Wednesday, November 16, 2011

අපේ නිවටකම සහ පොලීසියේ චණ්ඩිකම.....

බිංගිරිය පොලීසිය තවත් බිල්ලක් අරගෙන...සොරකමකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් තමන් ඇඳ සිටි සරමෙන් ගෙල වැළලාගෙන....මෙහි වගකීම කා සතුද ? පොලිසියේ අත්අඩංගුවට පත්වන පුද්ගලයින් මෙසේ මියයාමට වගකිව යුත්තේ කව්රැන්ද ? මෙහි නීතිමය තත්වය කෙසේද ? මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් පවත්වනු ලබන පරීක්ෂණ ගැන විශ්වාසයක් තැබිය හැකිද ? පොලිස් කූඩුවක් තුල මියි ගිය අයෙකුගේ මරණ පරීක්ෂණය කොතරම් දුරට අපක්ෂපාතී විය හැකිද ? මරණ පරීක්ෂක වාර්ථාවේ නිගමනය කුමක්ද ?  හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සිය නිගමනය කරනු ලබන්නේ පොලිසිය විසින්  වාර්ථා කරැණු ලබන කරැණු පදනම්කරගෙනද ? විනදිතයන් වෙනුවෙන් පෙනීසිටිනවායැයි කියන.... මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මීට පෙර පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සැකකරැවන් වෙනුවෙන් පරීක්ෂණ පවත්වා තිබේද ? එසේ නම් එම වාර්ථාවන්ට අනුව කරනු ලැබු නිර්දේශයන් මොනවාද ? මේ මිය ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් කොතෙක් දුරට සාධාරණයක් ඉටුවීද ?

මේ කැරකෙන්නේ ඔබේ වාසනා චක්‍රයයි... ඊලඟ වාසනාවන්තයා ඔබ විය හැකිය....

තව මාසකින් මේ වගේ තවත් ලිපියක් ලියන්නට වාසනාව ලැබේවා !!!!

2030 දී ලංකාව.....(විමලේ ගේ හීනේ මගේ වර්ෂන් එක.....)

2030 දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 82 වැනි නිදහස් සමරැව සිහිනෙන් දුටිමි. ගාළු මුවදොර චීන කොම්පැනියකට අයිති බැවින් 82 වැනි නිදහස් සමරැ උත්සවය පිටකෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසල පැවැත්වේ.. ගාළුමුවදොර සමුද්‍රයට එල්ලකර තිබු කාලතුවක්කු සමුහයද බොල්ගොඩ වැවට එල්ල කර ඇත. එය ඉතාමත් මනස්කාන්ත.. අයස්කාන්ත දර්ශනයකි.. ඒ සමගම පැමිනි ලාල්කාන්ත උන්නැහේ මයික්‍රපෝනය ගෙන ආරාධිත අමුත්තන් පිළිගැනීමට සැරසේ.. 
 
ක්ග්ර්..ක්ගුර්.. (උගුර පාදා) දැන් මේ ආරම්භ කරන 82 වන නිදහස් සමරැ උළෙලේ උත්කර්ෂවත්ම අවස්ථාවයි...දැන් මේ අවස්ථාව සඳහා සහභාගීවන සම්භාවනීය අමුත්තන්ගේ සම්ප්‍රාප්තිය සිදුවන මේ මොහොතේ සියළු දෙනා සිය ආසන වලින් නැගිට සම්භාවනීය අමුත්තන් පිළිගන්නා ලෙස ඉල්ලා සිටිමි..

දැන් මේ අවස්ථාවේ දී ප‍්‍රථම ආගමනය සනිටුහන් කරන්නේ, ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනයේ හිටපු සභාපති... ජනාධිපතිතුමන් ආදරණිය මස්සිනා වන, වර්ථමාන අගමැතිතුමන්ගේ මාමා ද වන, ගුවන්, සිවිල් ගුවන් සේවා, වරාය සහ ප්‍රවාහන අමාත්‍ය ගරැ නිශාන්ත වික්‍රමසිංහ මැතිතුමන්ය... එතුමන්ට අපේ ගෞරවාදරයෙන් පිළිගනිමු.

