Monday, November 14, 2011

නාකි හුරතලේ....

හොඳ වැඩේ තොට....
ආදරේ කරනවට....
දන්නෑ සීමාව....
ආදරේ නැති බව...
උඹ ආදරේ තරමට...
හදනවා හුරතල් වෙන්න...
හිනාවෙයි දවසක..
උන් උඹට....
කෝ උඹේ මහ පෞරුෂය..
දාලා දැන් බල්ලට...
උඹ වැටිලා පල්ලට....
හිඟන්නෙක් වගේ හොයනවා...
ආදරේ..

Sunday, November 13, 2011

මහරජ... මේ කව්ද.. මොනවද කරන්නේ...

අද කියන්න හදන්නේ මම මානව හිම්කම් ආයතනයේ වැඩකරන කාලේ මුහුන දුන්න සිදධියක් සම්බන්ධයෙන්. මේක බොහොම සුළු සිද්ධියක් උනත් ලියන්න හිතුනා..මේ කාලේ මම රාජකාරී කලේ වවුනියාව දිස්ත්‍රික්කයේ උනත්.. මුලතිව්, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටි මේ ගම්මාන අයත් ප්‍රදේශය අපේ වවුනියාව කාර්යාලට බාරව තිබුනේ.. මේ ගම්මාන වලට තිබුන එක් ගැටළුවක් පරිපාලන දිස්ත්‍රික්කය පැහැදිලි නොවීම... සමහරක් නිළධාරීන් මොවුන් මුලතිව් දිස්ත්‍රික්කට අයිතිය බව කිව්වත් ඡන්දයකදී මොවුන් අනුරාධපුරයට ඈඳා ගන්නවා...මේ නිසා මේ ජනතාව අයාලේ යන තත්වයක් තමයි තිබුනේ.

පරාක්‍රමපුර, ජනකපුර, කිරිඉබ්බන්කටුව, ඇතාවැටුනුවැව, මොණරවැව වගේ අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ තිබුන මේ ගම්මාන නිතරම කොටින්ගේ තර්ජනයට ලක් උනා. කොයිතරම් කොටි තර්ජන තිබුනත් ඒ මිනිස්සු  තමන්ගේ ගම්බිම් දාලා එන්න කැමති උනේ නැහැ... රජයෙන් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්න කියලා තමයි ඔවුන්ගේ ඉල්ලීම උනේ. වෙන කිසිම දෙයක් නෙමෙයි ආරක්ෂාව. මේ අතර තමයි හේන් කොටන්න කැලේට රිංගපු අහිංසක ගම්මු දෙනනෙක් කොටි මරලා දාලා තිබුනේ. මේක දෙබරෙට ගල් ගැහැව්වා වගේ උනා. මේ හේතුව නිසා මේ අහිංසක ගම්මු අතට අහුවෙන අහුවෙන දේවල් එකතු කරගෙන පදවිය පැත්තට පල්ලම් බැස්සා. 

ඔවුන් ඇවිල්ලා තාවකාලික නිවාස අටවගත්තේ පදවිය සීමවේ තියන බොරළුකන්ද සහ ඒ අවට. එකවරමු සිද්ධ උන මේ සිද්ධිය නිසා ඒ අවට මහා තදබදයක් ඇති උනා.. තමන්ගේ මුලික අවශ්‍යතා ඉටුකරගන්න.... ඒ වගේම පානීය ජලය, ආහාර පාන, සනීපාරක්ෂාව වැනි අවශ්‍යතා ඉටුකරගැනීමේදීත්.. දරැවන්ගේ අධ්‍යාපනය....සෞඛ්‍ය වැනි ගැටළු වලට මේ පිරිසට මුහුන දෙන්න සිදුවුනා.. 

