Saturday, June 16, 2012

මගේ තාත්තා..... අපේ තාත්තා... ද....?



මට තාත්තා ගැන තියෙන්නේ ඒ තරම් සුන්දර මතකයක් නෙමෙයි... මතක ඇති කාලේ ඉඳලා අම්මා තමයි මගේ ලඟ හිටියේ.... තාත්තා දකින්න වෙන්නේ බොහොම කලාතුරකින්.... අහලා තියන විදියට තාත්තා උදේම වැඩට යනවා... හුඟක් රෑ වෙලා ගෙදර එනවා...... නිවාඩු දවසටත් මම කොයිතරම් ආස උනත් තාත්තගේ තුරුලේ දැවටෙන්න ලැබුනේ නැහැ.... කුඩා කාලේ ඉඳලා අපි මුන දුන්න විවිධ පවුල අශ්‍රිත ගැටළු ඒකට බලපෑවා.... තාත්තා නිවාඩු පොඩි අඩියක් ගහනවා... ඒවෙලාව බලලා තාත්තගේ අම්මා තාත්තව ලඟින් වාඩි කරගෙන මොන මොනවදෝ කියයනවා...ඊට පස්සේ තාත්තා වේගෙන් බෝතලේ හිස් කරනවා..... ඊට පස්සේ තාත්ගේ ඇස් දෙක ගිණි බෝල දෙකක් වගේ..... තාත්තාගේ උකුලේ හුරතල් වෙන්න බලාගෙන හිටිය මට තාත්තා ලඟට ලංවෙන්නවත් බැරි වෙනවා.....තාත්තා කුමක් හෝ දෙයක් වරදිනකන් බලාගෙන ඉන්නවා.... සමහර විට පයිප්පේ ඇරලා තිබ්බ එකට... එහෙමත් නැත්නම් නංගිට කිරි දෙන්න ගිහින් බත රොස් වෙච්ච එකට... ඔය වගේ කුමක් හෝ දෙයක් අල්ලගෙන තාත්තා අම්මා එක්ක රණ්ඩු වෙනවා.... තාත්තාගේ අම්මා තමයි වැඩේට වැඩ්ට ඕන කරන පොර ටික වතුර ටික දානවා... මොකක් හරි දෙයක් නිසා නිස්කාරනේ අම්මට බනිනවා..... අම්මත් දෙවැනි වෙන්න සුදානම් නැහැ..... අම්මත් අම්මාගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා.... කථාව දුර දිග යනවා.... මම මුකුත් නොතේරෙන නංගිව උකුලේ තියාගෙන බලාගෙන ඉන්නවා..... නංගිගේ ඇඬිල්ල නතර කරන්න මගේ ඇඬුම හිරකරගෙන......අවසානය වෙන්නේ අම්මාගෙයි තාත්තාගෙයි වාග් ප්‍රහාරය, ගුටි බැට හුවමාරුවක් දක්වා දිග්ගැස්සෙනවා.... මට මතකයි මම තාත්තාගේ ඇඟේ එල්ලිලා කියනවා තාත්තේ අම්මට ගහන්න එපා කියලා....ප්‍රහාරය අවසන් වෙනවා... අවසාන ප්‍රතිපලය වෙන්නේ අම්මා මගේ අතින් අල්ලගෙන නංගිව උකුලේ ගහගෙන අම්මාගේ මහ ගෙදර යන එක....එහෙදී තාත්තා නිතිඥ සහායක් නැතිවම නඩුවේ චුදිතයා වෙනවා.... සම්පුර්ණ නඩුව අහන ආච්චි අම්මා තාත්තව වැරදිකාරයා කරලා පෝරකේට නියම කරනවා.... ඔය විදියට දින කීපයක් ගතවෙනවා..... තාත්තා අපිව හොයාගෙන එනවා... අපිට කන්න දෙයක් අරගෙන.... ආපු ගමන් අපිව තුරුල් කරගන්නවා..... මෙතුවක් කල් තාත්තා ගැන මගේ හිතේ තිබුන හැඟීම වෙනස් වෙනවා... තාත්තා ගේ තුරුලේ සතුටක්, සනිපයක් දැනෙනවා.....
“තාත්තේ ආයි අම්මට ගහන්න එපා“
මම කියනවා....
මුකුත් නොකියාම තාත්තා මගේ ඔළුව ඉඹිනවා.... අදටත් ඒ දැනුන හැඟිම, සෙනෙහස දැනෙනවා....
ටික දවසක් ආච්චම්මලාගේ ගෙදර ඉන්න අපි තාත්තත් එක්කම තාත්තාගේ ගෙදර යනවා.....
මේ විදියට ටික දවසක් ගත වෙනවා.... අම්මත් තාත්තත් බොහොම සතුටින්.. අම්මා තාත්තා එනකම් මග බලාගෙන ඉන්නවා... තාත්තා වෙනදට වඩා කලින් ගෙදර එනවා....
හැබැයි මේ දේවල් නොරුස්සන කෙනෙක් ගෙයි කොනක ඉන්නවා....
මේ විදියට දවස් කීපයක් ගතවෙනවා....
සමහර දවසට ලොකු අම්මා තාත්තා එනකම් මග බලාගෙන ඉන්නවා... තාත්තා ගෙට ඇතුල උන ගමන් ලඟ තියන පුටුවෙන් වාඩි කරගෙන මොන මොනවදෝ කුටු කුටු ගානවා.... තාත්තා පුටුවෙන් නැගිටින්නේ මාරයාවේශ වෙලා..... තාත්තා කාමරේට එනකොට අපි හාංගෙනවා..... ඉඟියෙන් වගේ අපි දන්නවා මීලඟට වෙන සිද්ධිය... නැවතත් පුරුදු ජීවන චක්‍රය ක්‍රියාත්මක වෙනවා......
පොඩි කාලේ ඉඳලම මේ දේවල් වලට මුහුන දුන්නු මට තාත්තා කෙරෙහි ඇත්වෙන්නේ ද්වේශයක්..... මේ දෙවල් වලට තාත්තාගේ පවුලේ අය දෙන උල්පන්දම් නිසාම ඒ අය කෙරෙහිත් ඇත්වෙන්නේ ද්වේශයක්.....