මීලඟට අපි මහත් ගෞරවාදරයෙන් පිළිගනු ලබන්නේ....... ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති, හිටපු ගරැ කථානායක චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ඥාති පුතනුවන් කනෙකු වන ගරැ.. වෙළද, වෙළද සේවා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය... ප්‍රසන්න වික්‍රමසුරිය මැතිතුමන් හා එම මැතිනිය ගේ සම්ප්‍රාප්තියයි.

මී ලඟ සම්භාවනීය අමුත්තාගේ ගෞරවනීය සම්ප්‍රාප්තිය සටහන් වෙන මොහෙතයි මේ.... හිටපු ගරැ කථානායක චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ඥාති පුතනුවන්කනෙකු හිටපු රැසියාවේ ශ්‍රී ලංකා තානාපති... නිවාස, නිවාස සංවර්ධන නාගරික කටයුතු සහ නාගරික සංවර්ධන ගරැ අමාත්‍ය උදයංග වීරතුංග මැතිතුමා ‍ ගෞරවාදරයෙන් පිළිගනිමු.

ක්ග්ර්..ක්ගුර්.. (නැවතත් උගුර පාදා) 

දැන් මේ අවස්ථාවේ දී ආගමනය සනිටුහන් කරන්නේ හිටපු ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති.. චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ඥාති පුත්‍රයකු වන විදුලි බල හා බල ශක්ති, පාරිසරික හා වන සම්පත් පිළිබඳ ගරැ අමාත්‍ය ජාලිය වික්‍රමසූරිය මැතිතුමන් සහ එය මැතිනියයි....

දැන් මෙන්න අපි සුදානම් වන්නේ රාජපක්ෂ පරපුරේ ප්‍රථම සාමාජිකයාගේ ආගමනය සනිටුහන් කිරීමටයි... චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ දෙටු පුත්‍රයාය... ඔහු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ වරයෙකි, ඉන් ලත් දැනුමත් අත්දැකීමත් සමග නිතරඟයෙන් පාර්ලිමේන්තුවට පිවිසි යෞවන කටයුතු, රැකී රක්ෂා සහ වෘත්තීය පුහුණු අමාත්‍ය.... ශමීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමන් මහත් ගෞරවාදරයෙන් පිළිගනිමු.

දැන් සම්ප්‍රාත්තිය සනිටුහන් කරන්නේ චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ වැඩිමල් පුතු වන හිටපු ඌව පලාත් ප්‍රධාන අමාත්‍ය.... වර්ථමාන පාර්ලිමේන්තුවේ ගරැ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමන්ය...

මීලඟට අපි මහත් ගෞරවාදරයෙන් පිළිගනු ලබන්නේ......

ලියන අතර - කව්දෝ දොරට තට්ටු කරනවා....කව්ද ?....කව්ද ?...ඇරපිය දොර..... අපි සී අයි ඩී එකෙන්..... ඇරපිය පරයා දොර......තෝ ආණ්ඩුවට මඩ ගහනවා නේද ?....පරයා.....තෝ ඉවරයි අද.......

දඩාං....... දොර ඇරැනා.....

 (මුලාශ්‍ර - විකිපීඩියා http://en.wikipedia.org/wiki/Mahinda_Rajapaksa)

Monday, November 14, 2011

නාකි හුරතලේ....

හොඳ වැඩේ තොට....
ආදරේ කරනවට....
දන්නෑ සීමාව....
ආදරේ නැති බව...
උඹ ආදරේ තරමට...
හදනවා හුරතල් වෙන්න...
හිනාවෙයි දවසක..
උන් උඹට....
කෝ උඹේ මහ පෞරුෂය..
දාලා දැන් බල්ලට...
උඹ වැටිලා පල්ලට....
හිඟන්නෙක් වගේ හොයනවා...
ආදරේ..

Sunday, November 13, 2011

මහරජ... මේ කව්ද.. මොනවද කරන්නේ...