මේ සම්බන්ධයෙන් අප ආයතනයේ උසස් නිළධාරීන් දැනුවත් කලත් කිසිම සහනදායි පිළිතුරක් ලැබිලා තිබුනේ නැහැ.. මුලික අවශ්‍යතා සැපයීම අප ආයතනයේ කාර්යභාරය නොවුනත් බොහෝ අවස්ථාවලදී මෙවැනි කරැණු සම්බන්ධයෙන් අපි මැදිහත් උනා, මේ ව‍ගේ කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය ආයතන දැනුවත් කරන්න සහ සංවිධානය කරන්න. මෙහිදී ලැබුන ප්‍රතිචාරය උනේ වවුනියාව කාර්යාලයට මේ සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත් විය නොහැකි බවත් අවුරාධපුර කාරියාලය මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවත්ය... නමුත් එම කාර්යාලයේ අභ්‍යන්තර වශයෙන් අවතැන්වුවන් සම්බන්ධ ව්‍යාපෘතියක් නොමැති බැවින් මේ සඳහා සම්බන්ධ විය නොහාකි බවත්ය...මේ සම්බන්ධයෙන් වවුනියව කාර්යාලයට මැදිහතක් වීමට අවසර ලබාසෙන් මෙන් ඉල්ලීමක් කල නමුත් සති කීපයක් ගතවුනත් මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබීම නිසා මම මගේ ඉහල නිළධාරියට ඊයක් යැව්ව.. ඒක තිබුනේ මේ විදියට..


මහරජ... අභ්‍යන්තර අවතැන් වුවන් යනු කව්ද ?


ස්වාමිනී “ස්වකැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් තම පදිංචිව සිටින ස්ථානයෙන් ඉවත් වනු ලැබු හෝ ඉවත් කරනු ලැබ රට තුලම වෙනත් ස්ථානයක පදිංචි වු හෝ පදිංචිකරනු ලැබු පුද්ගයින් අභ්‍යනැතර අවතැන්වුවන්" ලෙස හඳුන්වයි...


මහරජ... එය එසේනම්....වවුනයාවේ සරණාගත කඳවුරැවල ජීවත් වන්නන් අභ්‍යන්තර අවතැන්වුවන් නොවේද?


ස්වාමීනී.. ඔවුන් අභ්‍යන්තර අවතැන්වුවන් වේ 


මහරජ..... එය එසේනම්....පදවිය බොරළුකන්ඳ හා ඒ අවට සරණාගත කඳවුරැවල ජීවත් වන්නන් අභ්‍යන්තර අවතැන්වුවන් නොවේද ?


ස්වාමීනී.. ඔවුන් ද අභ්‍යන්තර අවතැන්වුවන් වේ 


එය එසේනම්.. වවුනියාවට එක හැන්දකිනුත්... පදවිය ට තවත් හැන්ඳකින් බෙදනු කිම...


පහුවෙනිදා ආවා දුරකථන ඇමතුමක්.... 


කථාව ඉවරයි....

Thursday, November 10, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 8 (අත්අඩංගුවට පත්වෙන්නට පෙර කියවන්න)

අපි නැවතත් කථාකරමු මානව හිමිකම් ගැන... මතකයිනේ අපි මාස කීපයක ඉඳලා කථාකරමින් ලංකාවේ අපිට බලපාන ආකාරය සම්බන්ධයෙන්....මේකත් හරියට මොකාගෙද මොකක්ද අල්ල ගත්තා වගේ වැඩක්... පටන් ගත්ත නිසා ඉවර කරන්නම වෙනවා...හැබැයි දැන් අපිට වටේ යන්නේ නැතිව කථා කරන්න පුලුවන්... මොකද අපි මේ කරැණු සම්බන්ධයෙන් ඔබේ අයිතිය සහ වගකීම කියන සීරීස් එකේ..1, 2, 3, 4, 5, 6 සහ 7 කියන පෝස්ට් වලින් දිගමට කථා කරපු නිසා. එහෙම බලලා නැත්තම් පොස්ට් ඔකකොම බලලා එන එක තමයි ‍හොඳ... එහෙම නැත්නම් මේ ගැන නිසි අවබෝධයක් ගන්න අමාරැයි... පහුගිය පෝස්ට් එකේ අපි නැවැත්තුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 13 වන වගන්තිය පලමු උප වගන්තිය ‍ගැන කථාකරන අතරමග. අපි පටන් ගමු 13 වන වගන්තියේ, දෙවැනි උප වගන්තිය ගැන කථා කරන්න.. 

