසක් ලෙස මානව හිමිකම්ද ඇතුළත්ය. (ඒවා කොතෙක් දුරට ක්‍රියාත්මක කලාද යන්න වෙනමම විමසා බැලිය යුතුය) පුහුණු කටයුතු පිළිබඳව හොඳින්ම දන්නා මම එය වගකීමෙන් කියමි. එබැවින් ඔබගේ ප්‍රකාශය, අවලංගු, ශූන්‍ය, සහ නොමග යවන සුළු මෙන්ම දැඩිව ප්‍රතික්ෂේප කළයුතු ප්‍රකාශයකි. දශක දෙකකට පෙර තිබුනේ කෙබඳු පුහුණුවක්දයි ඔබට කිවහැකිද? පොයින්ට් ඇන්ඩ් ෂූට් යන්න සාධක සහිතව ඔප්පු කළ හැකිද? ඔබ අදහස් කරන්නේ 'ඉවක් බවක් නැතුව හැරුන හැරුන අතේ වෙඩි තියපල්ලා' කියා හමුදාවට ඉගැන්වූවා කියා කීමටනම්, සංග්‍රාමික මූලික න්‍යායන් ගැන හෝ ඔබට කිසිදු දැනීමක් නැති බව මම නොබියව කියමි. ඒ ආකාරයට හැරුන හැරුන අතේ වෙඩි තියන්නට ගියොත් ඒ හමුදාව ඉක්මනින් සතුරාට යටත්වෙනු නොඅනුමානය.

    වලංගු කරුණු මෙන්න මේවාය.

    1. ක්‍රියාන්විත අවශ්‍යතාව මත අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන් හමුදාවට බඳවාගැනීම නිසා ඔවුන් අතින් සිදුවියහැකි වැරදි අපමණය.

    2. පශ්චාත් යුද මානසිකත්ව කළමනාකරණය ප්‍රාමාණික වශයෙන් ප්‍රශස්ත මට්ටමක නොපවතී.

    3. බල තන්හාවෙන් පෙලෙන පාලකයෝ ත්‍රිවිධ හමුදාව දේශපාලනීකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පාදඩකරණයවීමේ අවදානමක් දැඩිව මතුව ඇත.

    4. තමන්ට උපදෙස් ලබාගැනීමට කිසිවකු නැත්නම් 'ලද පුහුණුව' අනුව හමුදාව ක්‍රියාකිරීම ජාත්‍යන්තරවද පිළිගන්නා සාධාරණ කරුණකි.

    හමුදාව කිසිවිටකත් උවමනාවට වඩා පිම්බීම අනවශ්‍ය වන අතර, වැඩගෙන ඉවත දමන මෙවලමක් ලෙස සලකා කටයුතු කිරීම නොමනාය.

    ඔබ කැමතිනම් රතුපස්වල පිළිබඳව මා ලියන ලද ලිපි දෙකක් පහත සබන්දියාවන්ගෙන් බලන්න.

    පළමුවැනි ලිපිය මෙතනින්

    දෙවැනි ලිපිය මෙතනින්

    ReplyDelete
  8. 100%ක් එකඟයි.

    හැම ආණ්ඩුවම ( මොන ආණ්ඩුව ආවත් තියන අටමගලත් ඇතුළුව ) කරන්නේ යුද්ධය විකුණන් කෑම.. පශ්චාත් යුද මානසිකත්ව කළමනාකරණය කරන්න කිසිම උවමනාවක් නැහැ. යුද්ධේ අවසන් යැයි කියමින් දොඩවනවා. ඒ උනාට රණවිරුවෙකුගේ මානසිකත්වය ගොඩක් පහලටම වැටිලා. ඒ දේ ගැන හිතන්නේ නැහැ. ඒක අසාදාරණයක් එයාලට කරන.
    ස්ත්‍රී දුෂණ, කොල්ලකෑම්, පාතාල ක්‍රියාකාරකම් සේවෙන් ඉවත් උන රණවිරුවන් අතින් වෙනවා වැඩි. එව්වට හේතු හොයන්න උවමනාවක් නැහැ. වගකිව යුත්තෝ උඩ ඉඳන් ජය පැන් බොද්දි පහල තුවක්කු හිමියා තමයි බෙල්ල කපා ගන්නේ..

    මම - Bora Diyaka Induwara

    ReplyDelete
  9. ///තවත් කාරණය නම් තවමත් පහව නොගිය පශ්චාත් යුධ මානසිකත්වයයි... පවතින රජයට එරෙහි ඕනෑම ක්‍රියාවලයකදී හෝ විවේඡනයදී රජය අනුගමනය කරනු ලබන්නේද යුද ජයග්‍රහනය විකුණාගෙන කෑමේ පිළිවෙතයි. එයින් ගම්‍ය වන කාරණය නම් නැවත නැවත යුද්ධය සිහිගැන්වීම තුලින් ඔවුන ලබන තෘප්තිය නොව අපට තවත් දශක ගනනකට යුද්ධය අමතක කරලිය නොහැකි බවයි.///

    බස්සෝ........යුධ මානසිකත්වය තුල අපව තබාගන්නවා පමනක් නොවේ සෙමින් සෙමින් සිවිල් පරිපාලණයම හමුදාකරණයකට ලක් කරනවා කියලා මට හිතෙන්නේ.උදාහරණ නම් එමටයි.

    ReplyDelete
  10. කාලෙකින් ලියල නැහැ නේද?

    ReplyDelete