“නපුරු තාත්තා“

ඒ මට හිතුන හැටි......

මේ විදියට ජිවිතේ ගත වෙනවා... එතනින් මෙතනට.. මෙතනින් එතැනට.... දාම් ලෑල්ලේ ඉත්තෝ වගේ අපි එහාට මෙහාට ඇදෙනවා...... ටිකෙන් ටික අපි ලොකු වෙනවා... තාත්තා කෙරෙහි තියන ආකල්පය එන්න එන්නම දරුණු වෙනවා.... අම්මාත් නැවෙන්න සුදානම් නැහැ... ඇයගේම ස්ථාවරයේ ඉන්නවා.... පුංචි කාලේ ඉඳලාම අපි අම්මාගේ තුරුල්ලට හුරු උන නිසාම ලොකු වෙන කොටත් අපි අම්මාට ලං වෙනවා......

--------------------------------
කාලෙක මමත් තාත්තෙක් වෙනවා...... මගේ පලවෙනි දරැවා මගේ අතට ලැබුන වෙලාවේ මට ඇතිවෙච්ච හැඟීම අපේ තාත්තාටත් ඇතිවෙන්න ඇති නේද මම කියලා කල්පනා කරනවා...... ඒ හැඟිම කිසිම කෙනෙක්ට වචනයට පෙරලන්න බැරි බව මගේ අත්දැකිටමන් මම දන්නවා..... කොයි තරම් කවියෝ උනත් තාත්තෙක් අතට තමන්ගේ දරුවා ලැබෙනකොට දැනෙන හැඟිම විස්තර කරන්න බැහැ.....  ඒ වගේම ඒ එත්තම ඇතිවෙන වගකීම් සහගතබව.... දරුවගේ අනාගතය ගැන හීන මවන හැටි..... මගේ අතට දරුවා දීපු බිරිඳ ගැන හිතේ ඇතිවෙන හැඟීම..... මේ දේවල් කවදාවත් වචනයෙන් විස්තර කරන්න බැරි හැඟිම්.... 