"අත් අඩංගුවේ තබාගනු ලැබු හෝ රඳවා ගනු ලැබු  හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබු හෝ සෑම තැනැත්තෙකුම නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු වන අතර, නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලබන ආඥාව මත සහ අදාල ආඥාව ප්‍රකාර මිස, ඒ තැනැත්තා තව දුරටත් අත් අඩංගුවෙහි තපා ගැනීම හෝ රඳවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකල යුතුය"


අපි මේ වගන්තියෙත් සඳහන් කරන "නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටිය" මොකක්ද කියන එක විමසා බලමු...

මෙහිදී සංඥය වැරදි සහ සංඥය නොවන වැරදි යනුවෙන් කොටස් දෙකක් ගැන අපිට කථා කරන්නට සිද්ධවෙනවා.. සංඥය වරදක දී පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වන අතර සංඥය නොවන වරදකදී වරෙන්තුවක් සහිතව අත්අඩංගුවට ගත යුතුය.


(සංඥය වරදක්ද? නැද්ද? යන්න 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය, පළමුවන උප‍ලේඛනයේ 3 වන තීරයේ සඳයන් තොරතුරු අනුව තීරණය කරයි.)


සාමාන්‍ය පුද්ගලයකු විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි අවස්ථා:-

අපරාධ නඩු විධාන සංග්‍රහය 35 වගන්තිය
1) තමා ඉදිරිපිටදී සංඥය වරදක් කරන තැනැත්තෙකු
2) වරදකරු ලෙස ප්‍රකාශයට පත්කර ඇති තැනැත්තෙකු
3) පැන දුවන්නා වූද ,සංඥය වරදක් කළ තැනැත්තෙකු යැයි සැකකිරීමට
    සාධාරණ හේතු ඇති අයෙකු

මෙසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් හැකි ඉක්මනින්  සාම නිලධාරියෙකු ඉදිරියට නැතහොත් පොලිස් ස්ථානයකට ගෙනයා යුතු වන අතර එහිදී ඒ පුද්ගලයා 32 වන වගන්තියේ විධි විධාන යටතට ගත හැකි පුදිගලයෙකු නම් සාම නිළධාරියා විසින් නැවත සිරභාරයට ගත යැතුය. 
තවද පුද‍්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ යම් වරදක් කරන පුද්ගලයෙකු වැළැක්වීමට කටයුතු කල හැකිය (දණ්ඩ නීති සංග්‍රහය 89 සහ 99 වගන්තිය)


සංඥය නොවන වරදකදී වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි අවස්ථා:-

 අපරාධ නඩු විධාන සංග්‍රහය 33 වගන්තිය
1) එම තැනැත්තා ඔහුගේ නම ,ලිපිනය දීම ප්‍රතික්ෂේප කළවිට හෝ
    අසත්‍ය නමක් ,ලිපිනයක් දෙන බවට හැඟී ගිය අවස්ථාවකදී,
2) එම තැනැත්තා ලංකාවේ ස්ථීර පදිංචියක් නැති අයෙකු හෝ රට  
    හැරයාමට ඉතා ආසන්න බවට හැඟී ගිය අවස්ථාවකදී,

