Wednesday, August 10, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 1

මං මීට කලිනුත් කියලා තියෙනවානේ මං මානව හිමිකම් සම්බන්ධ ආයතනයක කාලයක් වැඩ කලා කියලා. ඒක බලපු කීප දෙනෙක්ම කිව්වා මානව හිම්කම් සම්බන්ධව දැනුවත් කරන්න යමක් ලියන්න කියලා.  ඔන්න ඉතිං අද ඉඳලා ලිපි කීපයක් ලියන්න බලා පොරොත්තු වෙනවා මානව හිමිකම් සම්බන්ධයෙන්. 

මේ මානව අයිතීන් සම්බන්ධයෙන් කථාකරනකොට යම් යම් වචන එහෙමත් නැත්නම් භාවිතා කරන යෙදුම්වල තේරැම් දැනගෙන සිටීම වැදගත්. බලමු මොනාද මේ වචන / යෙදුම් කියලා. 

මානව හිමිකම් යනු කුමක් ද? බොහොම සරළව කිව්වොත් මානව හිමිකම් එහෙමත් නැත්නම් මානව අයිතිවාසිකම් කියන්නේ මානවයෙකු වීම එහෙමත් නැත්නම් මේ ලෝකෙට ඉපදීම පදනම කරගෙන අපට උරැම වෙන හිමිකම්. උදාහරණ විදියට ගත්තොත් ඉපදීමේ, හුස්ම ගැනීමේ සිට මරණය දක්වා ගතකරන්නාවු කාළය තුල නිදහස්ව, ගරැත්වයකින් ජීවත් වීම සඳහා ප්‍රමිතීන් මානව හිමිකම් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

මේක ඉතාමත් පුළුල් අදහසක්. මේ තුලට ඕනෑම ක්‍රියාවලියක්, එහෙමත් නැත්නම් ඕනෑම අවශ්‍යතාවයක් අතුලත් කරන්න පුළුවන්. 

ඔව්..... මේ මානව හිමිකම් හී මුල මානව අවශ්‍යතා තමයි. කොහොමද අවශ්‍යතා හිමිකම් වෙන්නේ. අවශ්‍යතාවය හිමිකමක් වෙන්න බලපාන්නේ අවශ්‍යතාවය ඉටුකරගැනීමට එහෙමත් නැත්නම් ඉටුකරදීමට තියෙන බැඳිම, තවත් විදියකට කිව්වොත් වගකීම මතයි. මොකද උනේ ? ටිකක් අඤ්ඤකොරොස් වගේද ? සරළව බලමු.  . 

1.       අපි කර්යාලයක් ගමු. අපිට ඕනේ නිවාඩුවක් ගන්න. අපි කාගෙන්ද ඉල්ලන්නේ. පිරිස් කළමණාකරැගෙන්. ඇයි ඒ. කාර්යාලයේ තියෙන නීති රීති අනුව ඒ වගකීම පැවරිලා තියෙන්නේ පිරිස් කළමණාකරැට වීම.
2.       ඔබගේ බිරිඳට සාරියක් ගන්න අවශ්‍යයි. කාගෙන්ද මුදල් ඉල්ලන්නේ. ඔබගෙන්. ඒ ඔබ සහ බිරිඳ අතර තියෙන නිතීමය සහ අන්න්‍යෝය බැඳීම මත.
3.       උපාධිධාරීන්ට රැකියා අවශ්‍යයි. කාගෙන්ද ඉල්ලන්නේ. ආණ්ඩුවෙන්. ඒක ඔවුන් දුන්න පොරොන්දු වෙන්න පුළුවන්. එහෙමත් නැනම් යම් නීතිමය රාමුවක් යටතට වැටෙන්නත් පුළුවන්. (හැබැයි මං අහලානම් නැහැ කිසිම උද්ගෝශණයක දී කියනවා අහවල් නීතිය නිසා රැකියා ලබාදියව් කියලා.)

පොඩි සමීකරණයකින් කිව්වොත්..
අවශ්‍යතාවය + ඉටුකිරීමට ඇති වගකීම = අයිතිවාසිකම්

ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අපි තවත් පැත්තකින් බලමු. කලින් අපි කිව්ව "ඉටුකිරීමට ඇති වගකීම" එන්නේ එහෙමත් නැත්නම් ඇතිවෙන්නේ කොහොමද කියලා. මේ අයිතිවාසිකම් ලැබෙන එහෙමත් නැත්නම් ඉටුකිරීමේ වගකීම පැවරෙන ක්‍රම තුනක් අපිට හඳුන්වන් පුළුවන්. 