අද කියන්න හදන්නේ මම මානව හිම්කම් ආයතනයේ වැඩකරන කාලේ මුහුන දුන්න සිදධියක් සම්බන්ධයෙන්. මේක බොහොම සුළු සිද්ධියක් උනත් ලියන්න හිතුනා..මේ කාලේ මම රාජකාරී කලේ වවුනියාව දිස්ත්‍රික්කයේ උනත්.. මුලතිව්, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටි මේ ගම්මාන අයත් ප්‍රදේශය අපේ වවුනියාව කාර්යාලට බාරව තිබුනේ.. මේ ගම්මාන වලට තිබුන එක් ගැටළුවක් පරිපාලන දිස්ත්‍රික්කය පැහැදිලි නොවීම... සමහරක් නිළධාරීන් මොවුන් මුලතිව් දිස්ත්‍රික්කට අයිතිය බව කිව්වත් ඡන්දයකදී මොවුන් අනුරාධපුරයට ඈඳා ගන්නවා...මේ නිසා මේ ජනතාව අයාලේ යන තත්වයක් තමයි තිබුනේ.

පරාක්‍රමපුර, ජනකපුර, කිරිඉබ්බන්කටුව, ඇතාවැටුනුවැව, මොණරවැව වගේ අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ තිබුන මේ ගම්මාන නිතරම කොටින්ගේ තර්ජනයට ලක් උනා. කොයිතරම් කොටි තර්ජන තිබුනත් ඒ මිනිස්සු  තමන්ගේ ගම්බිම් දාලා එන්න කැමති උනේ නැහැ... රජයෙන් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්න කියලා තමයි ඔවුන්ගේ ඉල්ලීම උනේ. වෙන කිසිම දෙයක් නෙමෙයි ආරක්ෂාව. මේ අතර තමයි හේන් කොටන්න කැලේට රිංගපු අහිංසක ගම්මු දෙනනෙක් කොටි මරලා දාලා තිබුනේ. මේක දෙබරෙට ගල් ගැහැව්වා වගේ උනා. මේ හේතුව නිසා මේ අහිංසක ගම්මු අතට අහුවෙන අහුවෙන දේවල් එකතු කරගෙන පදවිය පැත්තට පල්ලම් බැස්සා. 

ඔවුන් ඇවිල්ලා තාවකාලික නිවාස අටවගත්තේ පදවිය සීමවේ තියන බොරළුකන්ද සහ ඒ අවට. එකවරමු සිද්ධ උන මේ සිද්ධිය නිසා ඒ අවට මහා තදබදයක් ඇති උනා.. තමන්ගේ මුලික අවශ්‍යතා ඉටුකරගන්න.... ඒ වගේම පානීය ජලය, ආහාර පාන, සනීපාරක්ෂාව වැනි අවශ්‍යතා ඉටුකරගැනීමේදීත්.. දරැවන්ගේ අධ්‍යාපනය....සෞඛ්‍ය වැනි ගැටළු වලට මේ පිරිසට මුහුන දෙන්න සිදුවුනා.. 

මේ සම්බන්ධයෙන් අප ආයතනයේ උසස් නිළධාරීන් දැනුවත් කලත් කිසිම සහනදායි පිළිතුරක් ලැබිලා තිබුනේ නැහැ.. මුලික අවශ්‍යතා සැපයීම අප ආයතනයේ කාර්යභාරය නොවුනත් බොහෝ අවස්ථාවලදී මෙවැනි කරැණු සම්බන්ධයෙන් අපි මැදිහත් උනා, මේ ව‍ගේ කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය ආයතන දැනුවත් කරන්න සහ සංවිධානය කරන්න. මෙහිදී ලැබුන ප්‍රතිචාරය උනේ වවුනියාව කාර්යාලයට මේ සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත් විය නොහැකි බවත් අවුරාධපුර කාරියාලය මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවත්ය... නමුත් එම කාර්යාලයේ අභ්‍යන්තර වශයෙන් අවතැන්වුවන් සම්බන්ධ ව්‍යාපෘතියක් නොමැති බැවින් මේ සඳහා සම්බන්ධ විය නොහාකි බවත්ය...මේ සම්බන්ධයෙන් වවුනියව කාර්යාලයට මැදිහතක් වීමට අවසර ලබාසෙන් මෙන් ඉල්ලීමක් කල නමුත් සති කීපයක් ගතවුනත් මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබීම නිසා මම මගේ ඉහල නිළධාරියට ඊයක් යැව්ව.. ඒක තිබුනේ මේ විදියට..