මගේ පුතා ලැබුනු දා ඉඳලා මම තවත් පැය කීපයක් අතිකාල වැඩ කරන්න පුරුදු උනා..., ඒ මම වෙනුවෙන් නෙමෙයි මගේ දරුවා වෙනුවෙන්......

ඒ වෙලාවේ මට හිතුනේ මගේ තාත්තත් මෙහෙම කරන්න ඇති නේද කියලා.....
උදේට යන කොට තොටිල්ලේ සැපට නිදියන පුතාගෙ නලලට නොරිදෙන හාද්දක් දීලා කම්මුල අතගාලා යන මට මතක් උනේ මගේ තාත්තත් උදේම වැඩට යනකොට මටත් මෙහෙම කරන්න ඇති නේද කියලා..... ,

වැඩ ඇරිලා ඇවිත් බලනකොට, ඇඳේ වකුටු වෙලා බිරිඳගේ තනඩුපුවේ එල්ලිලා හීනෙන් කිරි උරන හැටි දැක්කාම ඇතිවෙන හඟිම යටපත් කරගෙන වඩාගන්නේ නැතිව හිටයේ නින්ද කැඩෙයි කියලා..., එහෙම හිතනකොට මගේ තාත්තාත් එහෙම වෙන්න ඇති නිද කියලා හිතෙනවා....

මටත් නොදැනිම මගේ පුතා ලොකු වෙන කොට... හුරතල් බලන්න බැරි වෙන කොට හිත ඇතුලේ කීරි ගහන වේදනාව සමනය කරගත්තේ මේ හැමදේම කරන්නේ එයාගේ අනාගතේ නිසා නේද කියලා හිත සනසගන්නකොට මට හිතුනේ අපේ තාත්තත් එහෙම කරන්න ඇති නේද කියලා....

මම වැඩ ඇරිලා එනකොට අපේ අම්මා මුන දික්කරගෙන බලා ඉන්න හැටි....,අම්මා මාව ලඟට කරගෙන බිරිඳ ගැන නොක්කාඩු කියන හැටි....,
ගෙට ගොඩ වෙනකොටම අහන්න ලැබෙන දේ වලින් මම කුපිත වෙන හැටි....
අපි අතර වෙන ඝට්ටන.... හැල හැප්පීම්.....
අම්මාගේ පැත්ත ගන්නද.... බිරිඳගේ පැත්ත ගන්නද... අම්මාව සනසන්නද... බිරිඳව සනසන්නද කියලා හිතාගන්න බැරිව මම රෑට තනියම අඬන හැටි...... මේ දෙවල් දැනනකොට මට හිතුනේ අපේ තාත්තා කොයි තරම් තනියම අඬන්නඇත්ද කියලා....

මගේ ලොකු පුතා සෙල්ලමට ගිහින් දත් දෙකක් කඩා ගත්ත වෙලාවේ මම දොස්තර ඒවා ගලෝනවා බලාගෙන ඉන්න බැරි තැන එලියට ගිහින් ඇඬුවා වගේ, මගේ අත රතිඥ්ඥා වලට පිච්චිච්ච වෙලාවේ තාත්තා මගේ ලඟ නොඉඳ එලියට ගිහින් අඬන්න ඇති කියලා මට හිතුනා....

ඉස්කෝලේ එක්කගෙන යන්න බැරි උනාට.... පුතා ගේ පොත් බෑගය දිහා බලාගෙන සතුටු මම සතුටු වෙන කොට...අම්මා අරගෙන දුන්න අලුත් සපත්තු දෙක ඇදේ මුල්ලෙන් තියාගෙන නිදාගනන කොට මට ඇතිවෙන සතුට... අපේ තාත්තා මහන්සි වෙලා හම්බකරන දෙයින් අපේ අම්මා අපි අරගෙන දේවල් දිහා බලලා අපේ තාත්තා කොයි තරම් සතුටු වෙන්න ඇද්ද කියලා හිතෙනවා...