1.       පාරම්පරිකව  (කාලයක් සිට පැවතීම)
බලමු කොහොමද පාරම්පරිකව අයිතිවාසිකම් අපට ලබෙන්නේ. සරළව කිව්වොත් අපේ බනියලැ (දකු‍ණේ) පලාතේ මහ ගේ අයිතියේ උරැමය තියෙන්නේ පවුලේ බාලයටනේ. ඒක නොලැබුනොත් ඒ අයිතිය ඉල්ලලා සටන් කිරීමේ අයිතිය ඇතිවෙන්නේ පාරම්පරිකව අපට ඒ අයිතිය ලැබෙන නිසයි.
මේවා කොහේවත් නීති විදියට සඳහනක් නැති වුනත් අයිතියක් විදියට පිලිගන්නවා.

2.       නීති මගින්
කෙලින්ම නීතිමය වශයෙන් පැවරෙන එහෙමත් නැත්නම් ලැබෙන අයිතිවාසිකම්. උදහරණයක් විදියට ගත්තොත් අපි වාහනයක් මිලට ගන්නවා. එතැනදී සිදුවෙන ගණුදෙනුව මත අපිට ඒ වාහනයේ පරම අයිතිය ලැබෙනවා. ඔය වගේ නීතිමය වශයෙන් තියෙන බැඳීම් මගිනුත් අපිට අයිතිවාසිකම් ලැබෙනවා. සමහර අවස්ථාවලදී මුලින් උගේ පවුල පස්සේ මගේ පවුල‍ වෙන්නෙත් ඔය කියන නීතිමය පැවරීම මත තමයි.
3.       එකඟතා/ ගිවිසුම් මගින්
දෙදෙනෙකු එහෙමත් නැත්නම් දෙපාර්ශවයක් විසින් ඇති කරගන්නා එකඟත්වයක් ගිවිසුමක් මගිනුත් අපිට අයිතිවාසිකම් ලැබෙනවා.  උදාහරණයකි විදියට අපි ගමු ලීසින් පයසුකමකට වාහනයක් මිලට ගැනීමක්. වාහනයේ පරම අයිතිය නැතිවුනත් ආයතනය සහ අපි අතර ඇති කරගන්නා ගිවිසුම මගින් වාහනයේ අයිතිය අපට ලැබෙනවා.
තවත් පැහැදිලි කලොත් ආණ්ඩුව කියනවා අපිට ඡන්දේ දුන්නොත් අපි උපාධිධාරීන් අච්චරකට රැකියා දෙනවා කියලා. උපාධිධාරීන් එකඟවෙලා ඡන්දේ ‍දීලා ආණ්ඩුව පත්කරනවා. ආණ්ඩුව එකඟත්වමට අනුව රැකියා දීම පැහැර හරිනකොට උපාධිධාරීන් තමන්ගේ අයිතිය ඉල්ලා පාරට බහිනවා.

තාමත් අපි වටේ යන්නේ, තාම හරියටම වැඩේට බැස්සේ නැහැ. තව කාරනා කිපයක් තියෙනවා, පොඩ්ඩක් දැනගෙනම යමු. මානව අයිතිවාසිකම් ගැන කථාකරනකොට, ඉටුකිරීමේ ප්‍රධානතම වගකීම පැවරෙන්නේ රජය. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව දැනගන්න කලින් අපි බලමු රජය එහෙමත් නැත්නම් රාජ්‍යක් කියන්නේ මොකක්ද කියලා. අපි රාජ්‍ය සංකල්පය කියන්නේ මොකක්ද කියලා බලමු. රාජ්‍යයක් බිහිවෙන්න ප්‍රධාන කාරනා හතරක් සම්පුර්ණ වෙන්න ඕනේ.

1.       ජනතාව
2.       පාලන තන්ත්‍රයක්
3.       දේශසීමාවන්
4.       පිළිගැනිමක්.

මේ කාරණාව ගැන වැඩිය කථානොකර අපි බලමු අයිතිවාසිකම් ඉටුකිරීමේ වගකීම කොහොමද රජයකට එහෙමත් නැත්නම් ආණ්ඩුවකට පැවරෙන්නේ කියලා. මේක වෙන්න ප්‍රධානතම හේතුව වෙන්නේ රජය සහ ජනතාව අතර පවතින්නා වු ගිවිසුම එහෙම නැත්තන් එකඟතාවය. දැන් බලන්න එපා අපි කවදද රජයන් එක්ක ගිවිසුම ගැහැව්වේ කියලා. 

