Sunday, October 23, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 7 (අත්අඩංගුවට පත්වෙන්නට පෙර කියවන්න)

ටික දවසක් මානව හිමිකම් ගැන කථා නොකරපු හින්දා අමතක වෙලාද මන්දා... ඔන්න අපි ආයිත් කථාකරනවා මානව හිමිකම් ගැන... අද කථා කරන්න යන්නේ අපිට ඉතාමත් වැදගත් වෙන තවත් අයිතිවාසිකමක් ගැන.. මේක හුඟක් වෙලාවට අපේ ජිවිත වලට සම්බන්ධයි.. අපිට අවශ්‍ය වෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 13 වන වගන්තිය ගැන අපි අද කථාකරමු.. 13 වැනි වගන්තිය උප වගන්තීන් 7 කින් සමන්විතවේ.. එයින් පලමු වගන්තිය ‍මෙයාකාරයෙන් දැක්වේ. 

1) නීතියෙන් නියමකරනු ලැබු කාර්ය පටිපාටියකට අනුව මිස කිසිම තැනැත්තෙකු සිරභාරයට ගැනීම නොකල යුත්තේය, යම් තැනැත්තෙකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මතද, එම හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේය.

මෙය වචන කීපයක උප වගන්තියක් වුවද මෙම 13 වැන් වගන්තිය මුලික හරය රැඳී පවතින්නේ මෙම උප වගන්තිය තුලයි. මෙහිදී අපට රමේ පවතින නීතිමය තත්වයන් ගැන දැනීමක් තිබීම වැදගත්වේ. අපි මුලින්ම  බලමු මේ වගන්තියෙන් කියැවෙන "නීතියෙන් නියමකරනු ලැබු කාර්ය පටිපාටිය" කුමක්ද යන්න අපි දැන විමසා බලමු. 

* අත්අඩංගුවට ගැනීමක් යනු කුමක්ද ?  පුද්ගලයෙකුගේ යාම් ඊම් සීමාකිරීමක් හෝ යාම් ඊම් සීමාකර ඇති බව හැඟවීම අත්අඩංගුවට ගැනීමක් ලෙස දැක්විය හැකිය.. මෙහිදී පුද‍්ගලයාට නොදන්වා යාම් ඊම් සීමාකරන්නේද එයද අත්අඩංගුවට ගැනීමක් ලෙස දැක්විය හැකිය.
 
 අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සාමාන්‍ය විධිවිධාන මෙසේය..

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය 

23 වැනි වගන්තිය 
මෙහි සඳහන් වන්නේ වරෙන්තුවක් සහිතව (සංඥය නොවන වැරදි සඳහා)  කරනු ලබන අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙනි. අත්අඩංගුවට ගතයුත් ආකාරය මෙසේය.
1. අත්අඩංගුවට ගැනීමට එකඟ වුවහොත් ශරීරය සැබැවින්ම ස්පර්ශ කර, වරද පහදා දී අත්අඩංගුවට ගතයුතුය. 
2. අත්අඩංගුවට ගැනීමට ප්‍රතිරෝධය පෑමකදී සාධාරණ ලෙස අවශ්‍ය උපක්‍රම (අවම බලය) යෙදිය යුතුය.  
3. මරණිය දඬුවම දිය නොහැකි වරදකට අත්අඩංගුවට ගැනීමේදී අදාල පුද්ගලයාගේ මරණය සිදුකිරීමේ අයිතිවාසිකම මෙම උපවගන්තියෙන් නොලැබේ. 

28 වැනි වගන්තිය
- අත්අඩංගුවට ගනු ලැබු තැනැත්තෙකු ඔහු පැනයාම වැලැක්වීමෙහි ලා අනවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි මැඩපැවැත්වීමක් නොකල යුතුය.

32 වැනි වගන්තිය
මෙහි සඳහන්වන්නේ මහේස්ත්‍රාත්වරයෙකුගේ ආඥාවක් නොමැතිව සහ වරෙන්තුවක් නොමැතිව සිදුකරනු ලබන අත්අඩංගුවට ගැනීම් (සංඥය වැරදි සඳහා) සම්බන්ධයෙනි. මෙහි සඳහන් උපවගන්තීන් මෙසේය..
අ.  තමා ඉදිරිපිට සාමය කඩකිරීමක යෙදෙන විට.
ආ.  සාධාරණ පැමිණිල්ලක්, විශ්වසදායී තොරතුරක් හෝ සාධාරණ සැකයක් මත.
ඇ. නීත්‍යානුකූල හේතුවක් නොමැතිව ගෙවල් බිඳින උපකරණයක් ලඟ තබාගැනීම.
ඈ. වරද කරන්නෙකු ලෙස ප්‍රකාශකොට ඇති යම් තැනැත්තෙක්.
ඉ. සොරකම් කරන ලද හෝ වංචනික ලෙස ලබාගන්නා ලදැයි සැක කල හැකි යමක් තමා සන්තකයෙහි තබාගන්නා තැනැත්තෙක්.
ඊ. රාජකාරියෙහි යෙදී සිටින යම් සාම නිළධාරියෙකුට බාධාකරන හෝ නීත්‍යානුකූල අත්අඩංගුවෙන් පැනගිය හෝ පැනයාමට තැත්කරන පුද්ගලයෙක්.
උ. ත්‍රිවිධ හමුදාවෙන් පලා ආ පුද්ගලයන්.
ඌ. තමා සංඥය වරදක් කිරීමේ අදහසින්සිටින බව සැඟවීමට පුර්වෝපාය යොදමින් සිටී යැයි වීශ්වාස කිරීමට හේතු කරවන අවස්ථා යටතේ සැඟවීසිටීමට පුර්වෝපාය යොදමින් සිට අසුවු යම් තැනැත්තෙකු.
එ. ශ්‍රී ලංකාවේදී කරනු ලැබුවහොත් වරදක් වන ක්‍රියාවක් ශ්‍රී ලංකාවෙන් පිටත දී කරන ලද බවට සාධාරණ සැකයක් හෝ පැමිණිල්ලක් ලැබී ඇති තැනැත්තෙක්.
   