තාත්තෙක් වෙනකම් මට තාත්තාගේ ආදරේ දැනුනේ නැහැ... තාත්තෙක් කියන්නේ මහා මේරුව වගේ මහා ආදරයක් හිතේ හංගගෙන..... මදටිය ඇටයක් වගේ කොටසක් විතරක් එලියට පෙන්නන කෙනෙක් කියලා මට තේරුනේ මමත් තාත්තෙක් උනාට පස්සේ........ මගේ තාත්තාට මම වෛර කලා කාලයක්.... ඒත් තාත්තා කොයි තරම් දේවල් උහුලගෙන නොසැලී හිටියද කියලා දැන් මට හිතෙනවා......

හැබැයි කවදාවත් තාත්තෙක් ගෙන් සමාව ඉල්ලන්න එපා......
මොකද.....

තාත්තට කවදාවත් ඔබව වැරදි කාරයෙක් නොවෙන නිසා........

30 comments:

  1. ඇත්තමයි.. තාත්තලා ඔහොම්මයි..
    අපෙ තාත්තා නම් අම්මට කිසිම දවසක අතක් උස්සලා නෑ.. ඒ අතින් අපෙ තාත්තා කොච්චර හොදද.. කෙන්ති ගිහින් අපිට කැ ගහලා අපිටත් මල පැනලා කැ ගැහුවට අපෙ තාත්තා හිතින් අඩනවා කියලා මම දන්නවා..
    මාත් තාත්තා ගැන බ්ලොග් එකෙ ලියන්ඩ ඔනි..

    ReplyDelete
  2. "තාත්තෙක් කියන්නේ මහා මේරුව වගේ මහා ආදරයක් හිතේ හංගගෙන..... මදටිය ඇටයක් වගේ කොටසක් විතරක් එලියට පෙන්නන කෙනෙක් කියලා මට තේරුනේ මමත් තාත්තෙක් උනාට පස්සේ" ......මල්ලී ...කියන්නට දෙයක් නැති තරම් , තාත්ත කෙනෙක්ගේ යථාර්ථ ස්වභාවය විස්තර කරන්නට වෙනත් වදන් නාස්ති කරන්නේ කුමටද ? ...මේ ඇත්ත අපි හැමෝටම දැනෙන්න තෙරෙන්නේ අපි තාත්ත කෙනෙක් වුනාම තමයි ....
    බොහොම පිං ඔබට ..

    ReplyDelete
  3. බස්සගේ මම කියවපු සංවේදීම ලිපිය . මට මගේ තාත්තා මතක් වෙලා නෙතට කදුලක් ඉනුවා .
    මම මගේ පියාට තමා ගොඩාක් ලංවෙලා හිට්යේ මවටත් වඩා . තාත්තලා ඔහොමයි . ගොඩාක් වෙලාවට හිත ඇතුලේ බොහෝ දේවල් තියාගෙන ඉන්නවා .
    ඔබගේ මෙම ලිපිය සියලුම පියවරුන්ට උපහාරයක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඇත්ත... සියලු පියවරුන්ට උපහාරයක් වේවා...!!

      Delete
  4. ඉතා වටිනා කියන ලිපියක් ජනක අය්යා.... !!

    ReplyDelete
  5. අපේ තාත්තා මීට වඩා මොහොම වෙනස්. ඒ නිසා මට අපේ තාත්තා ගැන එදා සිට ම තියෙන්නෙ ලොකු හැඟීමක්. ඒක මගේ බ්ලොග් එකේ මම ලියල තියෙනව.

    ReplyDelete
  6. මොකුත්ම නොකියා යන්න බෑ....මගේ ඇස් තෙමුනා..තාත්තල ගැන අඩුවෙන් ලියවෙන සටහන් අතර හොඳම ලියවිල්ලක්....