මේක ගැන කථාකරන්න ටිකක් මානව ඉතිහාසය ගැනත් කථාකරන්න වෙනවා. සරළවම කිව්වොත් මානව පරිනාමයේ දී නායකයන් පත්කරගන්න එහෙමත් නැත්නම් බිහිවෙන්න හේතු වුනේ ජනගහනය වැඩිවීමත් වැඩිවෙන ජනගහනයට අනුව අවශ්‍යතා අසීමිත වීමත්, සම්පත් සීමාවීමත් මත අසීමිත අවශ්‍යතා සාධාරනව බෙදීමේ ඇති අවශ්‍යතාවත් මතයි.  මෙහිදී බොහෝවිට ප්‍රබලයා (ශාරීරික වශයෙන්) පාලකයා විදියට පත්වුනා. මෙහිදී ඇතිකරගන්නා එකඟතාවය වුනේ “අපි නුඹව අපේ පාලකයා කරනවා... නුඹ අපිව අරක්ෂාකර අපේ අවශ්‍යතා ඉටුකරදිය යුතුයි” වැනි සංකල්පයක් නැත්නම් එකඟත්වයක්. 

මෙය වර්ධනය ‍වීමෙන් අද රජය සහ ජනතාව අතර වන එකඟතාවය බිහිවෙලා තියෙන්නේ. එය නම් ජනතාව විසින් පාලකයාට විධායකය, ව්‍යවස්ථාධායකය සහ අධිකරණය බාරදෙනු ලබන අතර පාලකයා  විසින් ජනතාවට ඡන්ද බලය සහ අයිතිවාසිකම් ලබා දියයුතුය කියන එකඟතාව ඇතිවෙන්නේ. මේ අතර ඇතිකරගන්නා එතඟත්වය  “ව්‍යංග භාරය” කියලත් හඳුන්වනවා.

ඔන්න අපි ‍බොහොම ‍කෙටියෙන් සරළව ‍මානව අයිතිවාසිකම් ගැන කථාකරන්න අවශ්‍ය පසුබිම සකස් කරගත්තා. අපි බලමු මේ මානව අයිතීන් අපිට එහෙමත් නැ‍තනම් අපේ රටේ ජනතාවට බලපාන අකාරය මීලඟ ලිපියෙන්.

8 comments:

  1. වටිනා අදහස් ටිකක් බොහොම සරලව පැහැදිලි කරලා තිනවා. ඊලග ලිපියත් කියවන්න අසාවෙන් ඉන්නේ.

    ReplyDelete
  2. හොඳ ලිපි පෙලක ආරම්භය වගෙයි.

    ReplyDelete
  3. හරි අගය කල යුතු ලිපියක්. අපේ යුතුකම් හ අයිතිවාසිකම් මොනවද කියල අපි දැනගන්න ඕන නීවැරදිව.

    ReplyDelete
  4. ඉතා සරලව ඉදිරිපත් කරලා තියනවා.

    //ඔබගේ බිරිඳට සාරියක් ගන්න අවශ්‍යයි. කාගෙන්ද මුදල් ඉල්ලන්නේ. ඔබගෙන්. ඒ ඔබ සහ බිරිඳ අතර තියෙන නිතීමය සහ අන්න්‍යෝය බැඳීම මත.// මේ බලන්ටකෝ මේ ටිකේ ලස්සන...

    අන්න්‍යෝය බැඳීමක් නැත්නම් ඉතින් නීතියෙන් බැඳීමක් තියන හන්දා සාරියක් ගන්ට පුලුවන් වෙයි නේද? :-)

    ReplyDelete
  5. වගකීම් තුළින් අයිතිවාසිකම්.
    වැදගත් ලිපි පෙළක ආරම්භයක්. තේරුම් ගන්නට පහසු විදිහට ලියා තියෙනවා. ලිපි සේරම කියවීමට බලා සිටිනවා.

    ReplyDelete
  6. සරලව ලියලා තියනවා .....
    මමත් ඉගෙනගන්න ආස මාතෘකාවක් .......
    බලමු ඊගාව කොටසත් ......

    ReplyDelete
  7. Dear
    ahammbenn hammba unee oyage Blog eka ett harayakk ati yamakk nodann dee godakk .......... anann manann unatt jewetayata watina yamakk teyanawa oyage Blog ekee thanks mee wagee blog leyanawata ........
    jaya wewa...........

    Thanks

    ReplyDelete
  8. ඔව්.. මේ ලිපිය නම් ඇත්තටම නියමයි... මම ඉතිරි ඒවත් කියවන්න ඕන.. බොහොම ස්තූතියි මේ වගේ ලිපි පෙළක් ලියපු එකට..

    ReplyDelete