සැඟවී සිටින අයෙකු අත්අඩංගුවට ගැනීම:-

අපරාධ නඩු විධාන සංග්‍රහය 24,25 වගන්ති අදාල වේ.
අත්අඩංගුවට ගතයුතු කෙනාගේ හෝ වෙනත් අයෙකුගේ යම් ස්ථානයක බාහිර හෝ අභ්‍යන්තර දොරක් කවුළුවක් කඩා එය විවෘතකර ඇතුලු වී සැඟවී සිටින අයෙකු අත්අඩංගුවට ගත හැක.
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලිඛිතවීම,අධිකරණ විනිසුරුවරයකු විසින් අත්සන්කර තිබීම අවශ්‍යය.
(අ.න.වි.සං 50 වගන්තිය)
  • අත්අඩංගුවට ගනුලැබූ තැනැත්තෙකු පැය 24ක් ඇතුලත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත්කළ යුතුය.
  • මහේස්ත්‍රාත් නියෝගයක් මත වැඩිදුර විමර්ශන සඳහා එකී කාලය පැය 48ක් නොඉක්මවූ කාලයක් දක්වා දීර්ඝකරවාගත හැක.
(2005 අංක 15 දරණ අ.න.වි.සං(සංශෝධිත)පනත)අදාල වේ.

මේ කාරනා ටිකක් නොතේරෙන ගතියක් තියනවා.. .සම්පුර්ණයෙන්ම පැටලිලි සහගතයි... සාමාන්‍ය පුද්ගලයෙකුට කියවා තේරැම් ගන්නට අපහසුයි.... කීප වරක්ම කියවීම තුලින් තමයි යම් අවබෝධයක් ගන්න පුලුවන්.....ඒකට හේතුව අපේ රටේ නිතිපද්ධතිය හදලා තියෙන්නේ  ඉංග්‍රීසියෙන් හිතලා ඉංග්‍රීසියන් වැඩකරන කොටසක් මගින් වීම... ඒ අය බර වචන දාලා ඉංග්‍රිසියෙන් ලියලා එවන එක ඒ වචන වලට ගැලපෙන සිංහල වචන යොදලා පරිවර්ථනය වීම තුල ‍‍තේරම් ගන්න තියන අපහසුව තමයි...


මෙහිදී කථා කරන්නට යමක් තියනවා... ඒ තමයි "අපරාධ නඩු විධාන සංග්‍රහය 115 වැනි වගන්තිය...අත්අඩංගුවට ගනුලැබූ තැනැත්තෙකු පැය 24ක් ඇතුලත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත්කළ යුතුය" යන්න. ‍
මෙයින් අදහස් කරන්නේ අත්අඩංගුවේ පැය 24 ක් තියාගන්න පුලුවන් තියන එක නෙමෙයි. තියාගන්න පුලුවන් උපරිම කාලය පැය 24 ක් කියලා.. නමුත් ඊට කලින් මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් තරන්න හැකියාවක් තියනවා නම් ඉදිරිපත් කරන්න ‍ඕනේ... එහෙම ඉදිරිපත් නොකිරීම මෙම 13 වැනි වගන්තිය උල්ලඝනය කිරීමක් කියලා ‍ගරැ ශ්‍රේෂ්ධාධිකරණය පිළිඅරගෙන තියනවා. උදාහරණයක් විදියට කෙනෙක් රාත්‍රියේ දී අත්අඩංගුවට ගන්නා සාධාරණ සැකයක් මත... (මම මේ කියන්නේ සමහර වෙලාවට පාරේ යන ගමන් දාගෙන යන ඒවා ගැන) රෑ 10 ට කියමු.... පොලිසිටය ගෙනියනවා.... කුඩුවට දානවා... දැන් මොහු අත්අඩංගුවේ.... මේ සිද්ධිය අනුව පැය 24 සම්පුර්ණ වෙන්නේ පහුවෙනිදා රෑ 10.00 නමුත් කිසිම අවස්ථාවක මේ පුද්ගලයව ඒ වෙනකම් තියා ගන්න නීතියෙන් ඉඩක් නැහැ... එදා උදේම අධිකරණයට ඉදිරිපත් කල යුතුයි. මොකද පැය 24 ක් රඳවා ගන්න අවස්ථාව දීලා තියෙන් නේ යම් කිසි පුද්ගලයෙක් පිළිබඳව විමර්ශණයන් කරන්න... ප්‍රශ්ණ කරන්න වගේ දේවල් වලට.. මෙහිදී මොහුව අත්අඩංගුවට තියෙන්නේ නිශ්චිත හේතුවක් දක්වන්නේ නැතුව. සමහර වෙලාවට අපි දකිනවා නිවාඩු කියලා සැකකරැවන්ව තියාගන්නවා. ඒක වැරදියි. නිවාඩු දවසට අධිකරණය වහලා උනාට මහේස්ත්‍රාත් නිල නිවසට අරගෙන ගිහින් සැකකරැ ඉදිරිපත් කරන්න පුලුවන්. මහේස්ත්‍රාත්වරයා නැත්නම් අනිවාර්යෙන්ම වැඩබලන මහේස්ත්‍රාත් වරයෙකු සිටිය යුතුයි. කිසිම අවස්ථාවක නිවාඩු හේතු කරගෙන මේ ඉදිරිපත් කිරීම කල්දාන්න බැහැ. මේ හේතුව නිසා බොහෝවිට පොලිසිය කරන්නේ අත්අඩංගුවට ගන්න පුද‍්ගලයින්ව ලියාපදිංචි කරන්නේ නැහැ...එහෙම අවස්ථා අපි දැකලා තියනවා.... අනිත් කාරණය තමයි.. අත්අඩංතුවට ගන්න අවස්ථාවෙදි හෝ ප්‍රශ්ණ කිරීම් වලදී පහරදීම‍ක් හෝ නිශ්චිත කාලයට වඩා රඳවාගෙන තියනවා නම් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ ගැනදැනුම් දෙන්න අත්අඩංගුවේ පසුවන සැකකරැට අවස්ථාව තියනවා.. මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික තත්වයන් සාකච්ඡා කල හැකියි.. එවැනි සිද්ධින් ඔබ දන්නවා නම් සාකච්ඡාවට ඉඩ තියනවා.

