Wednesday, November 16, 2011

2030 දී ලංකාව.....(විමලේ ගේ හීනේ මගේ වර්ෂන් එක.....)

2030 දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 82 වැනි නිදහස් සමරැව සිහිනෙන් දුටිමි. ගාළු මුවදොර චීන කොම්පැනියකට අයිති බැවින් 82 වැනි නිදහස් සමරැ උත්සවය පිටකෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසල පැවැත්වේ.. ගාළුමුවදොර සමුද්‍රයට එල්ලකර තිබු කාලතුවක්කු සමුහයද බොල්ගොඩ වැවට එල්ල කර ඇත. එය ඉතාමත් මනස්කාන්ත.. අයස්කාන්ත දර්ශනයකි.. ඒ සමගම පැමිනි ලාල්කාන්ත උන්නැහේ මයික්‍රපෝනය ගෙන ආරාධිත අමුත්තන් පිළිගැනීමට සැරසේ.. 
 
ක්ග්ර්..ක්ගුර්.. (උගුර පාදා) දැන් මේ ආරම්භ කරන 82 වන නිදහස් සමරැ උළෙලේ උත්කර්ෂවත්ම අවස්ථාවයි...දැන් මේ අවස්ථාව සඳහා සහභාගීවන සම්භාවනීය අමුත්තන්ගේ සම්ප්‍රාප්තිය සිදුවන මේ මොහොතේ සියළු දෙනා සිය ආසන වලින් නැගිට සම්භාවනීය අමුත්තන් පිළිගන්නා ලෙස ඉල්ලා සිටිමි..

දැන් මේ අවස්ථාවේ දී ප‍්‍රථම ආගමනය සනිටුහන් කරන්නේ, ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනයේ හිටපු සභාපති... ජනාධිපතිතුමන් ආදරණිය මස්සිනා වන, වර්ථමාන අගමැතිතුමන්ගේ මාමා ද වන, ගුවන්, සිවිල් ගුවන් සේවා, වරාය සහ ප්‍රවාහන අමාත්‍ය ගරැ නිශාන්ත වික්‍රමසිංහ මැතිතුමන්ය... එතුමන්ට අපේ ගෞරවාදරයෙන් පිළිගනිමු.

මීලඟට අපි මහත් ගෞරවාදරයෙන් පිළිගනු ලබන්නේ....... ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති, හිටපු ගරැ කථානායක චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ඥාති පුතනුවන් කනෙකු වන ගරැ.. වෙළද, වෙළද සේවා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය... ප්‍රසන්න වික්‍රමසුරිය මැතිතුමන් හා එම මැතිනිය ගේ සම්ප්‍රාප්තියයි.

මී ලඟ සම්භාවනීය අමුත්තාගේ ගෞරවනීය සම්ප්‍රාප්තිය සටහන් වෙන මොහෙතයි මේ.... හිටපු ගරැ කථානායක චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ඥාති පුතනුවන්කනෙකු හිටපු රැසියාවේ ශ්‍රී ලංකා තානාපති... නිවාස, නිවාස සංවර්ධන නාගරික කටයුතු සහ නාගරික සංවර්ධන ගරැ අමාත්‍ය උදයංග වීරතුංග මැතිතුමා ‍ ගෞරවාදරයෙන් පිළිගනිමු.

ක්ග්ර්..ක්ගුර්.. (නැවතත් උගුර පාදා) 

දැන් මේ අවස්ථාවේ දී ආගමනය සනිටුහන් කරන්නේ හිටපු ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති.. චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ඥාති පුත්‍රයකු වන විදුලි බල හා බල ශක්ති, පාරිසරික හා වන සම්පත් පිළිබඳ ගරැ අමාත්‍ය ජාලිය වික්‍රමසූරිය මැතිතුමන් සහ එය මැතිනියයි....

දැන් මෙන්න අපි සුදානම් වන්නේ රාජපක්ෂ පරපුරේ ප්‍රථම සාමාජිකයාගේ ආගමනය සනිටුහන් කිරීමටයි... චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ දෙටු පුත්‍රයාය... ඔහු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ වරයෙකි, ඉන් ලත් දැනුමත් අත්දැකීමත් සමග නිතරඟයෙන් පාර්ලිමේන්තුවට පිවිසි යෞවන කටයුතු, රැකී රක්ෂා සහ වෘත්තීය පුහුණු අමාත්‍ය.... ශමීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමන් මහත් ගෞරවාදරයෙන් පිළිගනිමු.

දැන් සම්ප්‍රාත්තිය සනිටුහන් කරන්නේ චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ වැඩිමල් පුතු වන හිටපු ඌව පලාත් ප්‍රධාන අමාත්‍ය.... වර්ථමාන පාර්ලිමේන්තුවේ ගරැ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමන්ය...

මීලඟට අපි මහත් ගෞරවාදරයෙන් පිළිගනු ලබන්නේ......

ලියන අතර - කව්දෝ දොරට තට්ටු කරනවා....කව්ද ?....කව්ද ?...ඇරපිය දොර..... අපි සී අයි ඩී එකෙන්..... ඇරපිය පරයා දොර......තෝ ආණ්ඩුවට මඩ ගහනවා නේද ?....පරයා.....තෝ ඉවරයි අද.......

දඩාං....... දොර ඇරැනා.....

 (මුලාශ්‍ර - විකිපීඩියා http://en.wikipedia.org/wiki/Mahinda_Rajapaksa)

4 comments:

  1. දෙය්යෝ සාක්කි.බොහොම නපුරු සිහිනයක්. එය කවදාවත්ම සැබැ නොවන සිහිනයක්ම වේවා. කියල ප්‍රාර්තනා කරමු අපි.....

    ReplyDelete
  2. පට්ටය. ඉතුරු ටිකත් ලියවුණා නම් තවත් පට්ටය :))

    ReplyDelete
  3. ඒ කියන්නේ දැං බස්සා ඉන්නේ සුදු වෑන් එකේ... :)

    ReplyDelete
  4. බස්සා මේ කාලෙනං සුදු වෑන් එකෙන් ශේප් වෙයි. හැබැයි ඒ කාලේ හෝ වෙන කෙනෙක්ගේ කාලෙකනන් එක්කෝ මුහුද අයිනේ නාදුනන මල සිරුරක් වෙලා.. එහෙම නැතිනම් ටයර් සෑයක අවසාන අළු ටික වෙලා.

    ReplyDelete