    ReplyDelete
  7. බස්සා උබ මෙහෙව් ‍ඒව ලියන්නත් පුලුවං කොල්ලෙක් ආහ්. සුපිරි බං.

    උඩම ටික කියවගෙන යන බේබදු පියෙක් කවදාවත් දරුවෙක්ට හිංසා කරන එකක් නැහැ.

    දෙවෙනි කොටස සුපිරි.

    ජයෙන් ජය සහෝ !

    ReplyDelete
  8. හිතට කතා කරන ලිපියක්..:)

    ReplyDelete
  9. හදවතටම වදින පෝස්ට් එකක්
    ගොඩක් පවුල් අවුල් වෙන්නේ ඔතනින් තමා ඒකට .ලේලි දැනගන්න ඕනා නැන්ද්ම්මාගේ හිත දිනා ගෙන ඉන්න
    නැත්තම් කොල්ලෝ අපි අසරණ වෙනවා කියන එක අහන්නත් දෙයැක්යැ

    ReplyDelete
  10. කතාව නම් සහතික ඇත්ත... තාත්තා ගොඩක් සැරයි කියල අපි හිතාගෙන උන්නට අපි වෙනුවෙන් පවුලේ අය වෙනුවෙන් තාත්තා අසරණ වෙනවා ගොඩක් වෙලාවට...

    ReplyDelete
  11. පුදුම සංවේදී ලිපියාක්‌. තාත්තල නැති දරුවොන්ට කොහොම මේ දේවල් දැනෙනවා ඇති ද


    අසරණයා.

    ReplyDelete
  12. // තාත්තෙක් කියන්නේ මහා මේරුව වගේ මහා ආදරයක් හිතේ හංගගෙන..... මදටිය ඇටයක් වගේ කොටසක් විතරක් එලියට පෙන්නන කෙනෙක් කියලා මට තේරුනේ මමත් තාත්තෙක් උනාට පස්සේ.....//

    පිටතට නොපෙන්නුවත් රහසින් වැටෙන කඳුළු පියෙකුගෙ මවකට වඩා වැඩියි.. මවක් සෙනෙහස ‍පිටතට පෙන්නුවත් පියෙකුගෙ ඒ හැඟීම් තැන්පත් වෙන්නෙ හිත ඇතුලෙ නිසා වෙන්න ඇති..
    පිය සෙනෙ‍හසට කව් ගී ලියවෙන්න මදි වෙන්නත් සමහර විට ඒ සෙනෙහස ගැන ලියන්න වචන නැත්තෙ..
    හිතට දැනුන සංවේදී ලිපියක්..!

    ReplyDelete
  13. තාත්තා ගැන කියවුනු සංවේදීම ලිපියක්.

    ReplyDelete
  14. විශ්වාස කරන්න මගේ ඇස් දෙකට කඳුලක් ආවේ මේ දැනුත් මං ලගින් ඉන්න තාත්තා හන්දා...මං හිතන්නේ මගේ ජීවිතේ මම ගොඩක් ආදරේත් කරන එ වගේම මම වැඩිපුරම රිද්දන එකම කෙනත් මගේ තාත්තා..මම දන්නවා එ උනත් එයා එවා අමතක කරනවා..කොටින්ම මම කොච්චර එයාගේ හිත රිද්දුවත් ආයේ හැරිලා ආදරෙන් හිනාවෙනවා මිසක් කවම කවදාවත් මගේ හිත රිද්දලා නම් නැ එයා..ඔනි කරන හැමදේම දිලා එයා දුක් විදිනවා කියලා ඉස්සර නොතේරුනත් දැන් එක දැනේද්දි දැනේන්නේ ලොකු දුකක්.

    ReplyDelete
  15. රොශාන් ප්‍රනාන්දු කියන " මමත් පියෙකි අද අප්පච්චි " සිංදුව මට මතක් උනේ..

    ReplyDelete
  16. හරිම සංවේදී ලිපියක්, "සිහින සිත්තම් " වල අම්මාගැන ලියල තිබුන වෙලාවෙ..මම පියාගැන මතක් කලාම ඇයත් සංවේදී කතාවක් කියල තිබුන...!!