(මූලාශ්‍ර "වීකිපීඩියා")

Tuesday, November 8, 2011

අපි මෙහෙම ඉමු...

 මට කොයි තරම් ඕනේ උනත්...
මේ තරම්  ලඟ හිටියත්..
ලංවෙන්න ඔයාට..
බැහැ මට...

‍කොයි තරම් ආදරෙන්..
මග බලන් හිටියත්..
ඔයාට බැහැ මට ලංවෙන්න...
‍ඔයා විනාස වෙයි...

දුක තමයි...
අපි මෙහෙම ඉමු.. 
මේ දුර හොඳයි...
අපි මෙහෙම ඉමු..

Saturday, November 5, 2011

කිචිය...කුචිය සහ ආතල්.... 18+

‍මේ මාසේ දවස් 5 ක්ම ගියා.. දන්නේම නැතුව..ලියන්න ගත්ත පෝස්ට් කීපයක්ම තාමත් ඉවරකරන්න බැරි උනා.. ඔය අතරේ තමයි අද දැක්ක සිද්ධියක් නිසා හදිසියේම මේ කථා ටික මතක් උනේ...කෝච්චි කථා කීපයක්.. මීට අවුරැදු 10 කට විතර කලින් මම රැකියාවට ගියේ දුම්රියේ...(ඒ කිව්වට තාමත් දුම්රියේ තමයි යන්නේ) මේ කියන්නේ ලංකාවේ දුම්රිය ගැන... ‍ඔය කාර්යාල දුම්රිය බොහොමයක් "කුමරි"ලානේ.. මේවත් මේ එක "කුමාරි" කෙනෙක්ගේ හතරවැනි පෙට්ටියේ ඉස්සරහා දොරේ ‍පලවැනි සීට් එකේදී අත්දැකපු... අහපු කථා කීපයක්..