මහරජ... අභ්‍යන්තර අවතැන් වුවන් යනු කව්ද ?


ස්වාමිනී “ස්වකැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් තම පදිංචිව සිටින ස්ථානයෙන් ඉවත් වනු ලැබු හෝ ඉවත් කරනු ලැබ රට තුලම වෙනත් ස්ථානයක පදිංචි වු හෝ පදිංචිකරනු ලැබු පුද්ගයින් අභ්‍යනැතර අවතැන්වුවන්" ලෙස හඳුන්වයි...


මහරජ... එය එසේනම්....වවුනයාවේ සරණාගත කඳවුරැවල ජීවත් වන්නන් අභ්‍යන්තර අවතැන්වුවන් නොවේද?


ස්වාමීනී.. ඔවුන් අභ්‍යන්තර අවතැන්වුවන් වේ 


මහරජ..... එය එසේනම්....පදවිය බොරළුකන්ඳ හා ඒ අවට සරණාගත කඳවුරැවල ජීවත් වන්නන් අභ්‍යන්තර අවතැන්වුවන් නොවේද ?


ස්වාමීනී.. ඔවුන් ද අභ්‍යන්තර අවතැන්වුවන් වේ 


එය එසේනම්.. වවුනියාවට එක හැන්දකිනුත්... පදවිය ට තවත් හැන්ඳකින් බෙදනු කිම...


පහුවෙනිදා ආවා දුරකථන ඇමතුමක්.... 


කථාව ඉවරයි....

Thursday, November 10, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 8 (අත්අඩංගුවට පත්වෙන්නට පෙර කියවන්න)

අපි නැවතත් කථාකරමු මානව හිමිකම් ගැන... මතකයිනේ අපි මාස කීපයක ඉඳලා කථාකරමින් ලංකාවේ අපිට බලපාන ආකාරය සම්බන්ධයෙන්....මේකත් හරියට මොකාගෙද මොකක්ද අල්ල ගත්තා වගේ වැඩක්... පටන් ගත්ත නිසා ඉවර කරන්නම වෙනවා...හැබැයි දැන් අපිට වටේ යන්නේ නැතිව කථා කරන්න පුලුවන්... මොකද අපි මේ කරැණු සම්බන්ධයෙන් ඔබේ අයිතිය සහ වගකීම කියන සීරීස් එකේ..1, 2, 3, 4, 5, 6 සහ 7 කියන පෝස්ට් වලින් දිගමට කථා කරපු නිසා. එහෙම බලලා නැත්තම් පොස්ට් ඔකකොම බලලා එන එක තමයි ‍හොඳ... එහෙම නැත්නම් මේ ගැන නිසි අවබෝධයක් ගන්න අමාරැයි... පහුගිය පෝස්ට් එකේ අපි නැවැත්තුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 13 වන වගන්තිය පලමු උප වගන්තිය ‍ගැන කථාකරන අතරමග. අපි පටන් ගමු 13 වන වගන්තියේ, දෙවැනි උප වගන්තිය ගැන කථා කරන්න.. 

"අත් අඩංගුවේ තබාගනු ලැබු හෝ රඳවා ගනු ලැබු  හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබු හෝ සෑම තැනැත්තෙකුම නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු වන අතර, නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලබන ආඥාව මත සහ අදාල ආඥාව ප්‍රකාර මිස, ඒ තැනැත්තා තව දුරටත් අත් අඩංගුවෙහි තපා ගැනීම හෝ රඳවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකල යුතුය"


අපි මේ වගන්තියෙත් සඳහන් කරන "නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටිය" මොකක්ද කියන එක විමසා බලමු...

මෙහිදී සංඥය වැරදි සහ සංඥය නොවන වැරදි යනුවෙන් කොටස් දෙකක් ගැන අපිට කථා කරන්නට සිද්ධවෙනවා.. සංඥය වරදක දී පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වන අතර සංඥය නොවන වරදකදී වරෙන්තුවක් සහිතව අත්අඩංගුවට ගත යුතුය.


(සංඥය වරදක්ද? නැද්ද? යන්න 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය, පළමුවන උප‍ලේඛනයේ 3 වන තීරයේ සඳයන් තොරතුරු අනුව තීරණය කරයි.)