තව ඉවර නැහැ.. ඒත් නීතිමය තත්වයන් ගැන කථා කිරීම අදට ‍‍‍අවසන්කරලා අපි බලමු මේ මේ සම්බන්ධයෙන් ප්‍රායොගික තත්වයන් කොහොමද කියලා.


මං අපුරැ කථාවක් කියන්නම්... මේ අපි උඩදී කථා කරපු 32 වැනි වගන්‍තියේ (ඇ) උපවගන්තිය සම්බන්ධ සිද්ධියක්...කථාව මෙහෙමයි... මගේ රාජකාරී කාලයේදී හමුවෙන පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පිටවුන බොහොම තරුණ නිළධාරීන් ඉන්නවා බොහොම දක්ෂයි... දණ්ඩ නිතී සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය...කට පාඩම්... ඔන්න මේ වගේ එස්අයි මහත්තයෙක් වැටුනා රාත්‍රී මුර සංචාරය වලට, ඉතිං මේ මහත්තයයි.. තව රාළහාමි කෙනෙකුයි පාන්දරජාමේ අවිදගෙන යනකොට දුරට දැක්කලු මනුස්සයෙක් බර යමක් උස්සගෙන ඒ පැත්තට එනවා... මේ එස්අයි මහත්තයා විගහට මුවා උනා කණුවකට... ලඟට එනකොටම ඉස්සහරට පැනලා අල්ලගත්තා... මෙහෙමයි දෙබස..


අද අහුවුනා... තෝ තමයි මෙච්චර දවසක් හොය හොය හිටියේ..


අ..අ...ඇ...ඇයි මහත්‍තයෝ.. .මොකද...


මොකද...තෝ හිතන්නේ අපි දන්නේ නැහැ කියලද ? තෝ මේ මහ රෑ අලවංගුවකුත් අරගෙන යන්නේ හොරකමේ කියලා අපි දන්නේ නැහැ කියලද තෝ හිතන්නේ..


අනේ මහත්තයො අද පාන්දර ගෙපැල කපන්න තියන නිසා මස්සිනාගෙන් මේක අරගෙන යන්නේ...


තෝ හිතුවා මදි මාව තම්බන්න... යමන් පොලිසියට...


දැන් මහත්තයා මොනාටද මාව පොලිසියට අර‍ගෙන යන්නේ...


ඇයි උඹ දන්නේ නැද්ද.... රාත්‍රී කාලයේ ගෙවල් බිඳින උපකරණයක් ලඟ තබා ගැනීම අත්අඩංගුවට ගත හැකි වරදක්...

දැන් එතකොට මාව පොලිසියට ගෙනියන්නේ ගෙවල් බිඳින උපකරණයක් ලඟ තියාගත්තටද ?

ඔව්.... ඇයි තෝ මොනා කරන්නද ?

එහෙනම් මහත්තයෝ මං ස්ත්‍රී දුෂණයකට තැත් කරා කියලත් ලියන්න...

හෑ...  තෝ හිතාගෙන හිටියේ ගේකුත් බිඳලා, ස්ත්‍රි දුෂණයකුත් කරන්නද ?

නැහැ මහත්තයෝ ඒ උපකරණයත් මගේ ලඟ තියනවා...

6 comments:

  1. හොද ලිපියක්.....

    ReplyDelete
  2. ඒක හැබෑව වටිනා ලිපියක්

    ReplyDelete
  3. @ KC ස්තූතියි අගය කිරීමට

    ReplyDelete
  4. @ නෙරංජි... නගාත් ඇවිත් තියෙන්නේ... ස්තූතියි...

    ReplyDelete
  5. ඔය කිසි දෙයක් ප්‍රායෝගික නැත්තෙ ඇයි .......

    ReplyDelete
  6. දැනුවත් වීම වටිනවා....

    ReplyDelete