කුචිය....එහෙමත් නැත්නම් කිචිය... කියන්නේ බොහොම බරපතල දෙයක්...මේකට ලොකු අතීතයකුත් තියනවා.. අපි පොඩි කාලේ අම්මලා කියන්නේ "මේකා බඩගිනි බඩගිනි කියනවා" කියලා කරන සෙල්ලමේ අවසාන බලාපොරොත්තුව තමයි මේ කුචිය කියන එක අඩුකිරීම කියලා දැන් මට හිතෙනවා... මොකද කුචිය නොහොත් කිචිය ඒ තරමටද ජීවිතේට බලපාන නිසා.. දැන් බලන්න එපා කොච්චි ගැන කථා කරලා ඇයි මේ කුචියක් ගැන කියන්නේ කියලා..

මේ කථාවේ කථානායකයා අපේ කොච්චි සගයෙක්...හැබැයි අර මං කලින් කිව්ව කුචිය නොහොත් කුචියේ "ජෙනුයින්" එක තමයි මෙයාට තියෙන්නේ... ඒ ‍"පෙරේරා' අන්කල්... ටිකක් වයසක උනාට ජොලි පොර... කොහේ ගියත් එන්නේ අපි කොල්ලෝ සෙට් එක ඉන්න තැනට තමයි... සමහර වෙලාවට බයිට් එක වෙන්නෙත් මෙයාම තමයි..පෙරේරා අන්කල් බොහොම දරැණු කුචියක් තිබ්බ තිබ්බ කෙනෙක්.. යන්තං හරි අඟිල්ලක් බඩට.. කිහිල්ලට වැදුනොත් කෙලින්ම එළියට එන්නේ අර ස්ත්‍රී ලිංගයට කියන ශුද්ධ සිංහල වචනේ... ඒකට තැනක් නොතැනක් වෙලාවක් කලාවක් නැහැ... ඕනෑම තැනක දෙයියනේ කියලා ඕක අහගන්න පුලුවන්  යන්තං පෙරේරා අන්කල්ට "ටච්" එකක් දුන්නොත්..

ඔන්න දවසක් අපි සෙට් එක යන අතරේ සුන්දර, පැහැපත්, සුකුමාළ (වෙන මොනාද තියන වචන) ගෑණූ ළමයෙක් නැග්ගා ‍අපේ පෙට්ටියට... සාමාන්‍යයෙන් අපේ සෙට් එක ගැන දන්න කිසිම ගෑණුළමේක් අපි ඉන්න පලාතටවත් එන්නේ නැහැ.....ඒත් කරැමෙට මේ ළමයා ඇවිත් නතර උනේ අපි ලඟම... අපේ එවුන් වැඩ පෙන්නන පටන් ගත්තා.... අපි ඒ ටික දෙබස් විදියට අහමු..

පෙරේරා අන්කල්...

අන්කල් හිතන විදියට මෙයාගේ ලස්සනම මොකක්ද ?

(වනචර කො‍ල්ලෙක් ඇන්නේ නැද්ද අන්කල්ගේ කිහිල්ලට)

%*%&$*#(*#(@@@@@

අර ගෑණු ළමයා අඬාගෙන අතුරැදහන් උනා....

ඒ එක සිද්ධියක්... 

-------------------------------------------------

අනිත් එක කිරිගොට්ට සම්බන්ධ එකක්....? කොච්චිවල යන උන් නම් මේක දන්නවා ඇති... විශේෂයෙන්ම සෙනග පිරිලා යන කෝච්චි වල මේක නිතරම සිද්ධවෙන දෙයක්... දන්නවනේ කොච්චියේ හිටගෙන යන්නේ පේළි 3 කටනේ... කිරිගොට්ට උලනවා/ අතුල්ලනවා කියන්නේ මේ පේලියේ මැදට ගෑණු කෙනෙක් සෙට් උනාම සිද්ධවෙන දෙයක්... මේවගේ සිද්ධියක් උනා අපි සෙට් එක ඉන්න තැන... දවසක් ටිකක් වයස කන්තෝරැ අනකල් කෙනෙක්ගේ පිටිපස්සට සෙට් උනා තරැණ ගෑණු ළමේක්.... ටික වෙලාවක් යනකොට අන්කල් පටන් ගත්තා වැ‍ඩේ... කිරිගොට්ට උලන්න... දැන් අර ගෑණු ළමයි ඇඹරෙනවා... හෙල්ලෙන්නවත් බැරි තරමට කෝච්චිය පැක්.... මේක දැකපු අපේ එකෙක් අන්කල්ට මෙහෙම කිව්වා විතරයි අන්කල් භූ‍මිතෙල් ගාපු ගැරඬියා වගේ අතුරැදහන් උනා...