    ReplyDelete
  17. අපි හුගාක් වෙලාවට හරි දේ ගැන දැනගන්න කොට අපි ඉන්නේ ඒ දේවල් වෙනස් කරන්න බැරි තරම් දුරක ....

    ReplyDelete
  18. ඇත්තටම ගොඩක් දේවල් හිතට ආවා.මෙතෙක් කාලයක් නොසිතූ දෙයක් හිතට දැනුන.පියෙත් වෙන්න කලින් මේ දේවල් මතක් කලාට ඔබට පිං.......

    ReplyDelete
  19. මේ නම් පියෙකු ගැන සුපිරි ලිපියකි.
    HAPPY FATHERS' DAY!
    henryblogwalker the Dude

    ReplyDelete
  20. සිරාවට සංවේදී ලිපියක්.ඒත් මගේ අත්දැකීම් නං වෙනස්

    ReplyDelete
  21. ඔබෙන් දුටු සංවේදිතම සටහන... සියලු පියවරුන්ට මෙය උපහාරයක්‌ වේවා.

    ReplyDelete
  22. ඇස්‌ වලට කඳුලු උණවන.. මගේ කතාවම ලිවීම ගැන ඔබට ස්‌තූතියි මහත්තයෝ.. නොදැනුවත් කමට එදා ඔබේ ආදරේ තේරුම් ගන්න බැරි වෙච්චි මට මගෙ දරුවෝ අප්පච්චි කියලා කතා කරනකොට මට අද දැනෙන සතුට එදා ඔබටත් එහෙම්මම දැනෙන්න ඇති මගේ අප්පච්චි.. ඒ වෙච්ච අත් වැරැද්දට සමාව ගන්න අද ඔයා අපි අතර නැතත්.. ජාති ජාතිත් මට සමාවෙන්න මගෙ අප්පච්චි...

    ReplyDelete
  23. මේ ලිපිය කියවන යනකොට මට මතක් වුනේ "හැම තාත්තෙකුගේම සිතිවිලි: පොත.
    ගොඩක් සංවේදියි!

    ReplyDelete
  24. පිය සෙනෙහසට කවි ගී ලියුන මදි....

    ReplyDelete
  25. ඇසට කඳුලක් ගෙනාවා අය්යේ නියමයි....

    ReplyDelete
  26. ප්‍රමුඛOctober 9, 2012 at 10:16 PM

    මට දැන් තාත්තාටයි අම්මටයි දෙන්නටම ඉන්නේ තාත්ත විතරයි. මට හැමදාම තාත්තා ලෝකයක් වගේ. මේක ගොඩක් වෙලාවට සමාජයේ යථාර්තයක් වෙලා. මට දැනෙන්නේ අපේ තාත්තා මුනිවරයෙක් කියලා.

    ReplyDelete
    Replies
    1. ඔයා හරියටම හරි අයියා...

      Delete
  27. තාත්තා කියන්නේ මහමෙරු පර්වතයක්මයි. පුංචි කාලේ මම ලොකු කමට කිව්වා මම ලොකු වුනාම වෙන්නේ "තාත්තෙක්" කියලා. එච්චරටම මට පුංචි කලේ ඉදන්ම තාත්තා කියන්නේ අතිශයින්ම ගරු කලයුතු කෙනෙක් සහ මහමෙරු පර්වතයක්මයි. ඒ නිසාම වෙන්නැති තාත්තාගේ ආදරේ මට අඩු වෙද්දී මම මෙච්චර තනියෙන් ඇඩුවේ. මගේ කතාව මීට වඩා ගොඩක් වෙනස්...

    ReplyDelete
  28. What a great promotion of:

    1. Alcohol
    2. Tobacco
    3. Wife battery
    4. Child abuse
    5. Justification of wife battery and child abuse
    6. Allowing others to manipulate harmony of a family

    We need to tell people how evil elements work in such covert ways.

    ReplyDelete