සාමාන්‍ය පුද්ගලයකු විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි අවස්ථා:-

අපරාධ නඩු විධාන සංග්‍රහය 35 වගන්තිය
1) තමා ඉදිරිපිටදී සංඥය වරදක් කරන තැනැත්තෙකු
2) වරදකරු ලෙස ප්‍රකාශයට පත්කර ඇති තැනැත්තෙකු
3) පැන දුවන්නා වූද ,සංඥය වරදක් කළ තැනැත්තෙකු යැයි සැකකිරීමට
    සාධාරණ හේතු ඇති අයෙකු

මෙසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් හැකි ඉක්මනින්  සාම නිලධාරියෙකු ඉදිරියට නැතහොත් පොලිස් ස්ථානයකට ගෙනයා යුතු වන අතර එහිදී ඒ පුද්ගලයා 32 වන වගන්තියේ විධි විධාන යටතට ගත හැකි පුදිගලයෙකු නම් සාම නිළධාරියා විසින් නැවත සිරභාරයට ගත යැතුය. 
තවද පුද‍්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ යම් වරදක් කරන පුද්ගලයෙකු වැළැක්වීමට කටයුතු කල හැකිය (දණ්ඩ නීති සංග්‍රහය 89 සහ 99 වගන්තිය)


සංඥය නොවන වරදකදී වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි අවස්ථා:-

 අපරාධ නඩු විධාන සංග්‍රහය 33 වගන්තිය
1) එම තැනැත්තා ඔහුගේ නම ,ලිපිනය දීම ප්‍රතික්ෂේප කළවිට හෝ
    අසත්‍ය නමක් ,ලිපිනයක් දෙන බවට හැඟී ගිය අවස්ථාවකදී,
2) එම තැනැත්තා ලංකාවේ ස්ථීර පදිංචියක් නැති අයෙකු හෝ රට  
    හැරයාමට ඉතා ආසන්න බවට හැඟී ගිය අවස්ථාවකදී,

සැඟවී සිටින අයෙකු අත්අඩංගුවට ගැනීම:-

අපරාධ නඩු විධාන සංග්‍රහය 24,25 වගන්ති අදාල වේ.
අත්අඩංගුවට ගතයුතු කෙනාගේ හෝ වෙනත් අයෙකුගේ යම් ස්ථානයක බාහිර හෝ අභ්‍යන්තර දොරක් කවුළුවක් කඩා එය විවෘතකර ඇතුලු වී සැඟවී සිටින අයෙකු අත්අඩංගුවට ගත හැක.
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලිඛිතවීම,අධිකරණ විනිසුරුවරයකු විසින් අත්සන්කර තිබීම අවශ්‍යය.
(අ.න.වි.සං 50 වගන්තිය)
  • අත්අඩංගුවට ගනුලැබූ තැනැත්තෙකු පැය 24ක් ඇතුලත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත්කළ යුතුය.
  • මහේස්ත්‍රාත් නියෝගයක් මත වැඩිදුර විමර්ශන සඳහා එකී කාලය පැය 48ක් නොඉක්මවූ කාලයක් දක්වා දීර්ඝකරවාගත හැක.
(2005 අංක 15 දරණ අ.න.වි.සං(සංශෝධිත)පනත)අදාල වේ.

මේ කාරනා ටිකක් නොතේරෙන ගතියක් තියනවා.. .සම්පුර්ණයෙන්ම පැටලිලි සහගතයි... සාමාන්‍ය පුද්ගලයෙකුට කියවා තේරැම් ගන්නට අපහසුයි.... කීප වරක්ම කියවීම තුලින් තමයි යම් අවබෝධයක් ගන්න පුලුවන්.....ඒකට හේතුව අපේ රටේ නිතිපද්ධතිය හදලා තියෙන්නේ  ඉංග්‍රීසියෙන් හිතලා ඉංග්‍රීසියන් වැඩකරන කොටසක් මගින් වීම... ඒ අය බර වචන දාලා ඉංග්‍රිසියෙන් ලියලා එවන එක ඒ වචන වලට ගැලපෙන සිංහල වචන යොදලා පරිවර්ථනය වීම තුල ‍‍තේරම් ගන්න තියන අපහසුව තමයි...