අන්කල්... ඔහොම ගියොත් කොටුවට යන්න කලින් අන්කල්ගේ පිටේ "‍බ්‍රෙස්ට් කැන්සර්" හැදෙයි.....

-------------------------------------------------

මේ තුන්වෙනි කථාව.... ඔය පවර්සෙට් වල යන අයට වෙන දෙයක් තමයි කෝච්චි පැද්දෙන විදියට පැද්දෙන එක... මේකත් කිරි ගොට්ට ඇතිල්ලීමේ තවත් එක් ක්‍රමයක්.... වැලමිට වද්දමින් පැද්දෙන එක...දවසක් කොටුවෙන් පිටත් වෙච්ච කෝච්චයක මනුස්සයෙක් ලඟ හිටිය ගෑණු දරැවාගේ පපුවේ මේ වැලමිට අතුල්ලන වැඩේ පටන් ගත්තලු... මේ ළමයත් ඉවසගෙන හිටිය.... (කැමති නිසාද දන්නේ නැහැ) මරදානට ආවා... දැන් මේ මනුස්සයා කොච්චිය පැද්දෙන රිද්මෙට අත පද්දනවා... කොච්චිය නැවැත්තුවාම වැඩේ නවත්තනවා....කෝච්චිය යන්න පටන් ගත්තාම ආයිත් පටන් ගන්නවා... මරදානට ආවා.... කෝච්චය නැවැත්තුවා... ‍යන්න පටන් ගත්තාම මනුස්සයා වැඩේ පටන් ගත්තා.... අර ගෑණු ළමයා අර මනුස්සයාගේ පැත්තට බර වෙලා‍‍ මෙහෙම කිව්වලු...

"අයියේ ඒ යන්නේ අනිත් පැත්තේ කෝච්චිය....."

-------------------------------------------------

දැන් "ආතල්" කථා ටික බැලුවනේ.... හැබැයි මේ බොහොම සරළ "ආතල්" කථාවලින් මට කියන්න් ඕනේ උනේ වෙන දෙයක්... මොකද මෑතකදී මගේ හිතවතියක් මට කිව්වා මේ මානව හිමිකම් ගැන ලියන ලිපි පෙල තේරෙන්නේ නැහැ කියලා... මේ වඩාත් සරළව නීති ගැන හඳුනවලා දෙන්න ගත්ත තවත් උත්සහයක්.. මේ හැම සිද්ධියක්ම ශ්‍රී ලංකාවේ නිති පද්ධතියට අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි.... වසර 7 ක් දක්වා සිරදඬුවම් ලබාදිය හැකි වැරදි.....ශ්‍රී ලංකා වේ දණ්ඩ නීති සංග්‍රහයේ 1983 අංක 12 පනත, 1995 අංක 22 සහ 1998 අංක 29 දරණ සංශෝධන පනත් වලට අදාලව "කාන්තාවකගේ හිරිඔතප් බිඳීමට තැත්කිරීම" යටතේ අත්අඩංගුවට ගෙන වැරදිකරැ වුවහොත් උපරිමය වසර 7 දක්වා සිරදඬුවම්ද වන්දි ද නියම කල හැකි වැරදි... ලංකාව තුල කාන්තාවන් ගේ ආරක්ෂාව සඳහා මනා නීතිපද්ධතියක් ඇතත් එය නිසිලෙස ක්‍රියාත්මක නොවීමත් තුල එදත් අදත් හෙටත් කාන්තාව මෙවැනි අතරවරයන්ට මුහුන දෙනු ඇත....