මෙහිදී කථා කරන්නට යමක් තියනවා... ඒ තමයි "අපරාධ නඩු විධාන සංග්‍රහය 115 වැනි වගන්තිය...අත්අඩංගුවට ගනුලැබූ තැනැත්තෙකු පැය 24ක් ඇතුලත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත්කළ යුතුය" යන්න. ‍
මෙයින් අදහස් කරන්නේ අත්අඩංගුවේ පැය 24 ක් තියාගන්න පුලුවන් තියන එක නෙමෙයි. තියාගන්න පුලුවන් උපරිම කාලය පැය 24 ක් කියලා.. නමුත් ඊට කලින් මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් තරන්න හැකියාවක් තියනවා නම් ඉදිරිපත් කරන්න ‍ඕනේ... එහෙම ඉදිරිපත් නොකිරීම මෙම 13 වැනි වගන්තිය උල්ලඝනය කිරීමක් කියලා ‍ගරැ ශ්‍රේෂ්ධාධිකරණය පිළිඅරගෙන තියනවා. උදාහරණයක් විදියට කෙනෙක් රාත්‍රියේ දී අත්අඩංගුවට ගන්නා සාධාරණ සැකයක් මත... (මම මේ කියන්නේ සමහර වෙලාවට පාරේ යන ගමන් දාගෙන යන ඒවා ගැන) රෑ 10 ට කියමු.... පොලිසිටය ගෙනියනවා.... කුඩුවට දානවා... දැන් මොහු අත්අඩංගුවේ.... මේ සිද්ධිය අනුව පැය 24 සම්පුර්ණ වෙන්නේ පහුවෙනිදා රෑ 10.00 නමුත් කිසිම අවස්ථාවක මේ පුද්ගලයව ඒ වෙනකම් තියා ගන්න නීතියෙන් ඉඩක් නැහැ... එදා උදේම අධිකරණයට ඉදිරිපත් කල යුතුයි. මොකද පැය 24 ක් රඳවා ගන්න අවස්ථාව දීලා තියෙන් නේ යම් කිසි පුද්ගලයෙක් පිළිබඳව විමර්ශණයන් කරන්න... ප්‍රශ්ණ කරන්න වගේ දේවල් වලට.. මෙහිදී මොහුව අත්අඩංගුවට තියෙන්නේ නිශ්චිත හේතුවක් දක්වන්නේ නැතුව. සමහර වෙලාවට අපි දකිනවා නිවාඩු කියලා සැකකරැවන්ව තියාගන්නවා. ඒක වැරදියි. නිවාඩු දවසට අධිකරණය වහලා උනාට මහේස්ත්‍රාත් නිල නිවසට අරගෙන ගිහින් සැකකරැ ඉදිරිපත් කරන්න පුලුවන්. මහේස්ත්‍රාත්වරයා නැත්නම් අනිවාර්යෙන්ම වැඩබලන මහේස්ත්‍රාත් වරයෙකු සිටිය යුතුයි. කිසිම අවස්ථාවක නිවාඩු හේතු කරගෙන මේ ඉදිරිපත් කිරීම කල්දාන්න බැහැ. මේ හේතුව නිසා බොහෝවිට පොලිසිය කරන්නේ අත්අඩංගුවට ගන්න පුද‍්ගලයින්ව ලියාපදිංචි කරන්නේ නැහැ...එහෙම අවස්ථා අපි දැකලා තියනවා.... අනිත් කාරණය තමයි.. අත්අඩංතුවට ගන්න අවස්ථාවෙදි හෝ ප්‍රශ්ණ කිරීම් වලදී පහරදීම‍ක් හෝ නිශ්චිත කාලයට වඩා රඳවාගෙන තියනවා නම් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ ගැනදැනුම් දෙන්න අත්අඩංගුවේ පසුවන සැකකරැට අවස්ථාව තියනවා.. මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික තත්වයන් සාකච්ඡා කල හැකියි.. එවැනි සිද්ධින් ඔබ දන්නවා නම් සාකච්ඡාවට ඉඩ තියනවා.

(මූලාශ්‍ර "වීකිපීඩියා")